කොරෝනා වෛරසය: තුන්දහසක් සමග වසා දැමුණු ඔස්ට්‍රේලියානු පොදු නිවාස සංකීර්ණය

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔස්ට්‍රේලියාව පුරා දෙවෙනි කොරෝනාවෛරස රැල්ල පැතිර යාමත් සමග, මෙල්බර්න් නගරයම සති හයකට නැවත වසා දැමීමට එරට රජය නියෝග කළේය.

නමුත් පොදු නිවාස ගොඩනැගිලි සංකීර්ණයක වෙසෙන 3,000ක පමණ පිරිසකට ඊටත් වඩා දැඩි සීමා කිරීම් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මෙල්බර්න් නුවර අනෙක් පදිංචිකරුවන්ට මෙන් නොව අදාළ ගොඩනැගිලි නවයේ දිවි ගෙවන පුද්ගලයන්ට කිසිදු හේතුවක් නිසා ඉන් පිටව යා නොහැකි අතර දැඩි පොලිස් ආරක්ෂාව ද යොදා ඇත.

එය ඔස්ට්‍රේලියාව තුළ මෙතෙක් දක්නට ලැබුණ ඉතාම දැඩි ලොක්ඩවුන් ක්‍රියාවලිය වේ.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'ෆ්ලෙමින්ග්ටන්' සහ උතුරු මෙල්බර්න්හි තදාසන්න ප්‍රදේශවල "රැඳවුම් නියෝග" සැලසුම් කර ඇත්තේ සමහර ගොඩනැගිලිවලින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සැළකිල්ලට ගනිමිනි.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෘස් අදාළ ගොඩනැගිලි වසා දැමීමේ නියෝගය රූපවාහිනියෙන් සජීවීව ප්‍රකාශයට පත් කළ විගස සිය ගණනක් පොලිසිය අදාළ ස්ථානයට යවා තිබිණි.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, AFP

බොහෝ නිවැසියන් මේ සිදුවන දේ නොදැන සිටියහ. ඔවුන් ගොඩනැගිල්ලෙන් පිටවීමට උත්සහ කළ විට පොලිසිය එය වළක්වා තිබිණි.

"අපිට පේනවා මේ ගොඩනැගිල්ල වටේට සෑහෙන පොලිස් නිලධාරීන් පිරිසක් යොදවලා ඉන්නවා. නොදන්නා කෙනෙකුට මේ තැන පෙනෙන්නේ හිර ගෙයක්, එහෙමත් නැත්නම් මොකක් හරි අපරාධයක් වුණ තැනක් වගෙයි. මොනවා වුණත් ඒ මිනිස්සු පව් කියලා හිතෙනවා," එම ගොඩනැගිලි සංකීර්ණය ආසන්නයේ වාසය කරන ශ්‍රී ලාංකික සිසුවෙකු වන රශ්මිත පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේය.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගොඩනැගිල්ල වසා දැමීම ගැන පුවත පැතිර යත්ම බොහෝ දෙනෙකු භීතියට පත්ව තිබේ. එහි පදිංචිකරුවන් අතර බෙදා හරින ලද නිල ලිපියක සඳහන් වූයේ වසා දැමීම දින පහේ සිට දාහතරක කාලයක් දක්වා පැවතිය හැකි බවය.

අදාළ ගොඩනැගිල්ලේ පදිංචිකරුවන්ගෙන් බහුතරයක් සීමිත ආදායම් ලබන පුද්ගලයන් වන අතර ඉංග්‍රීසි කතා නොකරන පසුබිම්වලින් පැමිණි අය වේ. බොහෝ දෙනෙක් සංක්‍රමණිකයන් වන අතර සමහරු සරණාගතයින් ලෙස අප්‍රිකානු රටවලින්, වියට්නාමය සහ චීනයෙන් පැමිණි පුද්ගලයෝය.

එමෙන්ම, බොහෝ තරුණ පවුල් සහ විශ්‍රාමිකයන් ද මෙහි දිවි ගෙවති.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, AFP

ආහාර, ඖෂධ සහ ළදරු ආහාර ගැන ඔවුන්ට ගැටලු පැන නැගී තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ දිගටම ඔවුන්ට සපයන බව රාජ්‍ය නිලධාරීන් පවසා ඇති නමුත් ඒ ලැබෙන දේ ප්‍රමාණවත් ද යන්න පිළිබඳ විවාදයක් පවතී.

සමහර අවස්ථා වලදී, කිසිදු දැනුම් දීමකින් තොරව ආහාර පාර්සල් දොරකඩ අසළ හෝ පහත මාලයේ තබා ගොස් ඇත.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගොඩනැගිලි සංකීර්ණයෙන් පිටත ප්‍රජා කණ්ඩායම් එකතු වී අදාළ පදිංචිකරුවන්ට ආහාර හා සැපයුම් ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සංවිධානය කර ඇත.

