ප්‍රංශ කැරලි: රථ වාහන සෝදිසි කිරීම්වල දී පොලිසිය ගිනිඅවි භාවිත කරන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, ලෝරා ගොච්චි
- Role, බීබීසී පුවත්
පැරීසියේ තදාසන්න ප්‍රදේශයක මෝටර් රථයක් පදවාගෙන ගිය 17 හැවිරිදි පිරිමි දරුවෙකු පොලිස් වෙඩි පහරින් මියයාම, කෙටි කාලයක් තුළ ප්‍රංශයෙන් වාර්තා වූ එවැනි මාරාන්තික සිදුවීම් මාලාවක නවතම සිදුවීම යි.
ඉකුත් වසරේ දී එවැනි මරණ 13ක් වාර්තා වූ අතර, මෙය මෙම වසරේ පොලිස් රථ වාහන සෝදිසි කිරීමක් අතරතුරදී සිදුවූ තෙවන ඝාතනය වේ.
වින්දිතයන්ගෙන් වැඩි දෙනෙකු කළු හෝ අරාබි සම්භවයක් ඇති අය බව රොයිටර්ස් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
රථ වාහන සෝදිසි කිරීමක් අතරතුරදී ගිනි අවි භාවිත කිරීමේ නෛතික පදනම කුමක් ද?
2017 වසරේදී සිදු වූ නීති වෙනසින් පසු ප්‍රංශ පොලිසියට අවස්ථා පහකදී වෙඩි තැබීමට නෛතික අවසරය ඇත.
වාහනයක රියැදුරු හෝ එහි ගමන්ගන්නන් පොලිසිය විසින් නිකුත් කෙරෙන නැවැත්වීමේ නියෝගයක් නොසලකා හැර, නිලධාරියාගේ ජීවිතයට හෝ ශාරීරික ආරක්ෂාවට හෝ වෙනත් පුද්ගලයින්ගේ ජීවිතයට අවදානමක් එල්ල කරතැ යි සලකන අවස්ථා ඊට ඇතුළත් ය.
ප්‍රංශයේ මානව හිමිකම් පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරයා අඟහරුවාදා (ජූනි 27) සිදුවූ නායෙල් එම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එය පසුගිය වසර ආරම්භයේ සිට සිදු කරන ලද හයවන පරීක්ෂණය යි.
ඊට සම්බන්ධ වූ නිලධාරියාට මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.
ප්‍රංශය පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි භාවිතය පුළුල් කළේ ඇයි?
විරැකියාව සහ අපරාධ ඉහළ මට්ටමක පවතින පැරීසියට තදාසන්න දිළිඳු ප්‍රදේශවල හටගන්නා නොසන්සුන්තා ප්‍රංශයට ආගන්තුක නොවෙයි. පොලිසිය පවසන්නේ, ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යන තත්ත්වයකට ඔවුන් මුහුණ දෙමින් සිටින බව ය.
2016 වසරේ දී, පැරීසියෙන් පිටත නිවාස සංකීර්ණයක තරුණයින් පිරිසක් මුර සංචාරයක යෙදී සිටි නිලධාරියෙකුගේ මෝටර් රථයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු බරපතළ පිළිස්සුම්වලට ලක්ව තාවකාලික කෝමා තත්ත්වයකට පත්විය.
පොලිස් වෘත්තිය සංගම් ඊට විරෝධය පළ කළ අතර දැඩි ප්‍රතිචාරයක් දක්වන ලෙස රජයෙන් ඉල්ලා සිටියේ ය.
ඊට ප්‍රතිචාර වශයෙන්, එවකට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වූ බර්නාඩ් කැසෙනෙව් පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි භාවිතය පිළිබඳ නීතිය වෙනස් කිරීමට පොරොන්දු වූ අතර, අනතුරුව, 2017 වසරේ මාර්තු මස දී දණ්ඩ නීති සංග්‍රහයේ 435-1 වගන්තිය සම්මත කර ගනු ලැබුවේ ය.
නායෙල් එම්ට සිදු වූයේ කුමක් ද?
ජූනි 27 දා ඇල්ජීරියානු සම්භවයක් ඇති 17 හැවිරිදි නායෙල් එම් නමැති පිරිමි දරුවෙකු රථ වාහන සෝදිසි කිරීමක් අතරතුර දී පළා යාම ත් සමග පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් විය.
නොන්තේර්හි අධිචෝදකවරයාට අනුව, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අණ නොතකා නායෙල් මෝටර් රථය පදවාගෙන ගිය පසු ඔහුට වෙඩි තබා තිබේ. එම වාහනය විවිධ මාර්ග නීති කඩ කිරීම් සිදුකර, පදිකයින් අනතුරට පත් වන අයුරින් කටයුතු කර ඇති බව අනතුරුව එම පොලිස් නිලධාරීන් ම පවසා ඇත.
බ්‍රහස්පතින්දා, පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටින නීතිඥයෙකු වන ලෝරන්ට්-ෆ්‍රෑන්ක් ලියනාඩ් පැවසුවේ, ඔහුගේ සේවාදායකයා ගිනි අවියෙන් වෙඩි තබා ඇත්තේ, "සම්පූර්ණයෙන් ම නීතියට අනුකූලව" බව ය.
"ඔහු නීතිමය රාමුවට පිටින් කටයුතු කළේ නැහැ," නීතිඥ ලියනාඩ් පැවසීය.
ගිනිඅවි නීතිය විවේචනය කරන්නන් පවසන්නේ කුමක් ද?
නව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු, ධාවනය වෙමින් පැවති වාහනවල රියැදුරන් ඉලක්ක කර සිදු වන මාරාන්තික පොලිස් වෙඩිතැබීම් පස් ගුණයකින් ඉහළගොස් ඇති බව පසුගිය වසරේ අධ්‍යයනයකින් හෙළිවිය.
2022 වසරේ දී පොලිසිය අතින් ඝාතනයට ලක්වූ පුද්ගලයින් 39 දෙනාගෙන් 13 දෙනෙකු ම නියෝග පිළිපැදීමට අපොහොසත් වීම මත වෙඩි ප්‍රහාරයට ලක් වූ රියැදුරෝ වෙති.
ඔවුන් අතර, මෝටර් රථයේ රියැදුරු අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මඟියෙකු ලෙස ගමන් කරමින් සිටිය දී පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ තරුණ කාන්තාවක වූ රයනා ද සිටියි.
විවේචකයින් තර්ක කරන්නේ, එවැනි සිදුවීම්වල ඉහළ යාම 435-1 වගන්තියේ ඍජු ප්‍රතිඵලයක් බව ය. රියැදුරු අණ නොතැකීම අවදානමක් ඇති කරයි ද යන්න තීරණය කිරීමට නිලධාරීන්ට ඉඩ සැලසීම හේතුවෙන් එම නීතිය බොහෝ සෙයින් අපැහැදිලි බව ඔවුහු පවසති.
ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක් වන හියුමන් රයිට්ස් ලීගයේ සභාපති හෙන්රි ලෙක්ලර්ක් පැවසුවේ, වෙඩි තැබීම සඳහා "නීතිමය ආරක්ෂාවක්" සපයන බැවින් නිලධාරීන්ට ඔවුන්ගේ ගිනි අවි "බාධාවකින් තොරව" භාවිත කිරීමට නීතියෙන් අවසර ලැබී ඇති බව ය.
ඇතැම් දේශපාලනඥයින් ද මෙම නීතිය නැවත සමාලෝචනය කරන ලෙස ඉල්ලා තිබේ.
උග්‍ර වාමාංශික දේශපාලනඥයෙකු වන ජෝන්-ලුක් මිලෝෂොන් එය "ඝාතනය කිරීමට අයිතිය සපයන" නීතියක් ලෙස හෙළා දුටුවේ ය.
රජය සහ පොලිසිය මෙම ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්නේ කෙසේ ද?
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මනින් මෙම ගිනි අවි නීතිය සම්බන්ධයෙන් එල්ලවන විවේචන ප්‍රතික්ෂේප කර ඇති අතර, 2017 වසරේ සිට පොලිසිය අතින් ඝාතනය වී ඇත්තේ සුළු පිරිසක් බව අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, ගවේෂණාත්මක මාධ්‍ය ආයතනයක් වන බැස්ටා විසින් කරන ලද අධ්‍යයනයක් මඟින් ඊට පරස්පර කරුණු ඉදිරිපත් කර තිබේ. එය සඳහන් කරන්නේ, 2017 වසරේ දී පොලිසිය විසින් පුද්ගලයින් 27 දෙනෙකු ඝාතනය කරනු ලැබ ඇති බව ත්, එම සංඛ්‍යාව 2020 වසරේ දී 40 දක්වා ත්, 2021 වසරේ දී 52 දක්වා තවදුරට ත් ඉහළගොස් ඇති බව ත් ය.
