මෙය කුමන්ත්‍රණයක් ද? ප්‍රිගෝෂන් රුසියාවේ කරන්නේ කුමක් ද?
- Author, පෝල් කර්බි
- Role, බීබීසී පුවත්
මෙය මාස 16 තිස්සේ රුසියාව යුක්රේනයේ ක්‍රියාත්මක කර ඇති මහා පරිමාණ යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් මෙන් ම පුටින්ගේ බලය අභියෝගයට ලක් විය හැකි අවස්ථාවකි.
වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානියා වන යෙව්ගිනී ප්‍රිගෝෂන් රාජද්‍රෝහී වීම, සන්නද්ධ කැරැල්ලක් දියත් කිරීම සහ "රටේ ජනතාවට ද්‍රෝහී වීම" සම්බන්ධයෙන් රුසියානු නායකයා චෝදනා කර තිබේ.
රුසියාවේ ඉතා වැදගත් චරිතයක් වන ප්‍රිගෝෂන් පවසන්නේ, ඔහුගේ අරමුණ "හමුදා කුමන්ත්‍රණයක් නොව යුක්තිය සඳහා වන පාගමනක්" ක්‍රියාත්මක කිරීම බව ය.
වැග්නර් කණ්ඩායමේ වත්මන් තත්ත්වය
මාස ගණනාවක් තිස්සේ ප්‍රිගෝෂන් යුක්රේනයේ ක්‍රියාත්මක රුසියාවේ මිලිටරි ව්‍යාපාරය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති අතර, ඔහුගේ වැග්නර් කුලී හමුදා කණ්ඩායමට, විශේෂයෙන් රුසියානු සිරගෙවල්වල සිටි සිරකරුවන් දහස් ගණනක් බඳවා ගත්තේ ය.
ඔහු දිගු කලක් තිස්සේ, යුද්ධය මෙහෙයවන හමුදා ප්‍රධානීන් සමග ප්‍රසිද්ධ ආරවුලක පැටලී සිටින නමුත් එය දැන් කැරැල්ලක් බවට පත් වී ඇත්තේ, ඔවුන් ඔහුගේ හමුදා ඔවුන්ගේ අණදෙන ව්‍යුහය යටතට ගැනීමට උත්සහ කරන බැවිණි.
වැග්නර් බළකාය රුසියානු ආක්‍රමණයට නතු වී ඇති නැගෙනහිර යුක්රේනය හරහා රුසියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි විශාල නගරයක් වන රොස්තොව්-ඔන්-ඩොන් වෙත පැමිණ, එම නගරය සහ එහි ඇති හමුදා මධ්‍යස්ථාන තමන් විසින් අත්පත් කර ගන්නා ලද බව පවසයි.
තත්ත්වය දුෂ්කර බව ජනාධිපති පුටින් පවසන නමුත් රුසියාව ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක් ම ගන්නා බවට පොරොන්දු වී තිබේ.
මෙය කුමන්ත්‍රණයක් ද?
හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳව පළ වන සියලු ම ප්‍රකාශ විකාරරූපී බව ප්‍රිගෝෂන් පවසයි.
එහෙත් ඔහුගේ කුලී හමුදාවන්ට ප්‍රමාණවත් ඇඳුම් කට්ටල සහ පතොරම් සැපයීමට හමුදාව අසමත් වීම සම්බන්ධයෙන් දරුණු ආරවුලක් ලෙස ආරම්භ වූ මෙම අර්බුදය දැන්, යුද්ධ ප්‍රයත්නයට නායකත්වය දීමේ වගකීම හිමි පුද්ගලයින් දෙදෙනා වන ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගුට සහ සන්නද්ධ හමුදා ප්‍රධානී වැලරි ජෙරසිමොව්ට ඍජු අභියෝගයක් බවට පත්ව ඇත.
ආණ්ඩුව නෙරපා බලය ලබා ගැනීමක් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුවී නොමැති බැවින් මෙය මෙතෙක් කුමන්ත්‍රණයක් ලෙස සැලකිය නොහැක. ප්‍රිගෝෂන්ගේ "පෞද්ගලික මිලිටරි සමාගමට" සන්නද්ධ හමුදාවන්හි පුළුල් සහයෝගයක් ඇතැයි ඔහු ප්‍රකාශ කළ ද එය හමුදාව නියෝජනය නොකරයි.