"පිට ඉන්න මිනිස්සු පුළුවන් හැම විදියටම උදව් කරනවා බිල්ඩින් එකේ ඉන්න අයට. කෑම බීමවල ඉඳන් තව අත්‍යවශ්‍ය දේවල් අරගෙන සෑහෙන දෙනෙක් ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා එතන," රශ්මිත පෙරේරා පැවසීය.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තනි සෝපාන සහ පටු පොදු ගමන් මාර්ග පවතින මෙම ගොඩනැගිල්ල තුළ වෛරසය පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක පැවතීම නිසා එය වසා දැමීමට සිදු වූ බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති. මේ ගොඩනැගිල්ල "සිරස් අතට තිබෙන නැවක්" හා සමාන බව ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

කෙසේනමුත්, තමන්ට සලකන ආකාරය ගැන ගොඩනැගිල්ලේ සිටින බොහෝ කුලී නිවැසියන් කෝපයට පත්ව සිටිති.

"බොහෝ අය මේ ගැන දැනගත්තේ රූපවාහිනියේ සජීවී විකාශය හරහා. මේ ගැන වෙනම දැනුම් දෙන්න තරම් ගෞරවයක්වත් මිනිසුන්ට දීලා නැහැ," යැයි ගොඩනැගිල්ලේ දිවි ගෙවන සිසුවියක වන ඩීමා අබ්දු පැවසීය.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ප්‍රාන්ත අගමැතිවරයා මේ වසා දැමීම ගැන ප්‍රකාශයට පත් කළ සැණින් පොලිසිය මෙහි දක්නට ලැබුණා. අපට ගොඩනැගිල්ලෙන් පිටව යා නොහැකි බව පොලිසිය පැවසුවා. මිනිස්සු සෑහෙන දුකට සහ පුදුමයට පත් වෙලා 'අනේ අපි මොකක්ද කළ වැරැද්ද?' කියලා සිතන්න ගත්තා," ඇය බීබීසීයට සේවයට පැවසුවාය.

සෞඛ්‍ය සේවකයින් ගොඩනැගිලි අසල රැඳී සිටින අතර පදිංචිකරුවන් විධිමත් ලෙස පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරමින් සිටිති. සෙනසුරාදා (ජුලි 4) සිට අවම වශයෙන් රෝගීන් 75ක් මෙම ගොඩනැගිලි තුළින් වාර්තා වී තිබේ.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ප්‍රාන්තය පුරා කොරෝනාවෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. අඟහරුවාදා දින (ජුලි 7) නිකුත් කළ නියෝගයට අනුව මුළු මෙල්බර්න් නගරයම නැවත වසා දැමීමට ක්‍රියා කර ඇත.

කෙසේවෙතත්, අදාළ ගොඩනැගිලිවල සිටින අයට මෙන් නොව අනෙකුත් මෙල්බර්න් වැසියන්ට අත්‍යවශ්‍ය රාජකාරි, ව්‍යායාම, භාණ්ඩ මිලදී ගැනීමට සහ යම් පුද්ගලයෙකුට රැකවරණය ලබා දීම සඳහා නිවසින් පිටව යා හැකිය.

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගොඩනැගිලිවල සිටින කුලී නිවැසියන් ඇමතූ ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෘස් පැවසුවේ "මෙහි ක්‍රියාත්මක වන උපායමාර්ගය වන්නේ හැකි ඉක්මනින් පරීක්ෂණය කිරීම් සම්පූර්ණ කර, ඒ ගොඩනැගිලි නවයේ සිටින අයටත් මෙල්බර්න්වල සෙසු ප්‍රදේශවලට සිටින අයට හා සමාන අවස්ථා ලබා දීමයි," යනුවෙනි.

"අවශ්‍ය කාලයට වඩා මොහොතක් හෝ වැඩියෙන් මේක ක්‍රියාත්මක වන්නේ නැහැ."

Melbourne lockdown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මෙල්බර්න් ශ්‍රී ලාංකිකයෝ

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස අතරින් 49%ක් දිවි ගෙවීමට තෝරා ගන්නේ මෙල්බර්න් නගරයයි. මේ වන විට එහි ශ්‍රී ලාංකිකයන් 12,000කට ආසන්න ප්‍රමාණයක් සිටින අතර ඉන් 59%කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිය.

"කොරෝනාවෛරසය පළමු රැල්ල නිසා අපිට සෑහෙන අපහසුතා ඇති වුණා. හැබැයි ලංකාවේ අය සෑහෙන උදව් කළා. නොමිලේ කෑම බීම පවා දුන්නා. දැන් දෙවෙනි රැල්ලත් එක්ක ආයෙත් අපි අපහසුතාවලට මැදි වෙනවා. මේක සෑහෙන මානසික පීඩනයක්," ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබන කසුනිකා දිල්රුක්ෂි බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේනමුත්, මේ වන විටත් සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ විවිධ ශ්‍රී ලාංකික කණ්ඩායම්, ආයතන සහ පුද්ගලයන් සිසුන්ට උපකාර කිරීමට ඉදිරිපත් වී ඇති ආකාරය දක්නට ඇත.

මේ තොරතුරුද කියවන්න: