අතල් බිහාරි වජ්පායි: හින්දු ජාතිකවාදී දේශපාලනයට පිළිගැනීමක් ලබාදුන් මිනිසා

Bhartiya Janata party leader Atal Bihari Vajpayee addressing large crowds in New Delhi during campaigning in December 1979. (

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අතල් බිහාරි වජ්පායි තෙවරක් ඉන්දියාවේ අගමැති විය: 1996 සහ 1998 වසරවල දී දෙවරක් කෙටි කාල සීමාවන්ට, සහ පසුව 1999 වසරේ දීත් වශයෙනි

1975 වසරේ ජූනි 26 දින, ඉන්දියාවේ දකුණු බැංගලෝර් නගරයේ පිහිටි නේවාසිකාගාරයක් වෙත පැමිණි පොලිස් නිලධාරීහු ප්‍රකට විපක්ෂ දේශපාලනඥයෙකු වූ අතල් බිහාරි වජ්පායි අත්අඩංගුවට ගත්හ.

ඊට පෙර දින සවස අගමැතිනි ඉන්දිරා ගාන්ධි හදිසි නීතිය පනවා රට අසාමාන්‍ය අර්බුදයකට ඇදදමා තිබුණි. මැතිවරණ අත්හිටුවා, සිවිල් අයිතිවාසිකම් සීමා කර, මාධ්‍ය නිහඬ කර, විවේචකයින් සහ විපක්ෂ දේශපාලනඥයින් අත්අඩංගුවට ගෙන තිබිණි. ගාන්ධි විසින්, අද ඉන්දියාව පාලනය කරන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) මතවාදී මූල ප්‍රභවය වන රාෂ්ට්‍රිය ස්වයම්සේවක් සංග් (RSS) සංවිධානය ද තහනම් කරනු ලැබී ය.

වජ්පායි එවකට භාරතීය ජනතා පක්ෂයේ දක්ෂිණාංශික පුරෝගාමියා වූ ජන සංඝ් පක්ෂයේ නායකයෙකු සහ RSS සංවිධානයේ සාමාජිකයෙකු විය. දශක දෙකකට වැඩි කාලයකට පසු ඔහු ඉන්දියාවේ අගමැති බවට පත් විය. ඒ, 1996 සහ 1998 වසරවල දී දෙවරක් කෙටි කාල සීමාවන්ට සහ, පසුව 1999 සහ 2004 අතර සභාග ෆෙඩරල් රජයකට නායකත්වය දෙමින් පූර්ණකාලීනව ඔහු අගමැතිධූරය හෙබවීය.

1975 වසරේ ගිම්හානයේ දී වජ්පායි අත්අඩංගුවට පත්වීමේ අවදානමක් අභිමුව සිටියේ ය. ඔහු නගරයේ "හොඳ ම හිරගෙදර" ගැන පක්ෂ සේවකයෙකුගෙන් විමසූ අතර, පොලිස් ස්ථානය තුළ දී "කම්මැලිකමින්, නමුත් කිසිදු අපහුසුතාවක් නොපෙන්වමින් වාඩි වී සිටින" බවක් පෙනෙන්නට තිබිණි. අවසානයේ දී, ඔහු කවි ලියමින් - ඔහු තමා "කේදී කවිරායි", එනම්, සිරකාර කවියා ලෙස හඳුන්වාගත්තේ ය - කාඩ් සෙල්ලම් කරමින් සහ මුළුතැන්ගෙයි වැඩකටයුතු අධීක්‍ෂණය කරමින් මාසයක කාලයක් සිරගතව සිටියේ ය.

ජූලි මාසයේ දී, වැරදුනු වෛද්‍ය රෝග විනිශ්චයකින් පසු වජ්පායි විශේෂ ගුවන් යානයකින් දිල්ලිය වෙත ගෙන යන ලද්දේ ය. අගනුවරදී, ඔහු මුලින් ම ශල්‍යකර්මයකට භාජනය වීමෙන් අනතුරුව සුවය ලබමින් රෝහලේ කාලය ගත කළ අතර, පසුව පොලිස් අධීක්ෂණය යටතේ විශේෂ අවසරයක් මත නිවසේ කාලය ගත කළේ ය. දෙසැම්බරයේ මැදභාගය වන විට වජ්පායි අධෛර්ය්‍යයට පත් වූ බවක් දක්නට ලැබිණි. "මගේ ජීවිතයේ සැඳෑ හිරු බැසයාමට තීරණය කර අවසන් ය... වදන් දැන් අරුත් සුන් ය... වරක් මිහිරි සංගීතයක් වූ දෑ දැන් දසතින් නැගෙන ඝෝෂාවක් බඳු ය," ඔහු කවියක ලිවීය.

