ඔඩිෂා දුම්රිය අනතුර:'මගෙ අම්මා අතුරුදන්වෙලා හිටියෙ, මට මළසිරුරෙ පින්තූරයක් ලැබුණා'
- Author, අමිතාභ භට්ටසාලි සහ සුබ්‍රත් කුමාර් පටී
- Role, බාලාසෝර්, ඔඩිෂා
පසුගිය සිකුරාදා (ජූනි 2) සවස ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ මඟී දුම්රිය දෙකක් හා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීම මේ සියවස තුළ එරට සිදුවූ දරුණුතම දුම්රිය අනතුර යි.
මින් අවම වශයෙන් පුද්ගලයින් 275ක් මියගොස් තවත් 1000ක් පමණ තුවාල ලැබීය.
බීබීසීය, මේ අනතුර ඇසින් දුටු ගම්වාසීන් කීපදෙනෙකු හා තුවාල ලත් මඟියෙකු සමග කතාබහ කළේ ය.

සූර්යාවීර්
'මගෙ අම්මයි ආච්චි අම්මයි කෝච්චියෙ හිටියෙ. ඒ දෙන්නා බෙහෙත් ගේන්න ටවුමට යමින් උන්නේ'.
'අනතුරෙන් පැය කීපෙකට පස්සෙ මට ආච්චි අම්මව හම්බුණා. එයා පණපිටින් හිටියා. ඒත් අම්මාව හොයාගන්න බැරිවුණා. අපි එයාව හැමතැනම හෙව්වත් හම්බවුණේ නැහැ.'
'මොකක් කරන්න ද කියලා දැනන් හිටියෙ නැති නිසා, මං මගෙ අම්මගෙ ෆොටෝ එකක් මගෙ යාළුවන්ට යි දන්න අඳුනන අයට යි යැව්වා. මං එයාගෙ ෆෝන් [කට්ටියට] නොම්මරෙත් දුන්නා. අන්තිමට දකිද්දී එයා ඇඳන් හිටි ඇඳුමෙ පාටත් විස්තර කළා'.
'අද උදේ මට යාළුවන්ගෙන් ආරංචියක් ආවා. එයාලා මට බොඩි එකක පින්තූරයක් එව්වා - ඒ මගෙ අම්මා. එයා ඒ ඇඳුමම යි ඇඳන් හිටියෙ.'
'මට දැන් ඕන කරන්නෙ අම්මගෙ අවසන් කටයුතු කරන්න එයාගෙ සිරුර පරිස්සමින් ගෙදර අරන් යන්න විතරයි. ඒ වුණාට මෙහෙ මහ අවුල් ජාලයක් - [එතනට ළඟාවෙන්න] කෝච්චිත් නැහැ. පාරවලුත් බ්ලොක්වෙලා.'

ගිරිජා ශංකර් රාත්
'මහා කලබලයක් තිබුණේ. ලොකු සද්දයක් ඇහුණා. හැමතැනම දුම පිරිලා තිබ්බා.'
'මිනිස්සු එහෙ මෙහෙ දුව දුවා හිටියා. මම හිටියෙ රේල් පාරට කිට්ටුවෙන් නිසා මං එතෙන්ට දුවගෙන යන්න හිතුවා. අපි හිරවෙලා හිටි සමහර මඟියන්ව එළියට අදින්න පටන්ගත්තා. පණපිටින් හිටි සමහරුන්ව යි, බොඩීස් කීපෙකුයි එළියට ගන්න අපිට පුළුවන් වුණා.'
'තුවාල වෙච්ච හුඟක් අය හිටියා, ඒගොල්ලන්ව කොහොම එළියට ගන්න ද කියලා අපි දැනන් උන්නේ නැහැ. ගලවාගැනීමේ කණ්ඩායම් ආවම වැඩේ ටිකක් ලේසි වුණා. ඒ වැඩ මුළු රෑ පුරාම වගෙ සිද්ධවුණා. මට දැනෙන්නේ මං තාමත් හීනෙන් ඇවිදිනවා වගෙ.'

