සිර ගෙදරින් අවසන් වූ ඉන්දියා-පාකිස්ථාන ඔන්ලයින් ආදර කතාව

Iqra and Mulayam

ඡායාරූප මූලාශ්‍රය, Bangalore Police

ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 වසරේ කොවිඩ් හේතුවෙන් රටවල් වසා දමා තිබුණු කාලයේ ඉක්රා සහ මුලායම් ඔන්ලයින් හරහා එකිනෙකා හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි
    • Author, ආනන්ත් සනානේ සහ ඉම්රාන් කුරේෂි
    • Role, බීබීසී හින්දි

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවී ව්‍යාජ හැඳුනුම්පතක් ලබා ගැනීමට පාකිස්ථාන කාන්තාවකට උදව් කළ ඉන්දීය ජාතිකයෙකු ජනවාරි මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු මෙසේ උදව් සපයා තිබුණේ ඔහුගේ බිරිඳට යි.

ඉන්දියානු ජාතික, 21 හැවිරිදි මුලායම් සිං යාදව් සහ පාකිස්ථාන ජාතික 19 හැවිරිදි ඉක්රා ජීවනී මීට වසර තුනකට පෙර ලූඩෝ ක්‍රීඩා කරමින් සිටියදී ඔන්ලයින් මාර්ගයෙන් හඳුනාගෙන ආදරයෙන් බැඳුණි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇත්තේ ආතතිමය සම්බන්ධතාවකි. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබෙද්දී ඉන්දියාව දෙකඩකර පාකිස්ථානය නිර්මාණය වූ 1947 වසරේ සිට දෙරට තෙවතාවක් යුද වැදී ඇත. මෙමඟින් දෙරට අතර ගමන් කිරීම සඳහා වීසා ලබාගැනීමට අපහසුතා ඇති කළ හැකි ය.

එබැවින් පසුගිය සැප්තැම්බර් මාසයේදී මුලායම් සහ ඉක්රා නේපාලයට ගිය අතර එහිදී ඔවුහු විවාහ වූහ. ඉන්පසු දෙදෙනා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බැංගලෝර් (බෙංගාලුරු) නගරයට ගොස් එකට ජීවත් වූහ.

නමුත් ඔවුන්ගේ ප්‍රීතිමත් ජීවිතය ජනවාරි මාසයේ දී ඛේදාන්තයක් බවට පත්විය. නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළුවීම නිසා ජීවනී අත්අඩංගුවට ගෙන රඳවා තැබුණු අතර වංචනික ක්‍රියා කිරීම, කූඨ ලේඛන සැකසීම සහ නිසි ලියකියවිලි නොමැතිව විදේශිකයෙකුට නවාතැන් සැපයීම යන චෝදනාවලට ලක්වීම හේතුවෙන් යාදව් අත්අඩංගුවට පත්විය.

ඇය පසුගිය සතියේ පාකිස්ථානයට පිටුවහල් කරන ලද අතර යාදව් බැංගලෝරයේ සිරගතව සිටියි.

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙසෙන යාදව්ගේ පවුලේ සාමාජිකයෝ මෙම අත්අඩංගුවට ගැනීම් නිසා කම්පාවට පත්ව සිටිති. ඔවුන් පවසන්නේ මෙම යුවළගේ කතාව හුදෙක් ආදර කතාවක් පමණක්බව ය.

"ඒ දෙන්නා ගෙදර එනවා දකින්න යි අපට ඕන," ඔහුගේ සොහොයුරු ජීත්ලාල් පවසයි. "ඉන්දියාව යි පාකිස්ථානය යි අතර තියෙන තත්ත්වය අපට තේරෙනවා. ඒත් ඒගොල්ලො කළ එකම දේ ආදරයෙන් බැඳෙන එක විතරයි."

ඊට පොලිසිය පවා එකඟ වනබව පෙනේ.

"නීතිවිරෝධී ඇතුළුවීම සහ කූඨ ලේඛන සැකසීම හැරුණම, ඒක ආදර කතාවක් කියලා තමයි පේන්නෙ," බැංගලෝර් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නම හෙළි නොකිරීමේ එකඟතාව මත පැවසීය.

Iqra and Mulayam

ඡායාරූප මූලාශ්‍රය, Jeet Lal Yadav

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම යුවළ පසුගිය වසරේ නේපාලයේ දී විවාහවූ නමුත් ඔවුන් එකට ගත කළ කාලය කෙටිවිය

එම ආදර කතාව ආරම්භ වූයේ 2020 වසරේ කොවිඩ් හේතුවෙන් රටවල් අගුළු දමා තිබුණු කාලයේ දී ය.