මෙම සතිය මුල දී කැසෙනෙව් මෙම නීති සම්පාදනය වෙනුවෙන් පෙනී සිටිමින්, "එය ඕනෑ ම අවස්ථාවක වෙඩි තැබීමට නිලධාරීන්ට අවසර ලබා නොදෙන" බව කියා සිටියේ ය.
පොලිසියේ වෘත්තියභාවය හෝ පුහුණුව නොමැතිකම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට දොස් පැවරිය යුතු නැතැ යි, හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා 'ල මොන්ඩෙ' පුවත්පත වෙත පැවසීය.
බීබීසීය වෙත අදහස් දක්වමින් අන්සෑඩ්-පොලිස් වෘත්තීය සමිතියේ නියෝජ්‍ය මහ ලේකම් තියෙරි ක්ලෙයාර්, ගිනිඅවිය භාවිතා කර ඇත්තේ නීත්‍යනුකූලව ද යන්න පරීක්ෂණයකින් තීරණය වනු ඇති බව පැවසුවේ ය.
"ප්‍රධාන දේ තමයි, තර්ජනයේ ස්වභාවය සමග [ප්‍රතිචාරය] සමානුපාතික වීම කියන මූලධර්මය," ක්ලෙයාර් පැවසීය.
"උදාහරණයක් විදියට, වාහනයක් නැවැත්වීමට සිදු කරන පොලිස් අණ නොතකා එහි මඟීන් පැනලා යන්නට උත්සහ කළොත් වෙනත් කෙනෙකුට අවදානමක් ඇතිවෙන්න පුළුවන් අවස්ථාවක් දක්වන්න පුළුවන්.
"ගිනිඅවියක් යොදාගත්ත, අපි මේ කතා කරන සිද්ධිය ත් ඒ ගණයට වැටෙන්න පුළුවන්."
ප්‍රංශයේ පොලිස් ඝාතන අනෙකුත් රටවල් හා සැසඳන්නේ කෙසේ ද?
ප්‍රංශ පොලිස් නියාමක ආයතනය වන IGPNහි නවතම වාර්තාවට අනුව 2021 වසරේදී ප්‍රංශයේ පොලිස් මෙහෙයුම්වලදී මරණ 37ක් සිදුවී ඇති අතර, ඉන් 10 දෙනෙකු මරණයට පත් වී ඇත්තේ වෙඩි තැබීම්වලිනි. එය මාධ්‍ය ආයතනයක් වන බැස්ටා විසින් උපුටා දක්වන ලද සංඛ්‍යාවට වඩා අඩු අගයකි.
එම සංඛ්‍යාවට අනුව, ප්‍රංශයේ සිදු වන මෙවැනි මරණ ගණන එරට ජනගහණයෙන් මිලියනයකට 0.5ක් පමණ වේ.
එක් එක් රටවල් මෙම සංඛ්‍යා වෙනස් ලෙස වාර්තා කිරීමට නැඹුරුවක් දක්වන බැවින් එය සංසන්දනය කිරීම අපහසු ය. නිදසුනක් වශයෙන්, මරණය සිදු වූයේ මෙහෙයුම අතරතුරදී ද නැතහොත් ඉන් පසුව ද යන්න ගැටලුවක් වී තිබේ.
නමුත් එය නියත වශයෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයකි. එහි එම අගය මිලියනයකට 3.5ක් සහ කැනඩාවේ 1.5ක් පමණ විය.
එය, 2021-22 වසරවල දී මාරාන්තික පොලිස් වෙඩි තැබීම් දෙකක් සහ පොලිස් අත්අඩංගුවේ දී හෝ පසුව මරණ 11ක් සිදු වූ එංගලන්තයට සහ වේල්සයට (එනම්, මිලියනයකට මරණ 0.2ක් පමණ) වඩා ඉහළ අගයකි.
අතිරේක වාර්තාකරණය ඇන්තනි රූබන් විසිනි











