ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රැජිනගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීම: අවමංගල්‍යය උත්සවය සහ සංකේතාර්ථ පිළිබඳ විමසුමක්
දෙවන එළිසබෙත් රැජිනගේ දේහය ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති අතර මහජනයා ඇයට අවසන් බුහුමන් දැක්වීම සඳහා පැමිණෙමින් සිටිති.
සැප්තැම්බර් 14 වැනි බදාදා උදෑසන සිට පෝලිම් දිගු වෙමින් පවතින අතර, සඳුදා අවමංගල්‍ය කටයුතු පැවැත්වීමට නියමිතයි. ඉදිරි දින කිහිපය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැජිනට ගෞරව දැක්වීමට අපේක්ෂා කරති.
මහජන ගෞරවය ආරම්භ වේ
දේහය නැරඹීමට බලාපොරොත්තු වන ශෝකී ජනතාව වෙස්ට්මිනිස්ටර් සිට ලැම්බත් පාලම හරහා සහ තේම්ස් ගං ඉවුර දිගේ සැතපුම් දෙකකට වැඩි දුරක් පෙළ ගැසී සිටිති. ඇතැමෙක් පැය ගණන් පෝලිමේ සිට ගෞරව දැක්වීමට අවස්ථාවක් ලබා ගත්හ.
බදාදා දහවල් සිට මහජනතාව වෙස්ට්මිනිස්ටර් ශාලාවට රැස්වෙමින් ඇති අතර රාජ්‍ය අවමංගල්‍ය පැවැත්වෙන සැප්තැම්බර් 19 වැනි සඳුදා එරට වේලාවෙන් 06:30 දක්වා දවසේ පැය 24 පුරාම දේහය මහජන ගෞරවය සඳහා විවෘතව තැබෙනු ඇත. රජය අනතුරු අඟවා ඇත්තේ ජනතාවට වෙස්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට පැය 30 ක පමණ කාලයක් පොලීමේ සිටීමට සිදුවනු ඇති බවටයි.
11 වන සියවසේ ඉදිකරන ලද ශාලාවේ මධ්‍යකාලීන දැව වහලයට යටින් කැටෆල්ක් ලෙස හැඳින්වෙන උස් වේදිකාවක් මත රැජිනගේ දේහය සහිත වසන ලද දේහය තැන්පත් කර ඇති අතර ඊට සමීපයෙන් ගමන් ගන්නා අතරවාරයේ ඇයට අවසන් බුහුමන් දැක්වීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබේ.
දේහය සහිත වේදිකාවේ සෑම කොනක්ම රාජකීය ගෘහයට සේවය කරන ඒකකවල සොල්දාදුවන් විසින් අඛණ්ඩව රැකවල් ලා තිබේ.
දේහය සහිත මිනි පෙට්ටිය රාජකීය ධජයෙන් ඔතා ඇති අතර එය උඩින් අධිරාජ්‍ය ඔටුන්න, සුදු රෝස මල් සහ ඩැලියස් මල් කලබක් සමඟින් රැජිනගේ ස්වෛරී ගෝලය සහ යෂ්ටිය තබා ඇත.
මහා ශාලාව යනු බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් මාලිගයේ පැරණිතම කොටසයි.
ශාලාවේ තැම්පත් කර තිබු රාජකීය පවුලේ අවසන් සාමාජිකයා වුයේ රැජිනගේ මව වන අතර, 2002 වසරේ දී 200,000 කට වැඩි පිරිසක් ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙළ ගැසී සිටියහ.
ලන්ඩනයට යාමට නොහැකි අය සඳහා BBC වෙනම සජීව විකාශයක් පවත්වයි. මෙම සේවාව එක්සත් රාජධානියේ BBC මුල් පිටුවෙන්, BBC News වෙබ් අඩවියෙන් සහ ඇප් මගින්, iPlayer, BBC පාර්ලිමේන්තුව ඔස්සේ බදාදා එරට වේලාවෙන් 17:00 සිට නැරඹිය හැක. එය bbc.com/news හරහා ජාත්‍යන්තරව ද ලබා ගත හැකිය.
රැජිනගේ දේහය රැගත් පෙරහැර වෙස්ට්මිනිස්ටර් ශාලාවට
බකිංහැම් මාලිගය සහ වෙස්ට්මිනිස්ටර් අතර වීදිවල ශෝකාකූල ජනතාව පිරී සිටියහ - ඉදිරි දින කිහිපයේ ජනතාවට රැජිනට අවසන් ගෞරවය දැක්වීම සඳහා රැජිනගේ දේහය වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කිරීම සඳහා චාරිත්‍රානුකූල පෙරහැරකින් මන්දගාමීව ගමන් කළේය.
වර්ෂාවෙන් පසු දීප්තිමත් හිරු රශ්මිය පතිත වෙමින් තිබියදී, කළු අශ්වයන් හත් දෙනෙකු විසින් ඇදගෙන යන ලද රාජකීය අශ්වාරෝහක කාලතුවක්කු හමුදාවේ විවෘත තුවක්කු කරත්තයක් මත තැන්පත් කර රැජිනගේ දේහය අගනුවර හරහා රැගෙන එනු ලැබීය.
කපිතාන් ඇමී කූපර් විසින් ලෝඩ් ෆයර්බ්‍රෑන්ඩ් නම් සෙන්ටිමීටර් 183 උස පළපුරුදු අශ්වයෙක් පදවමින් පෙරහැර ගමන් මඟ සකස් කළේය.
ජෝර්ජ් තුවක්කු කරත්තය ලෙස හැඳින්වෙන තුවක්කු කරත්තය, 1952 දී හයවන ජෝර්ජ් රජුගේ දේහය රැගෙන ගිය අතර 2002 දී එය මව් රැජිනගේ අවමංගල්‍ය උත්සවයේදී භාවිතා කරන ලදී. දේහය සහිත මිනි පෙට්ටිය රාජකීය ධජයෙන් ඔතා ඇති අතර ඊට ඉහළින් අධිරාජ්‍ය ඔටුන්න, සුදු රෝස මල් සහ ඩැලියස් මල් හා රැජිනට අයත් බැල්මොරල් සහ වින්සර් උද්‍යානවල ශාක පත්‍ර වලින් තැනූ මල්වඩමක් තබා තිබේ.
ස්කොට්ස් ආරක්ෂකයින් සහ ග්‍රෙනේඩියර් ආරක්ෂකයින් විසින් වාදනය කරන ලද අවමංගල්‍ය තූර්යවාදන නාදයට, පෙරහැර විනාඩියකට පියවර 75 ක මන්දගාමී වේගයකින් පිටත් විය - සාමාන්‍යයෙන් එවැනි නාද ශෝකාකූල අවස්ථාවන්වලදී වාදනය කෙරේ.
III වන චාල්ස් රජු, සම්පූර්ණ චාරිත්‍රානුකූල නිල ඇඳුමෙන් සැරසී, ඔහුගේ ෆීල්ඩ් මාර්ෂල් යෂ්ටිය රැගෙන, දේහය රැගත් කරත්තය පිටුපසින් පයින් ගමන් කළේය. ඔහුගේ සහෝදර සහෝදරියන් මෙන්ම ඔහුගේ පුතුන් වන, විලියම් කුමරු, රාජකීය ගුවන් හමුදා නිල ඇඳුමෙන් සහ හැරී කුමරු ශෝ ශෝකානුකූල ඇඳුමෙන් සැරසී සිටියහ.
සොහොයුරන් එකට දේහය පිටුපසින් ගමන් කරන අයුරු දැකීමෙන් වසර 25 කට පෙර ඔවුන්ගේ මව වන ඩයනාගේ අවමංගල්‍ය උත්සවය පිළිබඳ සංවේදී මතකයන් අවදි කළ බව රාජකීය වාර්තාකරු ෂෝන් කෝලන් පවසයි.
ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 1,000 ක් උත්සව ඇඳුමින් සැරසී පෙළපාලිය අවට කටයුතු සඳහා සහභාගී වූහ.
මෙට්‍රොපොලිටන් පොලිසියට පිටුපසින්, පෙරහැර මෙහෙයවනු ලැබුවේ ගෘහස්ථ අශ්වාරෝහක හමුදාව සහ ග්‍රෙනේඩියර් සහ ස්කොට්ලන්ත ආරක්ෂකයින් විසිනි. රැජිනගේ දේහය රැගත් කරත්තයට මදක් ඉදිරියෙන් ඔවුන් පසුපස ගියේ, රැජින සමඟ සමීපව කටයුතු කරන රාජකීය නිවසේ සේවය කරන සාමාජිකයින්ය.
රජු සහ අනෙකුත් රාජකීයයන්ට පසු පෙරහැරේ පිටුපසට ඒමේදී රජු වේල්ස් හී කුමරු ලෙස හැඳින්වූ සමයේ ඔහුගේ නිවසේ රාජකාරිවල නියැලි සේවකයින්ගෙන් සමන්විත විය.
කැමිලා රාජ මෙහෙසිය , වේල්ස් කුමරිය, වෙසෙක්ස්හි මෙහෙසිය සහ සසෙක්ස් ආදිපාදවරිය මෝටර් රථයෙන් ශාලාවට ගියහ.
පෙරහැර පුරාවට හයිඩ් පිටියේ සිට විනාඩියක කාල පරතරයකින් ආචාර වෙඩිමුර පත්තු වෙමින් තිබිණි. බිග් බෙන් ඔරලෝසුවද නාද විය.
රැජිනගේ දේහය ජනසමූහයා අසලින් ගමන් ගන්නා විට ඔවුන් කඳුළු සලමින් සිටි බව බීබීසී වාර්තාකරු නික් බීක් පැවසීය.
තවත් අය කුරුසියේ සලකුණ තැබූ අතර, හමුදා විරුවන් ඔවුන්ගේ හිටපු සේනාධිනායිකාවට ආචාර කළහ - පවුල්වල සාමජිකයින් ශෝකාකූලව වැළඳගත් බවද ඔහු තවදුරටත් පැවසීය.