නමුත් එය රුසියාවේ ඉහළ පෙළේ නිලධාරීන් බලයෙන් නෙරපා දැමීමේ උත්සහයක් වන බැවින් ඉන් ජනාධිපතිවරයාගේ අධිකාරීත්වයට අභියෝගයක් එල්ල විය හැකි ය. තම ප්‍රතිවාදී බලවේගය ගොඩගැනීමට ප්‍රිගෝෂන්ට ඉඩ දෙන ලද්දේ රුසියාවේ නායකයා විසින් වුව ද, ඔහුට තවදුරට ත් ඔහුව පාලනය කිරීමට කිසිදු හැකියාවක් නොමැත.
ක්‍රෙම්ලිනය මෙය ඉතා බැරෑරුම් ලෙස සලකයි. දැඩි "ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ක්‍රියාත්මක පාලනයක්" යටතේ මුළු මොස්කව් කලාපයේ ම ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රධාන උත්සව අවස්ථා පවා අවලංගු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
යුක්රේනයේ ඊසානදිග දේශසීමාව අසල වොරොනෙෂ් කලාපයේ ද එවැනි ම පියවරක් ගෙන තිබේ.
"අපි 25,000ක් ඉන්නවා," ප්‍රිගෝෂන් පැවසීය. "අවශ්‍ය ඕන කෙනෙක්, අපිත් එක්ක එකතු වෙන්න." එය ජනාධිපතිවරයාට තර්ජනයක් ඇති කිරීමට ප්‍රමාණවත් නොවන නමුත් හමුදා නායකත්වයට අභියෝගයකි.
දේශසීමාව හරහා රොස්තොව් වෙත තම හමුදා ගෙන යමින්, ඔහු යුද්ධය ක්‍රියාත්මක වෙමින් පවතින හමුදා මූලස්ථානයේ පාලනය ලබා ගත් අතර, නගර මධ්‍යයේ සිටි ඔහුගේ මිනිසුන්ට කිසිදු ප්‍රතිරෝධයකට මුහුණ පෑමට සිදු නොවන බව වීඩියෝ දර්ශනවල සටහන් වී තිබිණි.
තමන් රුසියාවට ද්‍රෝහී වූ බව ඔහු ප්‍රතික්ෂේප කරන අතර, ජනාධිපතිවරයාගේ ඍජු විවේචනයකට ප්‍රතිචාර දක්වමින් ඔහු "සම්පූර්ණයෙන් ම වැරදි" බව පවසයි.
ප්‍රිගෝෂන්ට අවශ්‍ය කරන්නේ මොනවා ද?
"යුක්තිය සඳහා වන පාගමනක්" පිළිබඳ ඔහුගේ අදහස එතරම් පැහැදිලි නොවන නමුත් හමුදා නායකත්වය සමග පවතින ඔහුගේ ආරවුල පැහැදිලිව ම ඔවුන්ව බලයෙන් නෙරපා දැමීමට අවශ්‍ය තරම් වේගයකින් වර්ධනය වී තිබේ.
ප්‍රධාන හමුදා නිලධාරීන් දෙදෙනා පැමිණ තමා සමග සාකච්ඡා කරන තුරු තම කුලී හමුදා නගරය අවහිර කර මොස්කව් බලා යන බව සිකුරාදා රොස්තොව්හි නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයෙකුට සහ ජෙනරාල්වරයෙකුට ප්‍රිගෝෂන් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ.
හමුදාවට අයත් හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙළා ඇති බවට සහ වැග්නර් රථ පෙළක් රොස්තොව් නගරයට උතුරින් පිහිටි වොරොනෙෂ් ප්‍රදේශයේ ඇති එම්4 අධිවේගී මාර්ගයේ උතුරු දෙසට ගමන් කරන බවට වාර්තා පළ වී ඇත.
ප්‍රිගෝෂන්ගේ ආරවුල යුක්රේනයේ සිටින රුසියානු සෙබළුන් සමග නොව, ඔවුන් මෙහෙයවන "විකටයින්" සමග බවට ඔහු තර්ක කරයි. ඔහුට ඉවසීමෙන් කටයුතු කරන්නැයි ලෙස ජෙනරල්වරුන් කිහිප දෙනෙකු ආයාචනා කර ඇති නමුත් ඊට ප්‍රමාද වැඩි බව පෙනී යයි.
