ලිබියාවේ ජලගැලීම්: සැතපුම් 560ක් ඈතින් පිහිටි ඊජිප්තු ගම්මානයකට අත් වූ ඉරණම

- Author, යස්මින් ෂහීන්
- Role, බීබීසී අරාබි පුවත් සේවය, ඊජිප්තුවේ අල්-ෂරීෆ්හි සිට
බදාදා උදෑසන, අල්-ෂරීෆ්හි ජනතාව ප්‍රධාන වීදිය දෙපස පෙළ ගැසුණේ, ගම්මානයේ සුසාන භූමිය වෙත ගමන් කරමින් තිබුණු ගිලන් රථ සඳහා ගෞරව කිරීමට ය. උතුරු ඊජිප්තුවේ වෙසෙන මෙම ප්‍රජාව, මෙම සතියේ සිදුවූ ජල ගැලීම්වලට මැදි වී ඇති ලිබියානු නගරය වන ඩර්නා නගරයේ සිට සැතපුම් 560 (කිලෝමීටර් 900) පමණ දුරින් දිවි ගෙවන නමුත් ව්‍යසනයෙන් දරුණු ලෙස බලපෑමට ලක් විය.
අල්-ෂරීෆ්හි වයස අවුරුදු 18ත් 30ත් අතර පසුවන පිරිමි පුද්ගලයින් හැත්තෑ හතර දෙනෙකු ජල ගැලීම්වලින් මිය ගිය බව මේ වන විටත් දන්නා කරුණකි. ඔවුන් ලිබියාවේ රැකියාවල නිරතව සිටියේ, යළි තම නිවෙස් වෙත ගොස් යහපත් ජීවිතයක් ගොඩනගා ගැනීමට යම් මුදලක් උපයා ගැනීමේ අපේක්ෂාවෙනි.
අල්-ෂරීෆ් හරහා ගිය අපට දක්නට ලැබුණේ, ගෙයින් ගෙට පැවති අවමංගල්‍ය උත්සවයි.
මියගිය සහ අතුරුදන් වූ බොහෝ දෙනෙකු එක ම පවුලේ සාමාජිකයෝ වූහ. අල්-ෂරීෆ්හි විශාලතම පවුලක් වන අල්-ඩබා පවුල සිටියේ සාමාජිකයින් 16 දෙනෙකුගේ වියෝවෙන් වැලපෙමිනි.
"මගේ අවුරුදු 20 ගණන් වල හිටිය පුතාලා තුන් දෙනා ම මැරුණා,"යැයි 50 හැවිරිදි ගොවියෙකු වන ජුමා අල්-සයීඩ් පැවසුවේ, දෙනෙතින් වැගිරුණු කඳුළු සමග පොරබදමිනි.
මෙම තරුණයින් නීතිවිරෝධී ලෙස ලිබියාවට ගොස් ඇති අතර එම ගමනට අවශ්‍ය මුදල් සපයා ගැනීමට උපකාර කරනු ලැබ ඇත්තේ ජුමා විසිනි.
"මට ඒක කවදාවත්ම නොකර ඉන්නයි තිබ්බේ," ඔහු පවසයි.

ඒ අසල ඇති තවත් නිවසක, ෆාතිමා මුහම්මද් ද වයස අවුරුදු 20ක තරුණ පුතුන් තිදෙනෙකුගේ වියෝවෙන් වැලපෙයි. ඔවුන් තම බිරින්දෑවරුන් සහ දරුවන් පස් දෙනා තනිකර එහි ගොස් තිබුණු අතර දැන් ගෙවිලියක ලෙස රැකියාවේ නිරත වැන්දඹුවක වන ෆාතිමා ඔවුන් ඇති දැඩි කිරීමට උපකාර කරයි.
කඳුළු සලමින් ඇය බීබීසීයට පවසන්නේ, තම පුතුන්ගේ මළ සිරුරු දකින තුරු ඔවුන් මිය ගිය පුවත විශ්වාස කිරීම තමන් ප්‍රතික්ෂේප කළ බව ය. "හරියට කුඹුරක බීජ පැළ කරනවා වගේ එක ළඟ මම ඒ අයව වැළලුවේ."
