ඊශ්‍රායලයේ දේශසීමාවන් සිතියම් හරහා පැහැදිලි කිරීමක්

ඊශ්‍රායලය රාජ්‍යයක් වශයෙන් ප්‍රකාශයට පත්කර වසර 70කට වැඩි කාලයක් ගතව ඇතත්, එහි දේශසීමාවන් තවමත් මුළුමනින්ම නිරවුල්වී නැත. යුද්ධ, ගිවිසුම්, හා ඈඳාගැනීම් හේතුවෙන් මේ යුදෙව් රාජ්‍යයේ හැඩය කාලයත් සමග වෙනස්වී ඇති අතර, ඇතැම් ප්‍රදේශයන් තවමත් නිශ්චයකොට නැත.

ඊට හේතුව පැහැදිලි කරන සිතියම් මාලාවකි මේ.

පසු කලෙක ඊශ්‍රායලයබවට පත්වූ භූමිය, ශතවර්ෂ ගණනාවක් පුරාවට තුර්කි පාලනය යටතේ පැවැති ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් විය. පළමු ලෝක යුද්ධයෙන් පසු, ඔටෝමන් අධිරාජ්‍යය කඩා වැටුණු විට, ජයග්‍රාහී මිත්‍ර පාර්ශවය විසින් 'පලස්තීනය' ලෙස හැඳින්වූ ප්‍රදේශය - මෙහි ජෝර්දාන් ගඟට බටහිරින් පිහිටි කොටස යුදෙව්වන් විසින් 'ඊශ්‍රායල දේශය' ලෙස ද හඳුන්වනු ලැබුණි - සලකුණුකොට බ්‍රිතාන්‍ය පරිපාලනයට පවරනු ලැබුණි (ඉතා කෙටි කාලෙකින් මෙය ජාතීන්ගේ ලීගය විසින් අනුමතවිය). මැන්ඩේටයේ කොන්දේසිවලින්, පලස්තීනය තුළ "යුදෙව් ජනතාව සඳහා ජාතික නිවහනක්" පිහිටුවීම බ්‍රිතාන්‍යයට භාරවිය. ඒ, එය සිදුකිරීම හරහා එහි වෙසෙන යුදෙව් නොවන ප්‍රජාවන්ගේ සිවිල් හා ආගමික අයිතිවාසිකම්වලට අගතියක් සිදුනොවන තාක් ය.

පලස්තීන අරාබි ජාතිකවාදයේ නැග්ම හා පලස්තීනයේ කුඩා යුදෙව් ජනගහණයේ වේගවත් වර්ධනය (විශේෂයෙන්ම 1930 ගණන්වල නාසිවාදයේ ආගමනයෙන් පසු) හේතුවෙන් පලස්තීනය තුළ අරාබි-යුදෙව් ප්‍රචණ්ඩත්වය ඉහළ ගියේ ය. බ්‍රිතාන්‍යය විසින් ගැටලුව එක්සත් ජාතීන් වෙත භාර කෙරුණු අතර, එක්සත් ජාතීන් විසින් 1947 දී පලස්තීනය, එකක් අරාබි හා එකක් යුදෙව් වශයෙන් රාජ්‍යයන් දෙකකට බෙදීමට ද, ජෙරුසලම-බෙත්ලෙහෙම ප්‍රදේශය ජාත්‍යන්තර නගරයක්බවට පත් කිරීමට ද යෝජනා කෙරිණි. මෙම සැලසුම පලස්තීනයේ යුදෙව් නායකත්වය විසින් පිළිගනු ලැබූව ද, අරාබි නායකයින් විසින් ප්‍රතික්ෂේප විය.

1948 මැයි 14 දා, බ්‍රිතාන්‍ය මැන්ඩේටය අහෝසි වූ මොහොතේ දීම, පලස්තීනයේ යුදෙව් නායකත්වය ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීම ප්‍රකාශයට පත්කළේ ය. නමුත් ඒ එහි දේශසීමා මොනවාදැ යි නිවේදනය කිරීමෙන් තොරව ය. ඊට පසුදින, ඊශ්‍රායලයේ නිදහස සඳහා වන යුද්ධය සනිටුහන් කරමින් අරාබි හමුදාවන් පහක් ඊශ්‍රායලය ආක්‍රමණය කළේ ය. සටන් විරාම මාලාවක් ද සමගින් 1949 දී මෙම සටන් අවසන්වූයේ, අසල්වැසි රාජ්‍යයන් සමග ඊශ්‍රායලයේ සටන් පෙරමුණු දිගට සටන් විරාම තීරයන් නිර්මාණය කිරීමෙන් සහ 'ගාසා තීරය' (ඊජිප්තුව විසින් අත්පත්කර ගත්), 'නැගෙනහිර ජෙරුසලම' සහ 'බටහිර ඉවුර' (ජෝර්දානය විසින් අත්පත්කර ගත්) ලෙස හැඳින්වෙන මායිම් නිර්මාණය කිරීමෙනි. අවට පිහිටි අරාබි රාජ්‍යයන් ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස හඳුනාගැනීම ප්‍රතික්ෂේප කළ හෙයින්, එහි දේශසීමා සලකුණු නොකෙරිණි.

