නවසීලන්තයේදී "ත්‍රස්තවාදී ප්‍රහාරයක්" එල්ල කළ ශ්‍රී ලාංකිකයා ගැන තතු හෙළිවෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, නවසීලන්තය: ශ්‍රී ලාංකික ප්‍රහාරකයා ගැන අගමැතිනිය කතා කරයි

නවසීලන්තයේ සුපිරි වෙළෙඳසලක දී පිරිසකට එල්ලවූ පිහි ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාවේ පොලිසිය ද විමර්ශන ආරම්භ කර තිබේ.

සිකුරාදා (සැප්. 03) නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී එම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයෙකු බව එදිනම හඳුනා ගැනුණු අතර ඔහු පොලිස් වෙඩි පහරින් මරණයට පත්විණි.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් එම ප්‍රහාරය හඳුන්වා දුන්නේ "ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙසය.

බුද්ධි අංශ සහ ශ්‍රී ලංකා පොලිසිය වෙත වාර්තා වී ඇති තොරතුරු අනුව එම සිද්ධියේ දී මියගියේ යැයි පැවසෙන පුද්ගලයා අවසන් වරට 2011 වර්ෂයේ දී ශිෂයකු වශයෙන් ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව බීබීසී සිංහල සේවය සමග පැවසීය.

කෙසේ වෙතත් මෙම තැනැත්තා පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ තැනැත්තාට සමීප පුද්ගලයින්ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටී.

කාත්තන්කුඩි - කොළඹ හරහා නවසීලන්තයට

මේ අතර විමර්ශනවලට සම්බන්ධ වෙනත් නිලධාරියකු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ප්‍රහාරකයා පිළිබඳව මේ වන විටත් තොරතුරු එක්රැස් කරගෙන තිබෙන බවය.

මොහොමඩ් සම්සුදීන් ආදිල් ලෙස හදුනාගෙන ඇති සැකකරුගේ ගේ මුල් පදිංචිය කාන්තන්කුඩි කබරට් ප්‍රදේශය වේ. දරුවන් සතරදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස 1998 වසරේ ඉපදුනු ආදිල් කොළඹදී මූලික අධ්‍යාපනය ලබා ඇති අතර පසුව උසස් අධ්‍යාපනය සඳහා නවසීලන්තය බලා පිටත්ව ගොස් ඇත.

ඔහුගේ සහෝදරයන් දෙදෙනා එක් අයෙකු මේ වන විට සෞදි අරාබියේ සිටින අතර කටාර් හි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරමින් සිටි අනෙක් සහෝදරයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ සිටිනුයේ 'සම්සුදීන් ආදිල්' ගේ මව සහ කටාර් හි සිට පැමිණි සහෝදරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් පමණි. අද (සැප්. 04) සවස් වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරමින් තිබිණි.

මේ අතර 'සම්සුදීන් ආදිල්' ගේ සහෝදරිය සහ පියා කැනඩාවේ පදිංචිව සිටින බවත් මේ වන විට ක්‍රියාත්මක කරන ලද පොලිස් පරීක්ෂණ වලදී හෙළි කරගෙන ඇත. මුල් පදිංචිය කාත්තන්කුඩි වුව ද ආදිල් කොළඹ පදිංචිය සඳහා පැමිණීම කෙරෙහි විදුහල්පතිවරයෙකු වූ සිය පියා ගේ සේවා මාරුවීම් හේතුවී තිබේ.

2011 වසරේදී නවසීලන්තයට සංක්‍රමණය වීමෙන් පසුව මුලින්ම සිරියානු ජාතිකයකු සමග ආදිල් නවාතැන්ගෙන සිට ඇති අතර විමර්ශන නිලධාරීන් සැක පහළ කරන්නේ එහිදී ඔහු අන්තවාදී මතවාදයන් කෙරෙහි නැබුරු වන්නට ඇති බවය.

සම්සුදීන් ආදිල් ගේ මව අද (සැප්. 04) මාධ්‍ය වෙත පැවසුවේ අන්තවාදී මත දරන පුද්ගලයින් පිරිසක් නවසීලන්තයේදී තම දරුවාගේ මනස ව්කෘති කර ඇති බවකි.

