"මේ රටේ දුක් විඳිනවට වඩා මුහුද මැද මැරිල යන එක හොඳයි": සයුරේ පාවුණ ජීවිත සිය ගණනක් බේරාගත් මෙහෙයුමක කතාව

ඡායාරූප මූලාශ්‍රය, guillaume duez/ sea eye
- Author, සරෝජ් පතිරණ
- Role, BBC සිංහල සේවය
සිය මවුබිමේ දී රැකවරණ පැතූ බිමේදී මුහුණදෙන වධ වේදනා දරාගත නොහැකිව සෑම වසරකම දහස් සංඛ්‍යාත පිරිස් සිය ජීවිතය පවා පරදුවට තබා රටින් පලායාමට උත්සහ දරති.
ඒ සඳහා බොහෝ විට ඔවුන් තෝරාගන්නේ අති දුෂ්කර සහ භයානක ක්‍රමවේදයන්ය.
එය කෙතරම් භයානක ද යත් මේ වසර තුළ පමණක් එසේ පලායාමට තැත්කළ 700 දෙනෙකුට මධ්‍යධරණී මුහුදේ දී දිවි අහිමි වී තිබේ.
ඒ සියල්ල දැන සිටියද, අතදරුවන් වඩාගත් අම්මාවරුන් පවා සුරක්ෂිත දේශයක් සොයා තවමත් මුහුදුගත වෙති.
"මේ රටේ දුක් විඳිනවට වඩා මුහුද මැද මැරිල යන එක හොඳයි," යනුවෙන් ඇතැම් මවුවරු පැවසූහ.

ඡායාරූප මූලාශ්‍රය, guillaume duez/ sea eye
'කලන්තේ දාලා වැටුණා'
'සී අයි' (Sea Eye) නම් ජර්මානු ආධාර ආයතනයක ක්‍රියාධරයන් පිරිසක් පසුගිය මැයි මාසයේ එසේ දිවි පරදුවට තබා පලායමින් සිටි සංක්‍රමණිකයන් 408 දෙනෙකුගේ දිවි බේරාදීමට සමත්වූහ.
ඒ ලිබියාව ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේ බේරාගැනීමේ කොටසේ දීය.
දරුවන් 150 ක් සහ කාන්තාවන් 36 ක් ඇතුළු ඒ සංක්‍රමණිකයන් පිරිස බේරාගැනීම සඳහා ක්‍රියාධරයන් පිරිසට සති තුනකට ආසන්න කාලයක් ගතවිය.
සාරා චින්චුරවා (Sara Cincurova)නම් මාධ්‍යවේදිනියක ද 23 දෙනෙකුගෙන් සමන්විත බේරාගැනීමේ කණ්ඩායමට එක්වූවාය.
ඇය ස්ලොවැකියානු ජාතික මානව හිමිකම් පිළිබඳ නිදහස් මාධ්‍යවේදිනියකි.
"සමහරුන්ට දස වධ දීල, සමහරුන්ව රේප් කරලා, ගහල," ඇය තමන්ට හමු වූ සංක්‍රමණිකයන් ගැන මා සමඟ විස්තර කළාය.
"හැමෝම අඬනවා, අනික බඩගින්නේ, හුඟක් දෙනා අසනීපෙන්," මාධ්‍යවේදිනිය පවසන්නේ එය තමන්ට අතිශය හැඟුම්බර අත්දැකීමක් වූ බවය.
"අපි බේරගන්නකොට දරුවෝ වතුරෙන් තැම්බිලා, සීතලේ ගැහි ගැහි හිටියේ. හැමෝටම වගේ විජලනය. නැවට ආපු ගමන් ගොඩක් දෙනා කලන්තේ දාලා වැටුණා."

ඡායාරූප මූලාශ්‍රය, Sea eye
වේදනාවක් සහ සතුටක්
Sea Eye සංවිධානයේ මාධ්‍ය කණ්ඩායමේ ආරාධනය පරිදි, සාරා චින්චුරවා මාධ්‍යවේදිනිය ද කණ්ඩායම සමඟ මැයි 08 වෙනි දින ස්පාඤ්ඤයෙන් නැව් නැගුණාය. එයට පෙර ඇයට නැව තුළ මෙහෙයුම පිළිබඳ සිව් දින පුහුණුවක් ලැබිණ.
"ඇත්තටම ඒ මිනිස්සු ගැන හරිම වේදනාවක් ඇතිවුණා; ලොකු අනුකම්පාවක් දැනුණා."
"ඒ එක්කම මිනිස්සු 408 දෙනෙකුගේ ජීවිත බේරගන්න ලැබීම ගැන අපි හැමදෙනාටම දැනුණේ ලොකු සතුටක්."
එය, Sea Eye4 නෞකාවේ පළමු චාරිකාව වූ අතර, සාරා එවැනි සුඛෝපභෝගී නෞකාවක ගමන්කළ ප්‍රථම වතාව ද එය විය.
විවිධ ජාතීන්ට අයත් කණ්ඩායමේ සියලු දෙනාම ස්වේච්ඡා සේවකයෝ වූහ.