පුටින් සහ ප්‍රිගෝෂන් අතර ඇති සම්බන්ධය කුමක් ද?
ප්‍රිගෝෂන් දිගු කලක් ජනාධිපති පුටින්ගේ සමීප සගයෙකු ලෙස සිටි අතර ඔහු යටතේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස ත් පසුව කුලී හමුදා ප්‍රධානියෙකු ලෙස ත් සමෘද්ධියට පත් විය.
ඔහුගේ වැග්නර් සටන්කාමීහු නැගෙනහිර යුක්රේනයේ බක්මුට් නගරය අල්ලා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ දරුණු ගැටුමේදී විශාල වශයෙන් මිය ගියහ. එම ගැටුම මාස ගණනක් පැවති නමුත් ඔවුන්ට කිසි විටෙක ත් නගරයේ බලය සම්පූර්ණයෙන් අල්ලා ගැනීමට නොහැකි විය. යුක්රේනය තුළ රුසියානු හමුදාවලට අත්විඳින්නට සිදු වූ අසාර්ථකත්වය සහ බිඳවැටීම් පිළිබඳ හෙළිදරව් කරන සංවේදී වීඩියෝ දර්ශනවල සහ මේ වන විට සමාජ මාධ්‍යවලින් ඉවත් කර ඇති පරුෂ වදන් සහිත ප්‍රකාශවල ෂෙල් වෙඩි හිඟය සම්බන්ධයෙන් ප්‍රිගෝෂන් හමුදාවේ ඉහළ නිලධාරීන් වෙත දොස් පැවරූ අයුරු සටහන් වී තිබිණි.
මේ මොහොත වන තුරු ම ඔහු කිසි විටෙක ත් ජනාධිපතිවරයා කෙරෙහි තම කෝපය ඍජුව පළ කර නොමැත. නමුත් "සතුටින් ඉන්න නාකියා" යනුවෙන් ඔහු භාවිත කරන උපහාසාත්මක යෙදුම වක්‍රාකාර විවේචනයක් ලෙස බහුලව දක්නට ලැබිණි. ඉකුත් මාසයේ ඔහු ප්‍රශ්න කළේ, [ඔහු] සත්‍ය වශයෙන් ම "මෝඩ නාකියෙකු" බවට පත් වුවහොත් රුසියාව ජයග්‍රහණය කරන්නේ කෙසේ ද යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Concord Press Service
යුක්රේනය තුළ සිටින සියලු ම කුලී හමුදා කණ්ඩායම් ජූලි 1 වන දා වන විට ආරක්ෂක අමාත්‍යංශය විසින් සකස් කරන ලද කොන්ත්‍රාත්තු අත්සන් කළ යුතු බවට වන සර්ජි ෂොයිගු ගත් පියවරට මේ මස මුලදී ජනාධිපති පුටින් සිය සහය පළ කළේ ය. තම අධිකාරීත්වයට අභියෝගයක් ලෙස සලකමින් ප්‍රිගෝෂන් එය ප්‍රතික්ෂේප කර තිබේ.
ජූනි 23 වන දින කෝපාවිෂ්ඨව කළ දීර්ඝ කතාවකදී ඔහු රුසියානුවන්ට පැවසුවේ, යුද්ධය සාධාරණීකරණය කරමින් ඔවුන් කරන සම්පූර්ණ ප්‍රකාශය මුසාවක් බව ත්, එය තමන්ව ප්‍රසිද්ධියට පත් කර ගැනීමට සහ මහ ජනතාව සහ ජනාධිපතිවරයා රැවටීමට "කුඩා ජරා කණ්ඩායමකට" නිදහසට කරුණක් බව ත් ය.
එතැන් සිට බොහෝ දේ වෙනස් වී ඇත.
