ඊලොන් මස්ක්: ලබන සතිය තෙක් වසා දැමු ට්විටර් කාර්යාල

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ට්විටර් ආයතනයේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමනබව සේවකයන්ට දැනුම් දී තිබේ.
BBC දුටු නිවේදනයකට අනුව, එම ආයතනය සේවකයින්ට පවසා ඇත්තේ නොවැම්බර් 21 වන සඳුදා කාර්යාල නැවත විවෘත කරන බව යි.
ඔවුන් මෙම පියවර ගැනීමට හේතුවක් දක්වා නැත.
නව හිමිකරු ඊලොන් මස්ක් විසින් "ඉහළ ඵලදායීතාවයකින් යුත් වැඩි රැකියා පැය ගණනක්" සඳහා සූදානම්වන ලෙස හෝ ඉවත්ව යන ලෙස ඉල්ලා සිටීමෙන් පසු විශාල සේවක පිරිසක් ඉවත්ව යනබවට වන වාර්තා මධ්‍යයේ මෙම නිවේදනය නිකුත්විය.
පණිවිඩයේ මෙසේ ද සඳහන් විය: "සමාජ මාධ්‍යවල, පුවත්පත් සමග හෝ වෙනත් තැන්වල සමාගමේ රහස්‍ය තොරතුරු සාකච්ඡා කිරීමෙන් වළකිමින්, සමාගම් ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරන්න."



BBC, ට්විටර් වෙතින් අදහස් දැක්වීම සඳහා කළ ඉල්ලීමට ඔවුන් වහාම ප්‍රතිචාර දැක්වූයේ නැත.
වාර්තාවලට අනුව, මේ සතියේ ඊලොන් මස්ක් ට්විටර් කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ ඔවුන් දිගු වේලාවක් වැඩ කිරීමට කැපවිය යුතු බවත්, "අතිශයින්ම කාර්යක්ෂම විය යුතු" හෝ සමාගමෙන් ඉවත්ව යා යුතු බවත් ය.
වොෂින්ටන් පෝස්ට් වාර්තා කරන පරිදි, කාර්ය මණ්ඩලයට යැවූ ඊමේල් පණිවුඩයකින් සමාගමේ නව හිමිකරු කියා ඇත්තේ ඔවුන් සමාගම තුළ තවදුරටත් රැඳී සිටීමට අවශ්‍ය නම් එම පොරොන්දුවට එකඟ විය යුතු බව යි.
නොවැම්බර් 17 වන බ්‍රහස්පතින්දා වන විටත් ඊට එකඟවී නොමැති අයට මාස තුනක පාරිතෝෂිකයක් සමග ඉවත්ව යාමට සලසා දෙනබව ඊලොන් මස්ක් පැවසීය.
මෙම මස මුල දී සමාගම පැවසුවේ තම ශ්‍රම බලකායෙන් 50%ක් පමණ ඉවත්කරමින් සිටින බව යි.
ට්විටරය සිය කාර්යාල තාවකාලිකව වසා දැමූ බව අද නිවේදනය කළේ, ඊලොන් මස්ක්ගේ නව කොන්දේසි පිළිනොගත් විශාල සේවක පිරිසක් ද දැන් ඉල්ලා අස්වී යන බවට ලකුණු පහළ වී ඇති අතරවාරයේ ය.
සේවකයින් තමන් ආයතනය හැර යන බව පෙන්වීමට #LoveWhereYouWorked හැෂ්ටැග් එක සහ ආචාර කිරීමේ ඉමොජිය භාවිතා කරමින් ට්වීට් කර ඇත.
එක් හිටපු නිර්නාමික ට්විටර් සේවකයෙක් BBCයට මෙසේ පැවසීය: "මම හිතන්නේ අද දවස අවසන් වෙද්දි 2000කටත් වඩා අඩු පිරිසක් තමයි ඉතිරි වෙන්නේ."
තම කණ්ඩායමේ සියලුදෙනා සේවයෙන් පහකර ඇතිබව එම හිටපු සේවකයා වැඩිදුරටත් පැවසීය.
"ඒ ටීම් එකේ මැනේජර්ගේ, (ඉහළ) මැනේජර්ව අයින් කළා. ඊට පස්සේ ඒ මැනේජර්ගේ මැනේජර්ව අයින් කළා. ඊට උඩින් ඉන්න කෙනා තමයි පළවෙනි දවසෙම අයින් කරපු විධායක නිලධාරියා. ඉතින් ඔය අණදීමේ දාමයේ කවුරුත් ඉතුරු වෙලා නෑ."
ඊලොන් මස්ක් ට්විටරය අතට ගැනීමට පෙර සමාගමේ කාර්ය මණ්ඩලය 7500ක් පමණ සිටියේ ය. සමාගම විසින් කොන්ත්‍රාත් සේවකයින් දහස් ගණනක් සේවයේ යොදවා ඇති බව ද වාර්තා වූ අතර, ඔවුන්ගෙන් බහුතරයක් ද දැන් සේවයෙන් පහකර ඇත.
තවත් අයෙක් පැවසුවේ දිගු වේලාවක් වැඩ කිරීමට සූදානම්ව සිටිය ද තමා ඉල්ලා අස්වූ බව යි.
"මම දැනටමත් සතියකට පැය 60-70ක් වැඩ කරද්දි 'විශේෂ පිරිසක් මෙතන වැඩ කරන්න ඕන' කියලා අපිට තර්ජනය කරලා කීප සැරයක් ඊමේල් එවන කෙනෙක් යටතේ මට වැඩ කරන්න ඕන නැහැ," එම පුද්ගලයා පැවසීය.
ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර්හි ප්‍රධාන විධායකයා බවට පත්වූයේ පසුගිය මාසයේ දී ඩොලර් බිලියන 44ක ගනුදෙනුවකින් සමාගම මිල දී ගැනීමෙන් පසුව ය.
ට්විටර් කාර්යාල වසා දැමීම පිළිබඳ නිවේදනයෙන් පසු, ට්විටරය වසා දැමීමට ආසන්නබවට මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඊලොන් මෙසේ ට්වීට් කළේ ය.
"හොඳම අය ඉඳීවි. මට නම් ගැටළුවක් නැහැ".
තවත් ට්වීට් එකක ඔහු හිස් කබල සහ අස්ථි සහිත මරණීය ඉමොජියක්, සහ ට්විටර් ලාංඡනය සහිත සොහොන් කොතක් සහිත මීම් එකක් පළකර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post