"2016 දී යුනිවර්සිට් එකේ ස්ටඩි කරනකොට තට්ටු හතරක ඉඳලා වැටුණා. එයා ඉස්පිරිතාලේ හිටිය එයාට උදව් කරන්න කවුරුවත් නෑ නේ, එයාගේ සිරියා ඉරාක ඒගොල්ලෝ තමයි එයාට උදව් කලේ. ඒ ගොල්ලෝ තමයි එයාගේ බ්‍රේන් වොෂ් කළේ. ඊට පස්සේ තමයි එයා facebook එකේ දාල තියෙන ඒව වේ ඒවා කලේ," යනුවෙන් සම්සුදීන් ආදිල් ගේ මව පැවසීය.

"2017 දී එයාව පොලිසිය (නවසීලන්ත) අල්ලාගත්තා ට පස්සේ එයා මස තුනකට සැරයක් තමයි (මට) කතා කළේ."

"මම දැනගෙන හිටියා, ලොකු පුතාලා එයාට බැන්නා. ලොකු පුතා දෙවෙනි පුතා ගොඩාක් කේන්තියෙන් හිටියේ එයත් එක්ක රණ්ඩු උනා. පස්සේ පොලිසියෙන් (නවසීලන්ත) නඩු දැම්මා ඊට පස්සේ එයාව නිදහස් කළා."

පොලිස් නිලධාරීන් බීබීසී සිංහල සේවය සමග පැවසුවේ ප්‍රහාරයට පෙර දිනත් සම්සුදීන් ආදිල් තම මවට දුරකතනයෙන් කතාකර සුවදුක් විමසා ඇති බවය.

මේ අතර නවසීලන්ත ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ප්‍රහාරකයාට වයස අවුරුදු 32 ක් වන අතර අයිඑස් ප්‍රචාරණය සඳහා වූ දේ සන්තකව තිබීම හීතුවෙන් මෑතකදී වසරක අධීක්‍ෂණයකට යටත් කර සිටි බවය.

"තනි පුද්ගලයකුගේ" ("lone wolf") ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා පිහියක් යොදාගෙන කුමන්ත්‍රණය කළ බවට පැමිණිල්ලේ නීතිඥයින් ඔහුට චෝදනා එල්ල කර ඇති නමුත්, පවතින නීති අනුව ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීම වරදක් නොවන බව විනිසුරුවරයා තීන්දු කළ බව වාර්තා වේ.

නවසීලන්ත ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවන්ට අනුව ඔහුගේ අන්තර්ජාල සෙවුම් ඉතිහාසය සහ පිටු සලකුණුවලට අයිඑස්අයිඑස් (ISIS) - ඉස්ලාමීය රාජ්‍ය ඇඳුම සහ නවසීලන්තයේ බන්ධනාගාර ඇඳුම් සහ ආහාර ඇතුළත් වේ.

සිකුරාදා වන තුරුම ඔහු කිසිදු වරදක් නොකළ බව ආර්ඩර්න් පැවසුවාය. ප්‍රහාරකයාගේ චේනනාවන් ගැන විමසූ විට ඇය පැවසුවේ ඔහුට "අයිඑස්එස් පොළඹවීමක්" තිබූ බවය.

ආරක්ෂක අංශවල නිරීක්ෂණයට

සිකුරාදා ඕක්ලන්ඩ් හිදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය කණගාටුව පළකරමින් කතා කළ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන්, ප්‍රහාරය එල්ලවී තත්පර 60 ක් තුළ පොලිසිය ප්‍රහාරකයා මරා දමනු ලැබූ බව සඳහන් කළාය.

"අද සිදු වූ දේ නින්දිත ක්‍රියාවක්. එය වෛරී සහගත ක්‍රියාවක්, එය වැරද්දක්," යනුවෙන් ඇය සිකුරාදා (සැප්තැම්බර් 03) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.

"එය සිදු කළේ ඇදහිල්ලක් නිසා නොව එක් පුද්ගලයෙකු විසින්"

විමර්ශන හේතුවෙන් ප්‍රහාරකයාගේ අනන්‍යතාව හෙළි කළ නොහැකි බව කී අගමැතිවරිය ඔහු 2011 ඔක්තෝම්බර් මස නවසීලන්තයට පැමිණ ඇති බව තහවුරු කළාය.

