පරිශීලක දත්ත විකිණූ ට්විටරයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 150ක දඩයක්

Twitter logo on a mobile phone

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉලක්කගත දැන්වීම් විකිණීමට සඳහා පරිශීලක දත්ත නීතිවිරෝධී ලෙස භාවිතා කළැ යි චෝදනා ලද ට්විටරයට, ඇමරිකානු ඩොලර් මිලියන 150ක දඩයක් පනවා ඇත.

ෆෙඩරල් වෙළඳ කොමිසම (FTC) සහ අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ ට්විටර් සමාගම නියාමකයින් සමග ඇතිකර ගත් ගිවිසුමක් උල්ලංඝනය කර ඇති බව යි.

දුරකථන අංක සහ ඊමේල් ලිපින වැනි පුද්ගලික තොරතුරු දැන්වීම්කරුවන්ට ලබා නොදෙන බවට Twitter ප්‍රතිඥා දී තිබුණි.

ෆෙඩරල් විමර්ශකයින් පවසන්නේ සමාගම එම නීති කඩකළ බව යි.

යුරෝපයේ GDPR දත්ත රහස්‍යතා නීති කඩකිරීම නිසා 2020 දෙසැම්බර් මාසයේ දී පවුම් 400,000 දඩයක් Twitter වෙත නියම විය.

FTC යනු, විශ්වාසය කඩකිරීම් පිළිබඳ නීතිය බලාත්මක කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සිය මෙහෙවර කරගත් එක්සත් ජනපද රජයේ ස්වාධීන ආයතනයකි.

FTC විසින් 2011 දී, පෞද්ගලිකත්වය සහ ආරක්ෂක භාවිතයන් වැරදි ලෙස නිරූපණය කිරීම තහනම් කරමින් පනවනු ලැබූ නියෝගයක් ට්විටර් සමාගම කඩකර ඇති බවට එය චෝදනා කරයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"පැමිණිල්ලේ සටහන් වන පරිදි, ට්විටර් සිය පරිශීලකයින්ගෙන් දත්ත ලබාගෙන ඇත්තේ ආරක්ෂක අරමුණු සඳහා භාවිතා කරන මුවාවෙන් නමුත්, පසුව පරිශීලකයින් ඉලක්ක කර දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහාත් එම දත්ත භාවිතාකර තිබෙනවා," FTCහි සභාපති ලීනා ඛාන් පැවසුවා ය.

"මෙම ක්‍රියාව ට්විටර්හි මූලික ආදායම් ප්‍රභවය ඉහළ නංවන නමුත්, මිලියන 140කට අධික ට්විටර් පරිශීලක සංඛ්‍යාවකට බලපෑම් සිදුකරනවා."

Twitter icon

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තහවුරු කිරීමේ උපක්‍රම අවභාවිතාව

පරිගණක ආරක්ෂණ සමාගමක් වන Secure Teamහි කළමනාකාර අධ්‍යක්ෂ ඉයන් රෙනෝල්ඩ්ස් BBC වෙත මෙසේ පැවසුවේ ය: "නැවත වරක් ට්විටරය පරිශීලකයන් තබා ඇති විශ්වාසය කඩ කරමින්, ඔවුන්ගේ පුද්ගලික තොරතුරු තමන්ගේ වාසියට යොදාගනිමින්, ආදායම වැඩිකර ගනිමින් සිටිනවා."

"ට්විටරය ගිණුමේ ආරක්‍ෂාවට කියලා පරිශීලකයන්ගේ දත්ත ලබාගෙන, ඔවුන්ට ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාජ හැඟීමක් ඇතිකළා. ඒත් අන්තිමේ ට්විටර් කරලා තියෙන්නේ පරිශීලකයින් ඉලක්ක කරලා දැන්වීම් පෙන්වන්න ඔවුන්ගේ ඒ දත්ත භාවිතා කරපු එකයි," ඔහු වැඩිදුරටත් පැවසීය.

"මේකෙන් පෙන්නුම් කරන්නේ සමාගම්වලට තවමත් ඔබේ දත්ත මත ඇති බලය සහ පූර්ණ පාලනය යි. තමන්ගේ දත්ත ගැන විශ්වාසයක් ඇති වෙන්න නම් තව පියවර රැසක් ගන්න වෙනවා."

ගිණුමක් තහවුරු කිරීම සඳහා, ට්විටර් වෙත දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීම අවශ්‍ය ය.

පරිශීලකයන්ට ඔවුන්ගේ මුරපද අමතක වූ විට වෙනස් කරගැනීමට සහ අවහිර වූ ගිණුම් මුදා ගැනීමට ද එම තොරතුරු උපකාර කරයි.

එහෙත්, FTC පවසන ආකාරයට අවම වශයෙන් 2019 සැප්තැම්බර් වන තෙක්, ට්විටර් සමාගම තම වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා එම තොරතුරු භාවිතා කර ඇත.

පරිශීලක ආරක්ෂණ තොරතුරු වෙත දැන්වීම් ප්‍රචාරකයන්ට ප්‍රවේශවීමට ඉඩදීම සම්බන්ධයෙන් ටිවිටරයට චෝදනා එල්ලවී තිබේ.

දඩයට අමතරව ට්විටරය මෙසේ ද සිදුකළ යුතු ය:

  • නීති විරෝධී ලෙස එකතු කරන ලද දුරකථන අංක සහ ඊමේල් ලිපින භාවිතා කිරීම නැවැත්වීම
  • ආරක්ෂක තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව පරිශීලකයින්ට දැනුම් දීම
  • FTC නීතිය බලාත්මක කිරීම පිළිබඳව පරිශීලකයින් දැනුම්වත් කිරීම
  • පෞද්ගලීකරණය කළ වෙළඳ දැන්වීම් අක්‍රිය කරන ආකාරය සහ ගිණුම් තහවුරු කිරීමේ සැකසුම් යළි පරීක්ෂා කරන ආකාරය පරිශීලකයන්ට පෙන්වා දීම
  • දුරකථන අංකයක් අවශ්‍ය නොවන ආකාරයේ ගිණුම් තහවුරු කිරීමේ විකල්ප ලබා දීම
  • දින 30ක් ඇතුළත FTC වෙත සිදුවීම් වාර්තා කිරීම හා වැඩි දියුණු කළ පෞද්ගලිකත්ව සහ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

"පාරිභෝගිකයින්ගේ සංවේදී දත්තවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට අධිකරණ දෙපාර්තමේන්තුව කැපවී සිටියි," එක්සත් ජනපද සහකාර නීතිපති වනිතා ගුප්තා පැවසීය.

"ඩොලර් මිලියන 150ක දඩයෙන් ට්විටරයට එරෙහි චෝදනාවල බරපතලකම පේනවා. යෝජිත අනුකූලතා පියවරවල ප්‍රතිඵලයක් විදියට ඉදිරියේ දී පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් වනු ඇති උපක්‍රම නවත්වන්න පුළුවන් වේවි."