ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජෙරුසලමේ ප්‍රචණ්ඩ ක්‍රියා: ඊශ්‍රායල - පලස්තීන ගැටුම ගැන පැහැදිලි කිරීමක්
ජෙරුසලමේ හටගත් ගැටුම්වලින් පලස්තීනුවන් සියගණනක් හා ඊශ්‍රායල පොලිස් නිලධාරීන් විස්සකට වැඩි ප්‍රමාණයක් ද තුවාල ලබා තිබිණි.
අලුතින් ප්‍රචණ්ඩ ක්‍රියා මතුවූයේ මාස කිහිපයක් පුරා පැවති උණුසුම් තත්ත්වයකින් අනතුරුව වුවත් ඊශ්‍රායල - පලස්තීන ගැටුම දශක ගණනාවක සිට ඇදී එන්නකි.
ගැටුම ඇරඹුණේ කෙසේද?
සියක් වසක ගැටලුවක්
පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හැඳින්වුණු ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍යය යටතට පත් විණි. එසේ වූයේ එම කොටසේ පාලනය ගෙන ගිය ඔටොමාන් අධිරාජ්‍යය පරාජයට පත් කිරීමෙන් අනතුරුවය.
එම භූමියේ සුළුතරය යුදෙව් ජාතිකයන් වූ අතර බහුතරය අරාබි විණි.
දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වය මතුවන්නට වූයේ, පලස්තීනය තුළ යුදෙව් ජනතාව වෙනුවෙන් "ජාතික නිවහනක්" ගොඩනැගීමේ කාර්යය ජාත්‍යන්තර ප්‍රජාව විසින් බ්‍රිතාන්‍යයට පැවරීමත් සමග ය.
එම භූමිය සිය පාරම්පරික නිවහන බව යුදෙව්වන් පැවසුවත් ඊට පලස්තීන අරාබි වැසියෝ ද හිමිකම් කියමින් අදාළ පියවරට එරෙහි වූහ.
1920 සහ 40 ගණන්වල සිට එම භූමිය වෙත පැමිණෙන යුදෙව් ජනයාගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතිණි. එසේ ආ බොහෝ දෙනා යුරෝපයේ එල්ල වූ වධහිංසාවලින් ගැලවීම සඳහා මෙන්ම දෙවෙනි ලෝක යුද්ධයේ සංහාරයෙන් පසු නිජබිමක් අපේක්ෂාවෙන් පැමිණියෝ වූහ.
යුදෙව් හා අරාබි ජාතීන් අතර ප්‍රචණ්ඩත්වය මෙන්ම බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි ප්‍රචණ්ඩත්වය ද ඉහළ නගින්නට විණි.
ඒ අනුව පලස්තීනය යුදෙව් හා අරාබි රාජ්‍ය ලෙස වෙන් කරමින් ද ජෙරුසලම ජාත්‍යන්තර නගරයක් බවට පත් කරමින් ද එක්සත් ජාතීන් 1947 දී යෝජනාවක් සම්මත කර ගත්හ.
යුදෙව් නායකයින් විසින් පිළිගන්නා ලද එම සැලසුම අරාබි පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර කිසිදා ක්‍රියාවට නොනැගිණි.
ඊශ්‍රායලයේ නිර්මාණය සහ 'මහා විපත'
ගැටලුව විසඳිය නොහැකි වූ තැන 1948 දී බ්‍රිතාන්‍ය පාලකයින් ඉන් ඉවත්ව ගිය අතර ඊශ්‍රායල රාජ්‍යය බිහිවීම යුදෙව් නායකයින් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
බොහෝ පලස්තීනුවන් ඊට විරෝධය දැක්වූ අතර යුද්ධයක් ඇරඹිණි. අසල්වැසි අරාබි රටවල හමුදා ආක්‍රමණය කළහ.
ලක්ෂ ගණනක පලස්තීනුවන්ට පලායාමට හෝ සිය නිවෙස් අතහැර යාමට බලකෙරුණු එම සිදුවීම ඔවුන් විසින් හඳුන්වනු ලැබුවේ 'අල් නක්බා' නොඑසේ නම් 'මහා විපත' යනුවෙනි.
ඊළඟ වසරේදී සටන්විරාමයක් සමග ගැටුම් අවසන් වනවිට භූමි ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් ඊශ්‍රාලයේ පාලනය යටතේ පැවතිනි.
ජෝර්දානය විසින් අල්ලාගන්නා ලද භූමිය බටහිර ඉවුර නමින් හැඳින්වුණු අතර ගාසා ප්‍රදේශය ඊජිප්තුව විසින් අත්පත් කරගෙන තිබිණි.
ජෙරුසලම බෙදී ගොස් තිබුණේ එහි බටහිර කොටස ඊශ්‍රායල හමුදාව සහ නැගෙනහිර කොටස ජෝර්දාන හමුදාව අතට පත්කෙරිමිනි
සෑම පාර්ශවයක් ම එකිනෙකාට චෝදනා කරන අතරේ සාම ගිවිසුමක් නොතිබූ හෙයින් ඉන් පසු එළඹුණු දශක ගණන තුළ යුද්ධ හා ගැටුම් හට ගත්තේය.
මේ ගැනත් දැනගන්න:
වර්තමාන සිතියම
එසේ 1967 දී ඇති වූ තවත් යුද්ධයකදී නැගෙනහිර ජෙරුසලම හා බටහිර ඉවුරත්, සිරියානු ගෝලාන් කඳුකරයේ වැඩි ප්‍රමාණය මෙන්ම ගාසා සහ ඊජිතුවේ සිනායි අර්ධද්වීපය ද ඊශ්‍රායලය විසින් අත්පත් කරගන්නා ලදී.