එරට ජාතික ආරක්ෂාවට අදාළව ඔහු පොලිසියේ නිරීක්ෂණය යටතේ 2016 වසරේ සිට පසුව ඇති බවත් ඇය පැවසීය.

The exterior of Lynnmall in New Lynn on November 13, 2014 in Auckland, New Zealand.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'LynnMall' වෙළඳ සංකීර්ණය

ප්‍රහාරකයාගේ මතවාදය හේතුවෙන් ඔහු නිරන්තර නිරීක්ෂණයටත් දැඩි ආවේක්ෂණයකටත් ලක්ව තිබිණි.

කෙසේ වුවත්, පුද්ගලයන් හය දෙනෙකුට තුවාල සිදු කිරීමට පෙර ඔහුට එරෙහිව පියවර ගැනීමට අසමත් වූයේ ඇයිදැයි යන්න ඇතැමුන් ප්‍රශ්න කරති.

"යථාර්ථය නම්, ඔබ යමෙකු දවසේ පැය 24 පුරා සතියේ දවස් 7 ම නිරීක්ෂණය කරන විට, සෑම විටම වහා ඔවුන් අසල සිටීම කළ නොහැක්කක්. කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් මැදිහත් වුණා, බියජනක තත්ත්වයක් තුළදී තවදුරටත් තුවාල සිදුවීම වැළකුනා" යනුවෙන් පොලිස් කොමසාරිස් ඇන්ඩී‍්‍රව් කෝස්ටර් පැවසීය.

ප්‍රහාරකයා ඉතා සුපරීක්‍ෂාකාරීව සිටි බවත්, මෙහෙයුම ඵලදායී වීමට කණ්ඩායම් දුරස්ථව පවත්වා ගත යුතු බවත් ඔහු පැවසීය.

ප්‍රහාරකයා තනිවම කටයුතු කළ බවත්, සමාජයට තවදුරටත් අනාරක්‍ෂිත නොවන බවත් බලධාරීන් විශ්වාස කරන බව කොස්ටර් පැවසීය.

Armed police patrol the area around Countdown LynnMall

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නවසීලන්ත අගමැතිනිය පැවසුවේ ප්‍රහාරකයා ශ්‍රී ලාංකිකයෙකු බවය

මීට පෙර සිද්ධිය ඇසින් දුටුවකු මීට පෙර එරට ප්‍රවෘත්ති ආයතනයක් වන 'Stuff NZ' වෙත පවසා තිබුණේ එහි උමතු සහගත තත්ත්වයක් පැවති බවය.

"(මිනිසුන්) වියරු වැටෙමින්, උමතු ලෙස, කෑගසමින්, බෙරිහන් දෙමින්, බියෙන් පසු වුණා" යනුවෙන් කී ඔහු, වයස්ගත පුද්ගලයෙකු තුවාල සහිතව බිම වැටී සිටිනු දුටු බව සඳහන් කළේය.

නිව් ලින් ප්‍රදේශයේ, 'LynnMall' වෙළඳ සංකීර්ණයේ සිටි සාප්පු හිමියන් එළියට පැන දුවන ආකාරය අන්තර්ජාලයේ සංසරණය වූ වීඩියෝපටවල දැක්විණි.

ප්‍රාදේශීය වාර්තා පවසන්නේ රෝහල් ගත කර ඇති රෝගීන් හය දෙනාගෙන් තිදෙනෙකු ඉතාමත් බරපතල තත්ත්වයේ පසුවන බවය.

සෙසු පුද්ගලයන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් දෙදෙනෙකු මධ්‍යස්ථ තත්ත්වයේ පසුවන බවත් එම වාර්තාවල දැක්වේ.

2019 මාර්තු 15 වෙනිදා ක්‍රයිස්ට්චර්ච් නගරයේ මුස්ලිම් පල්ලි දෙකකදී සුදු අධිපතිවාදී තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයින් 51 දෙනෙකු වෙඩි තබා මරා දමනු ලැබීමෙන් පසු නවසීලන්තය එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් සීරුවෙන් පසුවිය.

මැයි මසදී නවසීලන්තයේ දකුණු දූපතේ ඩුනෙඩින්හි සුපිරි වෙළෙඳසලකදී සිව් දෙනෙකු පිහිඇනුමකට ලක් විය.