K Advani, Kedar Nath Sahney, Atal Bihari Vajpayee and Vijay Kumar Malhotra at a RSS Rally at Red Fort Grounds, 1977

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1977 වසරේ දී දිල්ලියේ පැවති RSS රැස්වීමකට වජ්පායි (දකුණේ සිට දෙවැන්නා) සහ එල්කේ අද්වානි (වම් පස කෙලවර) සහභාගි වී සිටි අයුරු

හදිසි නීතියට එරෙහිව ක්‍රියාමත්මක වුණු (ප්‍රධාන වශයෙන් RSS සංවිධානයේ ප්‍රචාරකයින් විසින් පවත්වා ගෙන යන ලද) රහසිගත සාහිත්‍ය බෙදාහරින සහ සිවිල් විරෝධයන් සංවිධානය කළ ව්‍යාපාරයක් ඒ වන විට ත් අසාර්ථකත්වයට පත් වෙමින් තිබිණි. අගමැතිනියගේ උපදේශකයෝ, විපක්ෂයේ නායකයින්ට රජය සමග සාකච්ඡා කිරීමට හැකි වන පරිදි "යටත්වීමේ ලියවිල්ලකට" අත්සන් කරන ලෙස බලපෑම් කරමින් සිටියහ. අභිෂේක් චෞද්‍රි විසින් වජ්පායි පිළිබඳ රචනා කරන ලද විශිෂ්ට චරිතාපදානයට අනුව ඔහු, "හදිසි නීතියට එරෙහිව මහා මහජන නැගිටීමක් සිදු නොවීම ගැන කම්පනයට පත්ව සිට" තිබේ.

එවකට කිසිවෙකුගේ අවධානයට එතරම් භාජනය නොවූ දෙය නම්, වසරක් ඇතුළත වජ්පායි කොන්ග්‍රසයට එරෙහි එක්සත් විපක්ෂයක් එක්රැස් කිරීමෙහි ලා ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීම ය. ප්‍රධාන වශයෙන් මධ්‍යවාදී සහ දක්ෂිණාංශික පක්ෂ හතරක සභාගයක් වූ ජනතා පක්ෂය (ජන සංඝ් පක්ෂය ද ඇතුළුව) 1977 මාර්තු මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් ගාන්ධිගේ කොන්ග්‍රස් පක්ෂයට විශාල පරාජයක් අත්කර දුන්නේ ය. එය, නිදහසින් වසර 30කට පසු එම පක්ෂය ලද පළමු පරාජය යි.(අග්‍රාමාත්‍යවරිය ජනවාරි මාසයේදී මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර මාස 20ක හදිසි නීතිය පසුව ඉවත් කළා ය).

ආසන 542න් 298ක් හිමි කර ගැනීමට ජනතා පක්ෂය සමත් විය. වැදගත් ම දෙය නම්, ආසන 90ක් දිනා ගනිමින් සභාගය තුළ ප්‍රමුඛස්ථානය හිමිකර ගත්තේ ජන සංඝ් පක්ෂය වීම ය. චෞද්‍රි පවසන්නේ, වජ්පායිට අගමැතිධූරය සඳහා "නාමික හිමිකම් පෑමක්" කළ හැකිව තිබූ නමුත් එවකට 52 හැවිරිදි වියේ පසු වූ ඔහුට එම කාර්යය සඳහා වයස මඳවූ බව ය (දරදඬු විනයකට හුරු, වහා කිපෙනසුළු දේශපාලනඥයෙකු වූ 78 හැවිරිදි මොරාජි දේසයි අගමැතිධූරයට පත් විය). නව කැබිනට් මණ්ඩලයට ජන සංඝ් පක්ෂයේ සාමාජිකයෝ තිදෙනෙක් ඇතුළත් වූහ. "රටේ ප්‍රතිපත්තිවල ක්ෂණික හෝ විශාල වෙනසක්" සිදු නොකරන බවට ත්, චීනය සමග සබඳතා වැඩිදියුණු කිරීමට ත් පොරොන්දු වෙමින් වජ්පායි විදේශ ඇමති ලෙස වැඩ භාර ගත්තේ ය.

ජනතා පක්ෂයේ ප්‍රචාරක ව්‍යාපාරයේදී වජ්පායිගේ නැගීම පැහැදිලි විය. විපක්ෂ බලවේග ඒකාබද්ධ කළ 72 හැවිරිදි ජයප්‍රකාශ් නාරායන් හෙවත් ජේපීට පසුව කථිකත්වයට සහජ දක්ෂතාවක් ඇති මෙම ජනකාන්ත දේශපාලනඥයා ජනතා පක්ෂයේ "විශාලතම සෙනඟ අදින්නා" වූයේයැ යි චෞද්‍රි ලිය යි. මාධ්‍ය විසින් වජ්පායි හඳුන්වන ලද්දේ ජනතා පක්ෂයේ "ආකර්ෂණීය තරුණයා" ලෙස ය. මැතිවරණ ප්‍රචාරක පෝස්ටරයක් මඟින් ඔහු "ජාතියේ අභිමානය" ලෙස ද හඳුන්වා තිබිණි.

Atal Bihari Vajpayee (Former Prime Minister of India) at BJP National Executive Meeting at Ahmedabad Gujarat India on 1st April 1984

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දක්ෂ කථිකයෙකු ලෙස වජ්පායිට පුළුල් පිළිගැනීමක් හිමිවිය

බොහෝ ආකාරවලින්, චෞද්‍රි මට පැවසුවේ, "හින්දු ජාතිකවාදී ප්‍රධාන ධාරාවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ වජ්පායි" බව ය. උතුරු ඉන්දියාවේ නගරයක් වන අයෝධ්‍යාවේ හින්දු දෙවොලක් ඉදිකිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ පැවති පැරණි ව්‍යාපාරයට නායකත්වයදීමෙන් පසු පක්ෂය බලයට ගෙන ඒම සම්බන්ධයෙන් වජ්පායිගේ සමගාමියෙකු සහ භාරතීය ජනතා පක්ෂ නායක එල්කේ අද්වානිට පමණක් ගෞරවය හිමිවීමට වඩා මෙය බෙහෙවින් වෙනස් ය. "මෙය මතවාදීමය අතින් කම්මැලි, ස්වයං රැවටිලිකාර විශ්ලේෂණයක් වගේ ම ඒක පෙර තිබුණු ප්‍රවණතාවක් මුළුමනින් ම පාහේ මඟහරිනවා" යනුවෙන් චරිතාපදාන රචකයා පවසයි.

චෞද්‍රි පවසන පරිදි, මිනිසුන්ට අමතක වන දෙය නම්, භාරතීය ජනතා පක්‍ෂයේ නැගීමට බොහෝ කලකට පෙර, එනම්, 1984 මැතිවරණයේ දී ඉතා අඩු වටිනාකමක් තිබුණු ආසන දෙකේ සිට 2014 සහ 2019 දී පිට පිට අතිමහත් බහුතරය ලැබීම දක්වා එම පක්ෂයේ පූර්වගාමියා වූ වජ්පායි අයත්වූ ජන් සංඝ් පක්ෂය දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් ලෙස එහි විශ්වසනීයත්වය, නිපුණතාව හෝ සුදුසුකම් ඔප්පු කර තිබීම ය. 1967 වසරේදී ජන සංඝ් පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ සහ නීති සම්පාදකයින් 300කට ආසන්න සංඛ්‍යාවක් සිටි බව ඔහු තවදුරට ත් පවසයි.

"වජ්පායි ඉන්දීය දේශපාලනයේ යුග දෙකක් අතර පාලමක් වුණා - කොන්ග්‍රසය සහ දක්ෂිණාංශික පක්ෂ අතර. වජ්පායි නොහිටින්න නරේන්ද්‍ර මෝදි කෙනෙකුත් නොහිටින්න තිබුණා," චෞද්‍රි පවසයි. අභ්‍යන්තර ගැටුම්වලින් පිරී තිබුණු ජනතා පක්ෂය 1980 වසරේදී බිඳවැටුණු විට, වජ්පායි විසින් ජන සංඝ් පක්ෂය නව ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් බවට පත් විය යුතුයැ යි යෝජනා කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස භාරතීය ජනතා පක්ෂය බිහි විය.

බොහෝ දෙනෙකු වජ්පායි හඳුන්වා ඇත්තේ, "වෙස්මුහුණක්" හෝ උකුස්සන්ගේ පක්ෂයක සිටින මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස ය. චෞද්‍රි පවසන්නේ, වජ්පායිට "දැඩි මතධාරී දේශපාලනඥයෙකු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොලැබුණේ" ඔහුට විවිධ මට්ටම්වල දේශපාලන හවුල්කරුවන්ගෙන් සැදුම්ලත් සන්ධානයක් සමග කටයුතු කිරීමට සිදු වූ නිසා බව ත්, සම්මුතිය දේශපාලනයේ යතුර බව වටහා ගත් නිසා ත් බව ත් ය. "නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න කලින් හිටපු වජ්පායි දැඩි මතධාරියෙක්," ඔහු පවසයි.