යාදව් බැංගලෝරයේ තොරතුරු තාක්ෂණ සමාගමක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ අතර ජීවනී පාකිස්ථානයේ හයිද්‍රාබාද් නගරයේ ශිෂ්‍යාවක වූවා ය.

ඔන්ලයින් මාර්ගයෙන් මුණගැසීමෙන් පසු දෙදෙනා දුරස්ථ ආදර සම්බන්ධතාවක් ආරම්භ කළහ. නමුත්, විවාහ වන ලෙස ජීවනීට ඇගේ පවුලේ සාමාජිකයින්ගෙන් එල්ල වූ පීඩනය දිනෙන් දින ඉහළ ගියේ ය.

යාදව්ගේ යෝජනාවක් මත ඇය පාකිස්ථානයෙන් පිටවී ඔහු හමුවීමට ඩුබායි හරහා නේපාලයට ගියා ය. ඔවුන් දෙදෙනා එහි කෝවිලක දී හින්දු චාරිත්‍රානුකූලව විවාහ වී ඉන්දියාවට පැමිණ ඇතිබව පොලිසිය පවසයි.

නමුත් ජීවනීට ඉන්දියාවේ රැඳී සිටීමට අවශ්‍ය ලියකියවිලි නොතිබූ අතර, පොලිසිය පවසන්නේ යාදව් ඇය වෙනුවෙන් ව්‍යාජ ආධාර් කාඩ්පතක් [ඉන්දියානු හැඳුනුම්පතක්] සකස් කළ බව යි.

පොලිසියට අනුව, ජීවනී නිවසේ රැඳී සිටිය දී යාදව් සෑම දිනකම රැකියාවට ගොස් ඇත.

නමුත් ඇය නිතරම පාකිස්ථානයේ සිටින තම මවට වට්ස්ඇප් ඔස්සේ ඇමතුම් ලබාගෙන ඇති අතර එය ඇය පොලිසියට හසුවීමට මඟ විවරකර ඇත.

එයරො ඉන්ඩියා ගුවන් සංදර්ශනය සහ G20 සමුළුවේ මුදල් ඇමතිවරුන්ගේ රැස්වීම යන ප්‍රධාන ජාත්‍යන්තර සිදුවීම් දෙක බැංගලෝර් නගරයේ පැවැත්වීමට නියමිතව තිබුණු බැවින් ඔවුන් පසුගිය මාසයේ දැඩි විමසිල්ලෙන් පසු වූ බව එම පොලිසියේ නිලධාරීහු පවසති.

වැඩිදුර විමර්ශනවලින් අනතුරුව, නීතිවිරෝධී ලෙස රටට ඇතුළුවීම සම්බන්ධයෙන් ජීවනී රඳවා තබාගෙන ජනවාරි 20 වන දින විදේශිකයින් ප්‍රාදේශීයව ලියාපදිංචි කරන කාර්යාලයට භාර දෙනු ලැබ ඇත. ඇය පෙබරවාරි මාසයේ දී පාකිස්ථානයට පිටුවහල් කරනු ලැබිණි.

"මේ දක්වා, නීතිවිරෝධී ලෙස රට තුළට පැමිණීම හැර ඇයට එරෙහිව වෙනත් කිසිදු චෝදනාවක් නැහැ," බැංගලෝරයේ වයිට්ෆීල්ඩ් දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් එස්. ගිරිෂ් බීබීසීයට පැවසීය. "නමුත් විමර්ශනය සිදුවෙනවා."

අදහස් ලබා ගැනීම සඳහා ජීවනී හෝ පාකිස්ථානයේ සිටින ඇගේ පවුලේ අය සම්බන්ධකර ගැනීමට බීබීසීයට නොහැකි විය. මෙම සතිය මුල දී පී.ටී.යි. ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ, ඇය නිවසට පැමිණි බව ඇගේ පියා තහවුරු කළ බවත්, ඔවුන්ට "මේ ප්‍රශ්නය ගැන කතා කිරීමට" අවශ්‍ය නොවන බවත් ය.

යාදව්ගේ මව ශාන්ති දේවි පවසන්නේ දෙරටේ රජයන් ඔවුන් නැවත එක් කිරීමට උපකාර කරනු ඇතැ යි තමන් බලාපොරොත්තු වන බව ය.

"එයා මුස්ලිම් ද පාකිස්ථානියෙක් ද කියන එක අපිට අදාළ නෑ, එයා අපේ ලේලි. අපි එයාව හොඳට බලා ගන්නවා."