ගම්මානයේ වැසියන් පසුවන්නේ, තවත් බොහෝ පිරිසක් මිය ගොස් ඇතැයි යන බියෙනි. ඩර්නාහි පදිංචිව සිටි ගම්මානයේ තවත් 100 දෙනෙකු ගැන නිසි තොරතුරක් නොමැත.
තොරතුරක් ලැබෙණු ඇතැයි දෙවියන් යදිමින් සිටි තවත් අයෙකු වන්නේ, රායා ෆයිසාල් ය. ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග සන්නිවේදන කටයුතු ඇනහිටීමෙන් පසු ඇයට ඇගේ පුතුන් දෙදෙනා වන අහමඩ් සහ මොහොමඩ් හා පැවති සබඳතා බිඳ වැටිණි.
"මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ, මගේ පුතාලා ජීවතුන් අතර ඉන්න කියලා," ඇය පවසයි. "එයාල ඇත්තට ම නැති වෙලා නම්, මට මොකද වෙන්නේ?"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රදේශවාසීන්ට අනුව, ගම්මානයේ තරුණයින් දහස් ගණනක් ප්‍රධාන වශයෙන් ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධ රැකියාවල නිරත වෙමින් දැනට ලිබියාවේ දිවි ගෙවන්නේ මන්දැයි අවබෝධ කර ගැනීම පහසු ය. අල්-ෂරීෆ් පිහිටා ඇත්තේ, ජනගහනයෙන් 30%ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන රටක දිවි ගෙවීමට අවම පහසුකම් හෝ නොමැති ප්‍රදේශවලින් එකක් වන බෙනී සූෆ්හි ය. ඊජිප්තුවේ මහජන සවිබලගැන්වීම් සහ සංඛ්‍යාලේඛන සඳහා වන මධ්‍යම ඒජන්සියට අනුව, බෙනී සූෆ්හිහි එම අනුපාතය 60% ඉක්මවයි.
පසුගිය දශක කිහිපය තුළ ඊජිප්තු වැසියන් තෙල්වලින් පොහොසත් ලිබියාවේ විශාලතම සංක්‍රමණික කම්කරුවන් කණ්ඩායමක් බවට පත්ව ඇත. එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ, 2011 කැරැල්ලෙන් පසුව සහ හිටපු පාලක මුවම්මර් ගඩාෆිගේ මරණයෙන් පසු ලිබියාව අවුල්සහගත තත්ත්වයකට පත් වුව ද, ඔවුන්ගෙන් 140,000කට වඩා වැඩි පිරිසක් එහි සිටින බව ය.
ලිබියාව දැන් ප්‍රතිවාදී රජයන් දෙකක් අතර බෙදී ගිය අස්ථාවර රාජ්‍යයක් බවට පත්ව ඇති අතර ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් උත්සන්න වීමේ නොවෙනස් තර්ජනයකට මුහුණ පා සිටියි.
"මගේ පුතාලට ඕනේ වුණේ සාධාරණ වැටුප් ලැබෙන රැකියාවක් කරන්න. මොකද යුද්ධ තර්ජනයක් තිබුණත් එතකොට එයාලට එයාලගේ පවුල්වලට හයියක් වෙන්න පුළුවන් නේ," ජුමා අල්-සයීඩ් පවසයි.
සමාජ සහයෝගීතා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, ජල ගැලීම්වලින් මියගිය ඊජිප්තු ජාතිකයින් කොපමණ සංඛ්‍යාවක් ඇතිදැයි නිශ්චිත වශයෙන් සොයා බැලීමට රජය උත්සහ කරමින් සිටින අතර ඉන් ඔවුන්ගේ පවුල්වලට වන්දි මුදල් ලබා දිය හැකි බව ය.









