එක්සත් ජනපදය සිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස 'අහුරන'බව ඊලොන් මස්ක් කියයි

Elon Musk

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊලොන් මස්ක්ගේ ට්විටර් සටහන්, ඔහු මූල්‍ය නියාමකයින්ගේ අවධානයට ලක්කර ඇත

තමා එක්සත් ජනපද රජය විවේචනය කිරීම නිසා එරට බලධාරීන් තමන්ව "නොනවතින විමර්ශනයක්" සඳහා ඉලක්ක කරමින් සිටින බවට ටෙස්ලා හිමිකරු ඊලොන් මස්ක් චෝදනා කරයි.

උසාවිය හමුවේ කරුණු ගොනු කරමින් ප්‍රකෝටිපතියා පවසා සිටියේ, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් සිය සමාගම නිරීක්ෂණය කිරීම සඳහා අනවශ්‍ය අන්දමේ ප්‍රයත්න දරමින්, එමඟින් නිදහස් භාෂණය සඳහා ඔහුට ඇති අයිතිය සීමා කිරීමට වෑයම් කරන බව යි.

මෙම ලිපිය මඟින්, මස්ක්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔහු සහ මූල්‍ය නියාමකයින් අතර වන ගැටුම තීව්ර කර තිබේ.

ඔහුගේ ට්විටර් ගිණුමේ පළකිරීම් බොහෝවිට වෙළඳපොළ කොටස්හි වටිනාකමේ වෙනස්කම් ඇතිකිරීමට තරම් බලවත් ය.

2018 දී SECය මස්ක්ට නියෝග කළේ, මස්ක් ටෙස්ලා සමාගමේ කොටස් වෙළඳපොළෙන් ඉවත්කර ගැනීම පිළිබඳව 2018 දී පළකළ පෝස්ටුව හරහා ආයෝජකයින් නොමඟ යැවූ බවට ඉදිරිපත් වූ චෝදනාවන් පිළිබඳව සොයාබැලීම සඳහා, ඔහුගේ ට්විටර් පෝස්ටු වැඩි අධීක්‍ෂණයකට ලක්කිරීමට ඉඩ ලබාදෙන ලෙස යි.

ටෙස්ලා සමාගම පිළිබඳ පෝස්ටු පළ කිරීම සඳහා ටෙස්ලා නිලධාරීන්ට පූර්ව අනුමැතිය ලබාදීමට මීට පෙර එකඟ වී සිටි මස්ක්, ගිවිසුමට පටහැනිව කටයුතු කිරීම ගැන SECය නැවත නැවතත් ප්‍රශ්න කරමින් සිටියි.

නොවැම්බරයේ දී සමාගමට සිතාසි එවූ නියාමකයින්, පෙර කී නියෝගය හා සම්බන්ධ පාලන ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියහ.

එම මාසයේ දීම මස්ක් ඔහුගේ ටෙස්ලා කොටස්වලින් 10%ක් විකුණා දැමිය යුතු ද යන්න ඔහුගේ මිලියන 70කට අධික ට්විටර් අනුගාමිකයන්ගෙන් විමසා සිටියේ ය. එය එම සමාගමේ කොටස්වල මිල පහත යාමට හේතුවිය.

2018 සිද්ධියේ සමථය අධීක්‍ෂණය කරන විනිසුරු ඇලිසන් නේතන් වෙත යැවූ ලිපියක් මඟින් ප්‍රකෝටිපතියාගේ නීතීඥ ඇලෙක්ස් ස්පිරෝ චෝදනාකර ඇත්තේ, "මස්ක් මහතා සහ ටෙස්ලා සමාගමට හිරිහැර කිරීමට උත්සාහ කිරීම සඳහා මෙම නියෝගය භාවිතා කරන බවට" යි.

"SEC විසින් මස්ක් සහ ටෙස්ලා නොනවතින විමර්ශනයක් සඳහා ඉලක්කකර ඇති බව හැඟී යයි. මස්ක්, ආණ්ඩුවේ ප්‍රකාශ විවේචකයෙකුවීම මෙයට ප්‍රධාන හේතුවකි," ඔහු මස්ක් සහ ටෙස්ලා සමාගම වෙනුවෙන් ප්‍රකාශකර තිබේ.

"SEC මෙලෙස නොගැලපෙන තරමේ විශාල උත්සාහයන් ගන්නේ සැමට සමානව නීති ක්‍රියාත්මක කිරීමට වඩා, [ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ] පළමු සංශෝධනය මඟින් ඔහුට ලැබී ඇති අයිතිවාසිකම් අවහිර කිරීමට ය."

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව උසාවියෙන් මඟපෙන්වීමක් ලබාගැනීමෙන් තොරවම මෙම විමර්ශන ආරම්භකර ඇති බවත්, 2018 සමථයේ කොටසක් ලෙස ලබාගන්නා ලද ඩොලර් මිලියන 40ක දඩ මුදල් ආයෝජකයින්ට බෙදා හැරීමට ඒජන්සිය ප්‍රමාද වී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

'නීතියට පිටින් යෑම'

විනිමය කොමිසම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ ය.

ටෙස්ලා සිට ක්‍රිප්ටෝකරන්සි දක්වා මාතෘකා පිළිබඳ මස්ගේ ට්විටර් ප්‍රකාශයන්, වෙළඳපල මිල ගණන් විචල්‍ය කිරීමට දායක වන ආකාරය නිතර දක්නට ලැබේ.

SECය 'බිඳුණු' ඒජන්සියක් බව පවසමින් එම සභාව විවේචනය කරන්නට මස්ක් සිය ට්විටර් ගිණුම භාවිතා කළේ ය.

මස්ක් මෑතක දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විවේචනය කළේ SpaceX හෝ ටෙස්ලාහි දායකත්වයට කෘතඥතාව පළ නොකිරීම හේතුවෙනි. ඉතා මෑතක දී ඔහු, ජනාධිපතිවරයා "තෙත [මේස් ඉමොජිය] රූකඩයක්" ලෙස හඳුන්වා තිබුණි.

නමුත් ඩියුක් විශ්වවිද්‍යාලයයේ ආයතනික සහ සුරැකුම්පත් නීතිය උගන්වන මහාචාර්ය ජේම්ස් ඩී. කොක්ස් පවසන්නේ, SEC ය ප්‍රතිචාර දක්වන්නේ මස්ක් නැවත නැවතත් උසාවි නියෝගයක් කඩ කිරීම පිළිබඳව මිස ඔහුගේ අනෙකුත් විසිළු ප්‍රකාශ ගැන නොවන බව යි.

ප්‍රසිද්ධ කර ඇති සමාගම්වල විධායකයින්, තොරතුරු හෙළිදරව්ව පාලනය කිරීමේ ගිවිසුම්වලට බැඳී සිටින බව ද ඔහු පැවසීය.

"මෙය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඔහුව ඉලක්ක කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි," ඔහු පැවසුවේ ය. "ඔවුන් එසේ කරන්නේ, ඔහු ෆෙඩරල් උසාවියෙන් අවසරලත් සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නියෝගය නිර්ලජ්ජිත ලෙස නොසලකා හරිමින් සිටින නිසා යි."

මූල්‍ය නියාමකයාගේ සිතාසියට අමතරව, කැලිෆෝනියාවේ සාධාරණ රැකියා සහ නිවාස දෙපාර්තමේන්තුවෙන් පැවරූ වාර්ගික වෙනස්කම් කිරීමට එරෙහි නඩුවකට මෙන්ම, ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනයෙන් පැවරූ ආරක්ෂණ පරීක්ෂණයකට ද ටෙස්ලා සමාගම මුහුණ දෙමින් සිටියි.