Narendra Modi, Prime Minister of India, with Atal Bihari Vajpayee, Ex Prime Minister of India, and Keshubhai Patel, Ex Chief Minister of Gujarat State, at a Function in Ahmedabad Gujarat India on 1st October 1994

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වජ්පායි 1994 වසරේ දී ගුජරාටයේ පැවති උත්සවයක දී. ඔහුට පිටුපසින් වාඩි වී සිටින්නේ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ය

හින්දු මහසභා සහ ආර්ය සමාජ් යන ප්‍රධාන හින්දු හිතවාදී කණ්ඩායම් දෙකක් හින්දු එකමුතුකම පිළිබඳ අදහස වැළඳ ගනිමින් සිටි අවධියක, ග්වාලියර්හි ගුරුවරයෙකුට සහ ගෘහණියක වූ මවකට වජ්පායි උපත ලැබුවේ ය. ඔහු මුල් වරට ලියන ලද කවි පිළිබඳව චෞද්‍රි මෙසේ ලියයි: "ඒ කවි අතල්ට දැනුණු දැඩි කෝපය සහ ගොදුරක් බවට පත්වීම ගැන කතා කරනවා; ඒ වගේ ම ඔහුට ඉන්දියාවේ ඉතිහාසය, භූගෝලීය පිහිටීම සහ එහි පුනර්ජීවනයේ අවශ්‍යතාව ගැන ඇතැම්විට පටු සහ ව්‍යාකූල වුවත් යම් හැඟීමක් තිබුණු බව; සහ පුළුල් ලෝකයක තමන්ගේ ස්ථානය පිළිබඳ හැඟීමක් ගැන කතා කරනවා."

1925 වසරේදී පිහිටුවන ලද RSS සංවිධානයට වජ්පායි සම්බන්ධ වී ඇත්තේ ඔහුගේ පාසල් අවධියේ දී ය. ඔහු සතිපතා දේශන පැවැත්වී ය. මාධ්‍යවේදියෙකු වීමට සිහින දුටුවේ ය. එමෙන් ම, ඉන්දියාවේ ඉස්ලාම් ඉතිහාසය පිළිබඳ විවේචනාත්මක ලිපියක් ද ලිවීය. ඔහු RSSහි ප්‍රකාශකයා මෙන් වූ පාන්ච්ජන්‍ය ඇතුළුව ගව ආරක්‍ෂාව, හින්දු පෞද්ගලික නීතිය, ලෝකය සමග ඉන්දියාවේ සබඳතාව සහ හින්දු ආගම පිළිබඳ දක්ෂිණාංශික ප්‍රකාශන හතරක් සංස්කරණය කළේ ය. ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වන බර්සාත්හි (වර්ෂාව) ගීත "අසභ්‍ය සහ අශිෂ්ටයැ"යි පැවසූ ඔහු, අනපේක්ෂිත ලෙස සදාචාරය පිළිබඳ කාරණාවල දී ඔහුගේ ගතානුගතිකත්වය පිළිබිඹු කරමින් ළමයින් චිත්‍රපටය නැරඹීම වළකන ලෙස ද රජයෙන් ඉල්ලා සිටියේ ය.

දශක ගණනාවකට පසු වජ්පායි ප්‍රායෝගිකවාදියෙකු ලෙස පරිණාමය වී ඇති බව පෙනී යයි. ඔහු ජනතා පක්ෂයට එහි ප්‍රචාරක ව්‍යාපාරය සංවිධානය කිරීම සඳහා උදව් කරන විට, ප්‍රාදේශීය මාධ්‍ය ඔහුව ප්‍රශංසාවට ලක් කළේ ඔහු තුළ වූ, "මධ්‍යස්ථභාවය, සුහදතාවය සහ ප්‍රශ්න ග්‍රහණය කර ගැනීමට සහ වෙනස් මත, දර්ශන හෝ රුචිකත්වයන් දරන පුද්ගලයන් අතර ඇති පරතරය නැති කිරීමට ඇති හැකියාව" පිළිබඳව ය.

නමුත් එක් දෙයක් පැහැදිලි බව චෞද්‍රි පවසයි. 2018 වසරේදී මියගිය 93 හැවිරිදි වජ්පායි සිය දශක හයක වෘත්තීය ජීවිතය පුරාවට ම "මෑත කාලයේ වඩාත් ම ගුප්ත ඉන්දියානු දේශපාලනඥයා" ලෙස රැඳී සිටිනු ඇත.