ටුටූ බිස්වාස්
'අපට ලොකු සද්දයක් ඇහුණා. අපි ගෙයින් එළියට ආවම දැක්කා එළියෙ මේ ඇක්සිඩන්ට් එක සිද්ධවෙලා තියෙනවා. බඩු කෝච්චිය තව කෝච්චියක් උඩ නැගලා තියෙනවා මං දැක්කා.'
'මං එතෙන්ට ගියාම දැක්කා ගොඩක් මිනිස්සු තුවාල වෙලා, ගොඩක් මිනිස්සු මැරිලා ඉන්නවා. පොඩි බබෙක් අඬ අඬා හිටියා, එයාගෙ අම්මා තාත්තා සමහර විට මැරිලා වෙන්න ඇති. ඒ බබත් ටික වෙලාවකින් මැරුණා.'
'එතන ගොඩක් මිනිස්සු බොන්න වතුර ඉල්ලුවා. මම පුළුවන් තරම් කට්ටියට වතුර දුන්නා. අපේ ගමේ මිනිස්සු එතෙන්ට ඇවිල්ලා පුළුවන් තරමින් [අනතුරට පත්] ඒ මිනිස්සුන්ට උදව් කළා'.
'ඒක මහ භයංකාර යි'.

මුකේෂ් පණ්ඩිත්
'මම හිටියෙ කෝච්චියෙ. අපට එක සැරේම පොඩ්ඩක් ගැස්සෙනවා දැනුනා. එතකොටම කෝච්චිය පීලි පැන්නා.'
'හෙණ ගහන්නා වගෙ සද්දෙකුත් එක්ක කෝච්චිය පෙරළුනා. මාව හිරවුණා. පැය බාගෙකට වගෙ පස්සෙ ගමේ මිනිස්සු මාව බේරගත්තා'.
'අපේ බඩුමුට්ටු ඔක්කොම එළියෙ විසිරිලා තිබුණා. මට ඒවා මොකවත් හොයාගන්න බැරිවුණා. මං එළියට ඇවිත් බිම ඉඳගත්තා. අපේ ගමෙන් ආපු මඟියො හතරදෙනෙක් බේරිලා තිබුණා. ඒ වුණාට හුඟදෙනෙක්ට තුවාල වෙලා, සමහරු අතුරුදහන් වෙලා හිටියා'.
'මං හිටපු පෙට්ටියේ ගිය මිනිස්සු හුඟදෙනෙක් මැරුණා. බරපතල තුවාල ලබපු කට්ටිය ඉස්පිරිතාලෙ ගෙනාවා'.
ඡායාරූප හේමන්ත් බෙහාරාගෙනි. අතිරේක වාර්තාකරණය රොයිටර් පුවත් ඒජන්සිය විසිනි

ඉන්දියාවේ මාරාන්තිකම දුම්රිය අනතුරු
- 1981 ජූනි: සුළි කුණාටුවක් අතරතුර තදබදයෙන් පිරුණු දුම්රියක මැදිරි නවයෙන් හතක් ගඟකට වැටීමෙන් පුද්ගලයන් 800ක් පමණ මිය ගියහ.
- 1995 අගෝස්තු: දිල්ලියේ සිට කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) දුරින් දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 350ක් මිය ගියේය.
- 1999 අගෝස්තු: කොල්කටා ආසන්නයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 285 දෙනෙකු මිය ගියේය.
- 2005 ඔක්තෝබර්: දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රියක් පීලි පැනීමෙන් 77 දෙනෙක් මිය ගියහ.
- 2016 නොවැම්බර්: කාන්පූර් නගරය ආසන්නයේදී ඉන්දෝර්-පට්නා සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 14ක් පීලි පැනීමෙන් පුද්ගලයන් 150කට ආසන්න පිරිසක් මිය ගොස් සමාන සංඛ්‍යාවක් තුවාල ලැබූහ.












