ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව වයස්ගතම තැනැත්තිය වූ ප්‍රංශ කන්‍යා සොයුරිය 118 වැනි වියේ දී මියයයි
- Author, මලූ කර්සිනෝ
- Role, බීබීසී පුවත්
ලොව වයස්ගතම පුද්ගලයා වූ, ප්‍රංශ ජාතික කන්‍යා සොයුරි ලුසීල් රැන්ඩන්, 118 වැනි වියේ සිටිය දී අභාවප්‍රාප්තවූවා ය.
1944 දී කන්‍යා සොයුරියක්බවට පත්වන විට 'සිස්ටර් ඔන්ඩ්‍රේ' යන නම ලබාගත් රැන්ඩන්, ප්‍රංශයේ තූලොංහි පිහිටි ඇගේ සාත්තු නිවාසයේ දී නින්දේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
1904 දී දකුණුදිග ප්‍රංශයේ උපත ලැබූ ඇය ලෝක යුද්ධයන් දෙකක් දුටු අතර, සිය දිවියෙන් වැඩි කොටසක් කතෝලික ධර්මය වෙනුවෙන් කැප කළා ය.
ඇගේ දිගු ජිවිතයේ රහස "දෙයියොම තමයි දන්නේ", ඇය වරක් වාර්තාකරුවන්ට පවසා තිබුණි.
'ටුවර් ඩි ෆ්‍රාන්ස්' නම් පාපැදි තරගාවලිය එක් වරක් පමණක් පවත්වා තිබූ සමයක ඉපදුණු ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරිය ප්‍රංශයට රාජ්‍ය නායකයින් 27 දෙනෙකු පත්වෙනු, නික්මෙනු දුටුවා ය.
ඇගේ සාත්තු නිවාසයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන ඩේවිඩ් ටැවෙලා, ඇගේ අභාවය පිළිබඳ පුවත ඊයේ (ජන. 17) මාධ්‍වේදීන්ට නිවේදනය කළේ ය.
"මේක ලොකු ශෝකයක්, නමුත්... එතුමියගෙ අපේක්ෂාව වුණේ එතුමියගේ ආදරණීය පියාණන් හා සම්බන්ධවීම යි. ඒ නිසා, ඇයට මේක විමුක්තිය ලැබීමක්," ටැවෙලා ප්‍රකාශ කළේ ය.
ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරියට ඇගේ සොයුරන් සමග සමීප සබඳතාවක් තිබුණේයැ යි පැවසෙයි. ඇය වරක් වාර්තාකරුවන්ට පැවසූ පරිදි, ඇගේ සොඳුරුතම මතකයන්ගෙන් එකක් වන්නේ, සටන් බිමේ සිටි ඔවුන් පළමු ලෝක යුද්ධය අවසානයේ දී ආරක්ෂිතව ආපසු පැමිණීම යි.
"ඒක හරි දුර්ලභ යි," ඇය සිහිපත් කළා ය. "සාමාන්‍යයෙන් පවුල්වල, දෙන්නෙක් පණපිටින් ඉන්නවට වඩා, දෙන්නෙක් මැරිලා යන එක තමයි සිද්ධවුණේ."
අන්ධවුවත්, රෝද පුටුවකට සීමාවී සිටියත්, ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරිය අනෙකුත් වයස්ගත පුද්ගලයන් පිළිබඳව ද සැලකිලිමත්වූවා ය - ඔවුන්ගෙන් ඇතැමෙක් ඇයට වඩා වයසින් බොහෝසේ බාල තැනැත්තන් විය.
AFP පුවත් ඒජන්සිය සමග පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරිය මෙසේ පැවසුවා ය: "මිනිස්සු කියනවා [වැඩියෙන්] වැඩ කළාම මැරිලා යනවා කියලා. නමුත් මාව පණපිටින් තියාගත්තේ වැඩ කරන එක යි. මම මට අවුරුදු 108ක් වෙනකල් වැඩකළා."
එම සම්මුඛ සාකච්ඡාව අතරතුර දීම ඇය පවසා සිටියේ, ඇයට ස්වර්ගය වඩාත් හොඳවනු ඇති නමුත්, චොකලට් කෑම හා දිනපතා වයින් වීදුරුවක් පානය කිරීම වැනි ලෞකික සැප ඇය භුක්ති විඳිමින් සිටිනබව යි.
ඇය 'යුරෝපයේ වයස්ගතම තැනැත්තා' යන කිරුළ ටික කලෙක පටන් දැරූමුත්, පසුගිය අප්‍රේල් මාසයේ දී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් වූයේ එතෙක් එම කිරුළ දැරූ කනේ තනාකා නම් ජපන් ජාතික කාන්තාව 119 වැනි වියේ දී අභාවප්‍රාප්තවූ විට ය.
ඇය ලෝක වාර්තා පොතට ඇතුළත්වූ පළමු අවස්ථාව එය නොවේ. 2021 දී ඇය කොවිඩ්-19 වැළඳී සුව අතට හැරුණු වයස්ගතම පුද්ගලයාබවට ද පත්විය.
ඔන්ඩ්‍රේ කන්‍යා සොයුරිය උපන්නේ ප්‍රොතෙස්තන්ත පවුලකට ය. නමුත් පසුව කතෝලික දහම අදහන්නට ගත් ඇය 26 වැනි වියේ දී බව්තීස්මය ලැබුවා ය.
"තවත් දුරට යෑමේ" ආශාවෙන් පෙළුණු ඇය, කතෝලික පල්ලියට සම්බන්ධවීමට තීරණය කිරීමෙන් 15 වසකට පසු 'ඩෝටර්ස් ඔෆ් චැරිටි' නම් කන්‍යා සොයුරි නිකායකට බැඳුනා ය.
ඇය ප්‍රංශයේ විචීහි රෝහලකට අනියුක්ත කෙරුණු අතර, ඇගේ 'වැඩ කිරීමේ වයසින්' වැඩි කලක් (31 වසරක් පමණ) ගෙවුණේ එහි දී ය.
ඇය සහභාගී වූ අවසන් සම්මුඛ සාකච්ඡාවන්ගෙන් එකක දී ඇය මාධ්‍යවේදීන්ට මෙසේ පැවසුවා ය: "මිනිස්සු එකිනෙකාට වෛර කරගන්නවා වෙනුවට එකිනෙකාට උදව් කරන්න ඕනේ, ආදරේ කරන්න ඕන. අපි ඒ ඔක්කොම බෙදාහදාගත්තොත්, මේ දේවල් මීට වඩා ගොඩක් හොඳ අතට හැරේවි."