ඡායාරූප මූලාශ්‍රය, guillaume duez/ sea eye
ඔවුහු දින කිහිපයකින් මධ්‍යධරණී මුහුදේ, ලිබියානු බේරාගැනීමේ මුහුදු තීරය අසලට ළඟාවූහ.
මුලින්ම ඔවුන්ගේ ඇස ගැසුණේ හිස් බෝට්ටුවකි. එය ලිබියානු වෙරළාරක්ෂක සේවය විසින් ආපසු යවන ලද බෝට්ටුවක් විය හැකි බව ඔවුහු විශ්වාස කරති.
ඔවුන්ට පළමු සංක්‍රමණිකයන් දෙදෙනා හමුවූයේ ඉන් පැය කිහිපයකට පසුවය.
ඔවුන් දෙදෙනා ඉතා කුඩා බෝට්ටුවක නැගී මුහුදේ පාවෙමින් සිටියහ.
"මම හිතන්නේ ඒක ෆයිබර්ග්ලාස් ධීවර බෝට්ටුවක්; හරිම පුංචි බෝට්ටුවක්. අනික හොඳටම හුළඟ, කාලගුණය හරිම නරකයි. අපි ගියේ නැත්නම් ඒ පුංචි බෝට්ටුව යුරෝපෙට එන්නේ කොහොමද කියල මට හිතාගන්නවත් බෑ."
කියවන්න:

ඡායාරූප මූලාශ්‍රය, guillaume duez/ sea eye
ඉන් පැය 36 කට පමණ පසුව ඔවුන්ට 'මහා මිනිස් කන්දක්' හමුවිය.
ඒ සමඟම බෝට්ටු පහක ගමන් කරමින් සිටි විශාල පිරිසක් බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුම ඇරඹිණ.
පැය කිහිපයක් ඇතුළත පළමු බෝට්ටුවේ සිටි 90 දෙනෙකු සහ දෙවෙනි බෝට්ටුවේ සිටි පිරිසක් ද ඇතුළුව 177 දෙනෙකු ඔවුන් විසින් බේරාගනු ලැබ තිබිණ.
"ඒක Sea Eye සංවිධානයේ ඉතිහාසයේ දැවැන්තම මෙහෙයුම් අතරින් එකක්."
මෙහෙයුම වාර්තා කිරීම පිණිස ඇරයුම් ලැබුව ද, සාරාගේ 'රාජකාරිය' වාර්තාකරණයට සීමා නොවීය.
කුඩා බෝට්ටු වෙත ළඟා වූ බේරාගැනීමේ කණ්ඩායම සංක්‍රමණිකයන් නෞකාව වෙත රැගෙන එද්දී, ඇය නෞකාවේ උඩ තට්ටුවේ සිට ඔවුන් පිළිගෙන, පොරවා සත්කාර කොට, ඇඳුම් පැළඳුම් සපයා දී ඔවුන් ලියාපදිංචි කිරීමේ කටයුතුවල නිරත වූවාය.
නෞකාව තුළ රෝහලක්
නෞකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සිටි අතර කුඩා රෝහලක් ද තිබිණ.
වෛද්‍යවරයෙකු, හෙදියක සහ පරිපූරක වෛද්‍යවරයෙකු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඇතුළත් විය. රෝහලේ, රෝගීන් තිදෙනෙකු සඳහා ඇඳන් පහසුකම් තිබිණ.

ඡායාරූප මූලාශ්‍රය, guillaume duez/ sea eye
බේරාගැනීමේ සීමාවේ දින හතරක් ගත කළ ඔවුහු ඉන් පසුව දින හතරකින් ඉතාලියට ළඟාවූහ.
"එක පැත්තකින් බැලුවම කිසිම කරදයක් නැතුව 408 දෙනෙක් බේරගන්න ලැබුන එක ප්‍රාතිහාර්යයක් කියල මට හිතෙනවා," සාරා පවසන්නීය.
සංක්‍රමණිකයන් පිරිස ඉතාලි බලධාරීන්ට භාරදීමෙන් පසු ඔවුහු තවත් දින දහයක් නෞකාව තුළ නිරෝධායනය වූහ.
'ප්‍රාතිහාර්යයක්'
"අපි බේරගත්ත සමහරු හොඳටම අසනීපෙන් හිටියේ. දොස්තරලා, නර්ස් දවස් ගානක් රෑ දවල් නැතිව වැඩ කළා. අපි හැමදෙනාම පුළුවන් විදියට උදවු කළා."
"අවුරුදු අටක එක පුංචි පිරිමි දරුවෙක් දරුණු විජලනයෙන් පීඩා වින්දා. ඒ දරුවාගේ හෘද ස්ඵන්දනය 40 ට බැහැල තිබුණා. අපි තව පොඩ්ඩක් ප්‍රමාද වුණා නම් ඒ දරුවා ජීවත්නොවෙන්න ඉඩ තිබුණ කියල මෙඩිකල් ටීම් එක කිව්වා."
"ඒක ඇත්තටම ප්‍රාතිහාර්යයක්."

ඡායාරූප මූලාශ්‍රය, guillaume duez/ sea eye
ගැබිණි මවුවරුන් 5 දෙනෙකු ද බේරාගනු ලැබූ කාන්තාවන් පිරිස අතර සිටියහ.
"පුංචිම දරුවට මාස අටයි. අනේ ඒ දරුවෝ සේරම ආසාවෙන් අපිත් එක්ක සෙල්ලම් කළා. අපි ඉතාලියට යනකල් දවස් හතරක් ඒ දරුවෝ ආසාවෙන් අපිත් එක්ක කාලය ගතකළා."
නෞකාවේ කාර්ය මණ්ඩලය ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දැන සිටි අතර, එක් අයෙක් යාන්තමින් ආරාබි භාෂාව දැන සිටියේය.
"කණ්ඩායමේ හැමෝම හරිම හෙල්ප්ෆුල්. හැමකෙනාම පුළුවන් විදියට එකිනෙකාට උදවු කළා."
"මට ප්‍රංශ භාෂාව පුළුවන්, ඉංග්‍රීසි වගේම. ඉතින් මට දෙයක් නොතේරුණා නම් භාෂාව දන්න කෙනෙක් මට උදවු කළා."
බිළිඳෙකු අතැතිව සිටි මවක ඇය සමඟ පැවසූ අත්දැකීම සාරාට තවමත් හොඳින් මතකය.

ඡායාරූප මූලාශ්‍රය, guillaume duez/ sea eye
"එයා මාලි රටේ කෙනෙක්. පුංචි දරුවත් එක්ක රැඳවුම් කඳවුරු තුනක රඳවලා හිටිය කියල එයා කිව්වා. කඳවුරුවලදී එයාව රේප් කළා කීවා; හොඳටම පහර දුන්නා කීවා.; ඒ විතරක් නෙමෙයි දරුවට හරියට කිරි ටිකක්වත් දුන්නේ නෑ කීවා."
සංක්‍රමණිකයෝ තවමත් ඔවුන්ට තුති පුදමින් වරින්වර පණිවුඩ එවති.
ඒ අතර ඇයට තවත් සතුටුදායක පුවතක් ලැබී තිබිණ.
ඔවුන් බේරාගත් ගැබිණි මවක, දරුවෙකු ප්‍රසූත කළ බවය, ඒ.
පුවත ලැබූ සැනින්ම ට්විටර් පණිවුඩයකින් සාරා, සිය සතුට පළ කළාය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
"එයාගෙයි, පුංචි පුතාගෙයි ජීවිතේ බේරගත්තට ස්තුති කරන්න ඒ අම්ම අපිට කෝල් කළා," යනුවෙන් එම පණිවුඩයේ දැක්විණ.
"අපි 408 දෙනෙක් බේරගන්නකොට, 409 දෙනෙක් බේරගෙන තියෙනව කියල අපි දැනගෙන හිටියේ නෑ."
ඇය එම පණිවුඩය අවසන් කර තිබුණේ "කිසිවෙකුට මියයන්නට ඉඩ නොදෙමු" හෙවත් #LeaveNoOneToDie හෑෂ්ටෑගයෙනි.
කියවන්න:








