රාජාභිෂේකයේදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිසියට විවේචන

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, රැචල් රසල්
- Role, බීබීසී පුවත්
රාජාභිෂේක දිනයේදී පුද්ගලයින් 52 දෙනෙකු ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මානව හිමිකම් කණ්ඩායම් විසින් මෙට්‍රොපොලිටන් පොලිසිය විවේචනයට ලක් කරනු ලැබ තිබේ.
එලෙස රඳවා සිටි අය අතර රාජාණ්ඩුව අහෝසි කර රාජ්‍ය නායකයෙකු තෝරා පත් කර ගැනීමට අවශ්‍ය බව පවසන රිපබ්ලික් කණ්ඩායමේ ප්‍රධානියා ද වෙයි.
පැය 16ක අත්අඩංගුවේ පසුවීමෙන් අනතුරුව සෙනසුරාදා සවස නිදහස් කරන ලද ග්‍රැහැම් ස්මිත් පැවසුවේ "එක්සත් රාජධානියේ සාමකාමී විරෝධතා දැක්වීමට තවදුරටත් අයිතියක් නොමැති" බවය.
ස්කොට්ලන්ඩ් යාඩ් පැවසුවේ ඔවුන් "සැමට සාමන ලෙස" ක්‍රියා කළ බවයි.
"විරෝධතාව සාපරාධී බවට පත් වූ විට සහ බරපතල කඩාකප්ල්කාරී තත්ත්වයක් ඇති කළ හැකි විට" ඒ සඳහා මැදිහත් වීමට පොලිසියට රාජකාරියක් ඇති බව පවසමින් අණදෙන නිලධාරිනී කැරන් ෆින්ඩ්ලේ රාජාභිෂේක දිනයේදී විරෝධතාවලට පොලිස් නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය ආරක්ෂා කළේය.
"රාජාභිෂේකය පරම්පරාවකට එක් වරක් සිදුවන දෙයක්. එය අපේ තක්සේරු කිරීමේ ප්‍රධාන සලකා බැලීමක්." ඇය පැවසුවාය.
සෙනසුරාදා සියගණනක් විරෝධතාකරුවන් මධ්‍යම ලන්ඩනයේ වර්ෂාවේම රැස්ව සිටි අතර ඔවුන්, "කිරුළ සමග බැස යන්න", "පොලිසිය කැඳවන්න එපා" සහ "සැබෑ රැකියාවක් ලබා ගන්න" ඇතුළු විරෝධතා පාඨ කියන ලදී.
අනෙකුත් විරෝධතා කාඩිෆ්, ග්ලාස්ගෝ සහ එඩින්බරෝ හි සංවිධානය කර තිබුණි. ලන්ඩනයෙන් පිටත කිසිදු අත්අඩංගුවට ගැනීමක් වාර්තා වී නොමැත.
ස්කොට්ලන්ඩ් යාර්ඩ් පැවසුවේ, අත්අඩංගුවට ගත් අය කලහයන්, මහජන සාමය කඩකිරීම් සහ රාජාභිෂේකය අවට මහජන සාමය කඩවන හා මහජන පීඩාවක් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටි බවයි.
තම විරෝධතා සාමකාමී බව උද්ඝෝෂකයින් අවධාරණය කරන අතරේ, පොලිසිය පැවසුවේ මෙම අවස්ථාව කඩාකප්පල් කිරීමට කණ්ඩායම් "නිශ්චිතව තීරණය කර ඇති" බවට තමන්ට බුද්ධි තොරතුරු තිබූ බවය.
කම්කරු පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ පසුපෙළ මන්ත්‍රී ශ්‍රීමත් ක්‍රිස් බ්‍රයන්ට් ට්විටර් හි සටහනක් තබමින් "භාෂණයේ නිදහස යනු පාර්ලිමේන්තු ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් හරහා දිවෙන රිදී නූලක් " ලෙස සටහන් කරමින් මෙට්ට්‍රපොලිටන් පොලිසියේ ප්‍රතිචාරය විවේචනය කරන ලදී.
ඡායා කැබිනට් අමාත්‍ය ජෙස් ෆිලිප්ස් ද සමාජ මාධ්‍ය භාවිතා කරමින් කියා සිටියේ "අපේ ජාතිය සහ අපේ රජු වෙනස් මතයක් දරන, හානිකර නොවන විරෝධයක් දරා ගැනීමට නොහැකි තරම් තත්ත්වයක නොසිටින බවය" යනුවෙනි.
කම්කරු මන්ත්‍රී රිචඩ් බර්ගන් පැවසුවේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව තමා දැඩි කනස්සල්ලට පත්වන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා සුල්තානා පැවසුවේ: "ඔබ රාජාණ්ඩුව ගැන කුමක් සිතුවත් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වනවා."
මෙට්‍රොපොලිටන් පොලිසිය දැඩිව විවේචනය කළ අය අතර හියුමන් රයිට්ස් වොච් හි එක්සත් රාජධානියේ අධ්‍යක්ෂ යස්මින් අහමඩ් ද වූ අතර ඇය එම ක්‍රියා සමාන කළේ "ලන්ඩනයේ නොව මොස්කව්හිදී ඔබ දැකීමට බලාපොරොත්තු විය හැකි දෙයක් ලෙසටය".
ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි පැවසුවේ අත්අඩංගුවට ගැනීමේ නිශ්චිත තත්වයන් පිළිබඳව තමාට විශ්වාස නැති බවත්, පොලිසියෙන් වැඩි විස්තර ඉල්ලා සිටින බවත්ය.
ලෝරා කුවෙන්ස්බර්ග් සමඟ බීබීසී සන්ඩේ වෙත අදහස් දක්වමින් ඔහු ආණ්ඩුව විවේචනය කළේ, "බ්‍රිතාන්‍ය, සිවිල් නිදහස පිළිබඳ සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් විරෝධතා මැඩලීම සඳහා නීති අනුමත කර ගන්නා" බවටය. කොන්සර්වේටිව් පක්ෂයට "පිළිතුරු දීමට බොහෝ දේ" ඇති බව ද ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සෙනසුරාදා සවස තමන් නිදහස් කළ බව ස්මිත් තහවුරු කළ අතර, රාජාණ්ඩු විරෝධී රිපබ්ලික් කණ්ඩායමේ සෙසු සාමාජිකයින් තවමත් අත්අඩංගුවේ පසුවන බව ඔහු පැවසීය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ "එක්සත් රාජධානියේ තවදුරටත් සාමකාමී විරෝධතා දැක්වීමට අයිතියක් නොමැති" බවය.
"අපේ නිදහස ආරක්ෂා කිරීමට රජතුමා සිටින බව මට බොහෝ වාරයක් කියලා තියෙනවා. දැන් ඔහුගේ නාමයෙන් අපගේ නිදහස ප්‍රහාරයට ලක්වෙලා තිබෙනවා."
රාජාභිෂේකය ආරම්භ වීමට පෙර ට්‍රැෆල්ගා චතුරශ්‍රයේ පැවති විරෝධතාවකදී ස්මිත් සෙනසුරාදා අලුයම අත්අඩංගුවට ගන්නා ලදී.
" මගේ රජු නොවෙයි" ("Not My King") යන පාඨය සටහන් ටී-ෂර්ට් පැළඳ සිටි ස්මිත් ඇතුළු විරෝධතාකරුවන් කිහිප දෙනෙකු රඳවාගෙන සිටින අයුරු දර්ශනවල දැක්වේ.
රාජාණ්ඩු විරෝධී කණ්ඩායමක් වන රිපබ්ලික් කියා සිටියේ තම පුවරු සිය ගණනක් පොලිසිය භාරයට ගෙන ඇති බවය.
විරෝධතාකරුවන්ට බාධක වැනි දේවලින් ආරක්ෂා වීමට භාවිතා කළ හැකි "අගුලු දැමීමේ උපාංග" සිය භාරයට ගත් බව මෙට්ට්‍රපොලිටන් පොලිසිය පැවසීය.
මෙම සතියේ සම්මත කරන ලද නීති සංශෝධන වලින් අනතුරුව අගුලු දැමීමට සූදානම් වීම දැන් නීති විරෝධී ක්‍රියාවක් බවට පත්ව ඇත.
නමුත් අත්අඩංගුවට ගත් රිපබ්ලික් පිරිසෙහි තවත් සාමාජිකයෙකු වන මැට් ටර්න්බුල් පැවසුවේ පුවරු අල්ලා ගැනීමට භාවිතා කරන පටි අගුලු දැමීමේ උපාංග ලෙස "වැරදි ලෙස වටහාගෙන ඇති" බවයි.
දේශගුණ ක්‍රියාකාරී කණ්ඩායමක් වන 'ජස්ට් ස්ටොප් ඔයිල්' කියා සිටියේ මධ්‍යම ලන්ඩනයේ සාප්පු සංකීර්ණයකදී විරෝධතාකරුවන් 13 දෙනෙකු සහ ඩව්නිං වීදියේ තවත් පස් දෙනෙකු පමණ සෙනසුරාදා අත්අඩංගුවට පත්වු බවය.
තම සැලැස්ම "ටී-ෂර්ට් සහ කොඩි ප්‍රදර්ශනය කිරීම පමණක්" වූ බවත් "මෙය අනීතික බියකරු සිහිනයක්" බවත් 'ජස්ට් ස්ටොප් ඔයිල්' ප්‍රකාශිකාවක පැවසූවාය.
රාජාභිෂේකය සඳහා පොලිසියේ ප්‍රවේශය පිළිබඳ වෙස්ට්මිනිස්ටර් නගර සභාවේ ප්‍රජාවන් සහ මහජන ආරක්ෂාව සඳහා වූ කැබිනට් සාමාජිකයා විසින් ද කනස්සල්ල මතු කරන ලදි. ඒ, 'නයිට් ස්ටාර්' වැඩසටහන සමග එක්ව සිටින ස්වේච්ඡා සේවකයන් ස්ත්‍රී දූෂණ ගැන අනතුරු ඇඟවීම් උපකරණ බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවට වන වාර්තා පදනම් කර ගෙනය.
කවුන්සිල සභික අයිචා ලෙස් පැවසුවේ බලධාරින් "සිදු වූ දේ නිවැරදිව තහවුරු කිරීමට මෙට්‍රොපොලිටන් පොලිසිය සමඟ කටයුතු කරමින් සිටින" බවත් " අපගේ ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය සහාය ලැබෙන බව තහවුරු කිරීමට ඔවුන් සමඟ සම්බන්ධ වී සිටින" බවත්ය.










