ෆිෆා කාන්තා ලෝක කුසලානයට පැය කිහිපයකට පෙර ඕක්ලන්ඩ්හි මාරාන්තික වෙඩි තැබීමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ සන්නද්ධ පොලිස් නිලධාරීන් මධ්‍යම ඔක්ලන්ඩ් ප්‍රදේශය හරහා දිව යන අයුරු
    • Author, ඕක්ලන්ඩ් සිට නීල් ජොන්ස්ටන් සහ ලන්ඩනයේ සිට එමිලි මැක්ගාර්වි
    • Role, බීබීසී ක්‍රීඩා සහ බීබීසී පුවත්

ෆිෆා කාන්තා ලෝක කුසලානයේ සමාරම්භයට පැය කිහිපයකට පෙර, නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට මධ්‍යම වාණිජ ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක උදෑසන 07:22ට (ශ්‍රී ලංකා වේලාවෙන් 00:52) සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් ඇතුළු තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවක්කුකරු ද මියගොස් ඇත.

මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නොසලකන බව අගමැති ක්‍රිස් හිප්කින්ස් පැවසීය.

තරගාවලිය සැලසුම් කළ පරිදි ම පැවැත්වෙනු ඇති බව ද ඔහු පැවසුවේ ය.

ක්වීන් වීදියේ වූ මෙම සිදුවීමෙන් පසු, පොලිසිය එම තර්ජනය ඉවත්කර ඇති බවත්, තවදුරටත් කිසිදු අවදානමක් නැති බවත් මහජනතාවට සහතික විය හැකි බව ඔහු සඳහන් කළේ ය.

ප්‍රහාරය සඳහා දේශපාලනික හෝ මතවාදී අරමුණක් තිබුණු බවට හඳුනාගෙන නොමැති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, තුවක්කුකරු පතරොම් තුවක්කුවක් මෙම ප්‍රහාරය සඳහා භාවිත කර ඇති බව ය.

අන් අයගේ ජීවිත බේරා ගැනීම සඳහා අනතුර නොතකා වෙඩි පහර වෙතට ඍජුව ම දිවගිය නවසීලන්ත පොලිසියේ නිර්භීත නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට" හිප්කින්ස් සිය ප්‍රශංසාව පළ කළේ ය.

"මේ වගේ සිදුවීම් හරි ඉක්මනට සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක තමන්ගේ ජීවිතේ පරදුවට තියලා අනෙක් අයගේ ජීවිත බේරා ගන්න ක්‍රියා කිරීම වීරත්වයක්," ඔහු පැවසීය.

ඔක්ලන්ඩ් නගරාධිපති වේන් බ්‍රවුන්ට අනුව, සියලු ම ෆිෆා නිලධාරීහු සහ පාපන්දු කණ්ඩායම් ආරක්ෂිතව පසුවෙති.

"අපේ සුන්දර නගරයේ මේ වගේ දෙයක් කවදාකවත් සිදු වූ බවට මට මතකයක් නැහැ. අද උදේ සිද්ධ වෙච්ච දේ සියලු ම ඔක්ලන්ඩ් වැසියන්ට ඛේදජනක වගේ ම කම්පාවක් ගෙන දෙන්නක් වුණා. මොක ද මේ වගේ සිදුවීම් අපිට පුරුදු නැති නිසා," බ්‍රවුන් ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

විපතට පත්වූවන්ගේ පවුල් වෙත ෆිෆා ආයතනය "බලවත් ශෝකය" පළ කළ අතර, නවසීලන්ත බලධාරීන් සමග තමන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටි බව ප්‍රකාශ කළේ ය.

"මෙම සිදුවීම වන අවස්ථාවේ ඒ ආසන්නයේ සිටි තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වලට ඇති විය හැකි ඕනෑ ම බලපෑමක් සම්බන්ධයෙන් සහය ලබා දෙනවා," ෆිෆා ආයතනය පැවසීය.

සමාරම්භක තරගය නවසීලන්තය සහ නෝර්වේ අතර ඊඩ්න් පාර්ක්හි දී පැවැත්වීමට නියමිත ය.

ආරක්ෂාව යළි තහවුරු කිරීම සඳහා ප්‍රදේශය තුළ අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති බව ක්‍රීඩා අමාත්‍ය ග්‍රාන්ට් රොබට්සන් පැවසුවේ ය.

නවවන කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව එක්ව දරයි.

මීට පෙර, ජනතාවට නිවසේ රැඳී සිටින ලෙස ත් නගරය වෙත ගමන් කිරීමෙන් වළකින ලෙස ත් නගරාධිපතිවරයා අනතුරු ඇඟවූයේ ය. එය තම නගරය තුළ සිදුවීම "දරුණු දෙයක්" බව බ්‍රවුන් ප්‍රකාශ කළේ ය.

ඉදිකිරීම් භූමිය තුළ පුද්ගලයෙකු වෙඩි තබන බවට තමන් වෙත තොරතුරු ලැබුණු බව ත්, තුවක්කුකරු එහි ඇති ගොඩනැගිල්ල හරහා ගොස් දිගින් දිගට ම වෙඩි තැබූ බව ත් පොලිසිය පවසයි.

අනතුරුව එම පුද්ගලයා සෝපානයක් සවි කිරීම සඳහා නිර්මාණය කර ඇති අවකාශයක් තුළට ඇතුළු වී ඇති අතර පොලිසිය ඔහු සමග සන්නිවේදනයට උත්සහ දරා තිබේ.

එම පුද්ගලයා විසින් තවත් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරනු ලැබ ඇති අතර, ඉන් සුළු වේලාවකට පසු ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් පසු, වෙරළට සහ ක්‍රීඩාලෝලීන් සඳහා වෙන්වුණු උද්‍යානයට ආසන්න එරට මධ්‍යම වාණිජ ප්‍රදේශයේ සන්නද්ධ පොලිස් භටයින් විශාල පිරිසක් සිටිනු දක්නට ලැබිණි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කාන්තා පාපන්දු ලීගයේ ප්‍රධාන ක්‍රීඩා අධ්‍යක්ෂිකා ටහානා හේනී රැඳී සිටියේ වෙඩි තැබීම සිදුවූ ස්ථානය ආසන්නයේ ය.

පොලිස් රථ පැමිණෙන හඬට ඇය අවදි වූ බව ත්, ඇතුළතට වී සිටින ලෙසට ඔවුන් ඇයට දැනුම් දුන් බව ත් ඇය බීබීසී පුවත් සේවයට පැවසුවා ය. "මේ තාක් අපට ආරක්ෂාව ගැන ගැටලුවක් දැනෙන්නේ නැහැ," ඇය කියා සිටියි.