බොහෝ පලස්තීන සරණාගතයින් සහ ඔවුන්ගෙන් පැවතෙන්නෝ ගාසා හා බටහිර ඉවුර මෙන්ම අසල්වැසි ජෝර්දානය, සිරියාව හා ලෙබනනයේ වෙසෙති.
එම සරණාගතයින්ට හෝ ඔවුන්ගෙන් පැවතෙන්නන් හට යළි සිය නිවෙස් වෙත පැමීණීමට ඊශ්‍රායලය ඉඩ නොදේ. ඊශ්‍රායලය පවසන්නේ එසේ කළහොත් සිය රට පිරී ඉතිරී යනු ඇති අතර යුදෙව් රාජ්‍යයක් ලෙස එහි පැවැත්මට තර්ජනයක් වන බවකි.
ඊශ්‍රායලය තවදුරටත් බටහිර ඉවුර අත්පත් කරගෙන සිටී. ගාසා තීරයෙන් ඊශ්‍රායලය ඉවත් වුව ද එක්සත් ජාතීන් විසින් එය තවදුරටත් සලකනු ලබන්නේ අත්පත් කරගන්නා ලද භූමියේ කොටසක් ලෙසිනි.
සමස්ත ජෙරුසලම සිය අගනුවර බව ඊශ්‍රායලය පවසන අතර සිය අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර නැගෙනහිර ජෙරුසලම වන බව පලස්තීනුවෝ පවසති. එසේ මුළු නගරයටම ඊශ්‍රායලය හිමිකම් පෑම පිළිගත් අතලොස්සක් වූ රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය අයත් වේ.
ගෙවී ගිය 50 වසර තුළදී අදාළ ප්‍රදේශවල ඊශ්‍රායලය විසින් ජනපද ගොඩ නගනු ලැබ ඇති අතර මේ වනවිට එහි 600,000 ට වැඩි යුදෙව් ජනතාවක් වාසය කරති.
මෙය ජාත්‍යන්තර නීතියට අනුව නීති විරෝධී වන අතර සාමයට බාධාවක් බව පලස්තීනුවන් පවසතත්, ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කරයි.
දැන් සිදුවන්නේ කුමක් ද?
නැගෙනහිර ජෙරුසලම, ගාසා හා බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවන් හා ඊශ්‍රායලය අතර නිතර උණුසුම් තත්ත්ව හටගනී.
ඊශ්‍රායලය සමග බොහෝ විට යුද වැදුණු හමාස් නමින් හඳුන්වන පලස්තීන සන්නද්ධ කණ්ඩායම ගාසා පාලනය කරයි. ඔවුන් වෙත අවි ලැබීම නැවැත්වීම සඳහා ඊශ්‍රායලය මෙන්ම ඊජිප්තුව ද ගාසා තීරය සමග ඇති සිය දේශසීමා දැඩි පාලනයකට යටත් කර තිබේ.
ඊශ්‍රායලයේ ක්‍රියා සහ සීමා හමුවේ තමන් පීඩා විඳින බව ගාසා මෙන්ම බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවෝ පවසති. එහෙත් ඊශ්‍රායලය පවසන්නේ පලස්තීනුවන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාවීම සඳහා පමණක් තමන් ක්‍රියාත්මක වන බවය.
2021 අප්‍රේල් මස මැද ශුද්ධ වූ මුස්ලිම් මාසය ආරම්භයේ සිට තත්ත්වය උත්සන්න වූයේ පොලිසිය හා පලස්තීනුවන් අතර රාත්‍රී කාලයේ හටගන්නා ගැටුම් සමගිනි.
නැගෙනහිර ජෙරුසලමේ ඇතැම් පලස්තීන පවුල් තර්ජනාත්මකව ඉවත් කිරීමද ප්‍රකෝපය ඉහළ යාමට හේතු විය.
ප්‍රධාන ගැටලු මොනවාද?
ඊශ්‍රායලය හා පලස්තීනුවන් අතර එකඟතාවක් ඇති නොවන ගැටලු ගණනාවකි.
පලස්තීන සරණාගතයින්ට කුමක් සිදුවේද, බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස එසේ පවතින්නේද නැති නම් ඉවත් කරන්නේද, ජෙරුසලම දෙපාර්ශවය විසින් ම බෙදාහදාගනු ලබන්නේද, සහ වඩාත් දුෂ්කර කරුණ වන ඊශ්‍රායලය පසෙකින් පලස්තීන රාජ්‍යය ගොඩනැගිය යුතුද යන ගැටලු ඒ අතර වේ.
වසර 25 ක් පුරා අතරින් පතර සාම සාකච්ඡා පැවතිය ද අර්බුදය තවමත් විසදී නැත.
අනාගතයට ඉතිරිව ඇත්තේ කුමක් ද?
කෙටියෙන් පවසතොත්, මෙම තත්ත්වය ඉතා ඉක්මණින් විසඳෙන බවක් පෙනෙන්නට නැත.
වඩාත් මෑත කාලීන සාම සැලසුම සකසනු ලැබුවේ එක්සත් ජනපදය විසිනි. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ධුරය දරන සමයේ දී ය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් එය හඳුන්වනු ලැබුවේ "සියවසේ එකඟතාව" (the deal of the century) ලෙසය. එය ඒක පාර්ශ්වික යැයි පවසමින් පලස්තීනුවන්ගේ ප්‍රතික්ෂේප කිරීමට ලක්වූ එම සැලසුම ක්‍රියාවට නොනැගිණි.
අනාගතයේ මොනයම් හෝ සාම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමට නම්, දෙපාර්ශවයම සංකීර්ණ ගැටලු විසඳාලීමට එකඟ විය යුතුය.
එය ඉටුවන තාක්, අර්බුදය තවත් ඉදිරියට යනු ඇත.