1967 දී ඊශ්‍රායලයේ සීමාවන්හි විශාලතම වෙනස සිදුවූයේ, 'සය දින යුද්ධය' ලෙස හැඳින්වෙන ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය විසින් සිනායි අර්ධද්වීපය, ගාසා තීරය, බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ සිරියානු ගෝලාන් කඳුකරයේ වැඩිමනක් ප්‍රදේශය අත්පත්කර ගැනීමෙනි. මේ හරහා, ඊශ්‍රායල පාලනය යටතේ පවතින භූමි ප්‍රමාණය තෙගුණයකින් ප්‍රසාරණය විය. සැණින්, ගෝලාන් කඳුකරය හා නැගෙනහිර ජෙරුසෙලම ඈඳාගත් ඊශ්‍රායලය, පූර්ණ ජෙරුසලම් නගරයම එහි අගනුවර ලෙස ප්‍රකාශයට පත්කළේ ය. මෙම ක්‍රියාවන් ජාත්‍යන්තර විසින් පිළි නොගත්ත ද, ට්‍රම්ප් පාලනය සමයේ දී ඒ සම්බන්ධයෙන් නිල ස්ථාවරය වෙනස් කළ එක්සත් ජනපදය, එසේ සිදුකළ පළමු ලෝක බලවතාබවට පත්විය. එනමුදු, ජාත්‍යන්තරය තවමත් නැගෙනහිර ජෙරුසලම හා ගෝලාන් කඳුකරය අත්පත්කර ගත් භූමියක් ලෙස සළකයි.

යුදෙව් රාජ්‍යය පිළිගත් පළමු අරාබි රටබවට ඊජිප්තුව පත්කරමින්, 1979 දී ඊශ්‍රායලයේ ගොඩබිම් දේශසීමාවන්ගෙන් එකක් ප්‍රථම වරට නිල වශයෙන් පිළිගැනීමට ලක්විය. එම ගිවිසුම යටතේ ඊශ්‍රායලය හා ඊජිප්තුව අතර දේශසීමාව ලකුණු කෙරුණු අතර, ඊශ්‍රායලය සිනායි වෙතින් එහි සියලු හමුදා සහ ජනාවාසකරුවන් ඉවත්කර ගත්තේ ය - එම ක්‍රියාවලිය 1982 දී සම්පූර්ණ කෙරිණි. අනතුරුව, ඊශ්‍රායලය දිගටම ගාසා තීරය, නැගෙනහිර ජෙරුසලම හා ගෝලාන් කඳුකරය එය යටතේ තබාගත් අතර, එකල එහි සීමාවන් (ඊජිප්තු දේශසීමාව හැරුණුකොට) 1949 දී අඳින ලද සටන් විරාම තීරයන් මඟින් නිරූපනය කෙරිණි.

1994 දී ඊශ්‍රායල රාජ්‍යය පිළිගත් දෙවැනි අරාබි රාජ්‍යය බවට පත්වූ ජෝර්දානය, එම ක්‍රියාවලියේ කොටසක් ලෙස යුදෙව් රාජ්‍යය හා ජෝර්දානය අතර පිහිටි දීර්ඝ දේශසීමාව නිල වශයෙන් ස්ථාපනය කළේ ය. එකල ඊශ්‍රායලය හා ලෙබනනය අතර සාම ගිවිසුමක් නොමැතිවුව ද, 1949 දී දෙරට වෙනුවෙන් අඳින ලද සටන් විරාම තීරයන් ඊශ්‍රායලයේ තත්ත්වාකාර උතුරු දේශසීමාව ලෙස කටයුතු කළේ ය. නමුත් ඊශ්‍රායලය හා සිරියාව අතර දේශසීමාව සමථයට පත්වූයේ නැත.

මීට සමානව, 2005 දී ඊශ්‍රායලය විසින් ගාසා තීරයෙන් එහි හමුදා සහ පදිංචිකරුවන් ඉවත්කර ගැනීමෙන් පසු ඒ ප්‍රදේශය සමග තත්ත්වාකාර දේශසීමාවක් පැවැතියේ ය. නමුත් එක්සත් ජාතීන් ගාසා තීරය හා බටහිර ඉවුර ඊශ්‍රායල ආක්‍රමණය යටතේ ඇති තනි ප්‍රදේශයක් ලෙස සළකන අතර, තවමත් එහි නිල දේශසීමා තීරණයවී නැත. බටහිර ඉවුරේත්, ගාසා තීරයේත්, නැගෙනහිර ජෙරුසලමේත් අවසන් තත්ත්වය සහ දේශසීමාවන් ඊශ්‍රායලය සහ ඊශ්‍රායල ආක්‍රමණය යටතේ එම ප්‍රදේශයන්හි වෙසෙන පලස්තීනුවන් අතර සිදුවන සාකච්ඡා හරහා තීරණය කළ යුතුවුවත්, දශක ගණනක් තිස්සේ වරින් වර සිදුවන සාකච්ඡාවන් ඵල රහිතබව ඔප්පුවී තිබේ.