රොස්තොව්හි හමුදා කඳවුරු ග්‍රහණයට
යුක්රේනයේ සිටින තම මිනිසුන්ට මාරාන්තික ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට ප්‍රිගෝෂන් රුසියානු හමුදාව වෙත චෝදනා කළ නමුත් හමුදාව එය ප්‍රතික්ෂේප කළ අතර ඔහු නිතර ඉදිරිපත් කරන ආකාරයේ සාක්ෂි ගෙනහැර දැක්වීමට ඔහු අපොහොසත් විය.
සිකුරාදා අගභාගයේදී ඔහු නිවේදනය කළේ ඔහුගේ "යුක්තිය සඳහා වන පාගමන" ක්‍රියාත්මක වෙමින් පැවති බව ය. සාමාජිකයින් 25,000කින් යුත් ඔහුගේ බලඇණිය හුදෙක් "අතිරේක උපක්‍රමික බලඇණියක්" වනු ඇති අතර හමුදාවේ සියලු සාමාජිකයින් සහ රටේ සියලු වැසියන් ද ඔහුගේ අතිරේක බලඇණියේ කොටස්කරුවන් වනු ඇත.
යුක්රේනයේ හමුදාවන්ට අණ දෙන, නියෝජ්‍ය හමුදාපති ජෙනරල් සර්ජි සුරොවිකින් ඔහුගෙන් ඉල්ලා සිටියේ, පසු බැස ජනාධිපති පුටින්ගේ අණසකට යටත් වන ලෙස ය.
නමුත් උදෑසන වන විට ප්‍රිගෝෂන්ගේ බලඇණිය රොස්තොව් වෙත ළඟා විය: "අපි ඉන්නේ [මිලිටරි] මූලස්ථානය ඇතුළේ." ඔහු පසුව පැවසුවේ, "කිසිදු වෙඩි තැබීමකින් තොරව" ඔවුන් නගරය අල්ලා ගත් බව ය.
වැග්නර් සටන්කාමීන් මොස්කව් නුවරට උතුරු දෙසින් පිහිටා ඇති වොරොනෙෂ් කලාපයේ තිබුණු මිලිටරි කඳවුරු ග්‍රහණයට ගත් බව සඳහන් ය. එමෙන් ම, එම්4 මාර්ගය ඔස්සේ උතුරු දෙසට මොස්කව් වෙත යන වාහන පෙළක් ද වීඩියෝ දර්ශනවල දැක්වෙයි.
පුටින්ට සහ රුසියාවට බරපතළ මොහොතක්
මෙය යුක්රේනයේ ක්‍රියාත්මක රුසියාවේ යුද්ධයට ඍජු අභියෝගයක් නොවන අතර ප්‍රිගෝෂන් කියා සිටියේ, තමා ජනාධිපතිවරයාගේ නායකත්වය ගැන වාද නොකරන බව ය.
එහෙත් එය රුසියානු නායකයාට මිනිත්තු පහක අධිෂ්ඨානශීලී සහ ඉතා දැඩි ස්වභාවයකින් යුත් රූපවාහිනී දේශනයක් සිදු කිරීමට ප්‍රමාණවත් තරම් බරපතළ තත්ත්වයකි.
තම හමුදාවේ ඉල්ලීම් ඉටු නොකළහොත් මොස්කව් දෙසට ගමන් කරන බවට ප්‍රිගෝෂන් තර්ජනය කර ඇත. ඔහු එය කළහොත් කුමක් සිදුවේ ද?
අවම වශයෙන්, ව්ලැදිමීර් පුටින් වේගයෙන් වෙනස් වන තත්ත්වයක් පාලනය කර ගැනීමට නොහැකි නායකයෙකු වැනි ය.
ප්‍රිගෝෂන්ට රුසියාවේ සැලකිය යුතු මහජන සහයෝගයක් ඇති අතර, ඔහුගේ කැරැල්ල බිඳ වැටුණ ද, යුක්රේනය තුළ ඔහුගේ කුලී හේවායන් මත විශ්වාසය තැබූ හමුදාවකට මෙය අර්බුදකාරී මොහොතක් බවට පත්ව තිබේ.
එය පුටින්ගේ නායකත්වය සඳහා තීරණාත්මක මොහොතක් වන අතර රුසියානුවන්ට සවිඥානික වීමට මහඟු අවස්ථාවකි. එය අවසන් වන්නේ කෙසේදැයි පැවසීමට ඉක්මන් වැඩි ය.










