ආචාර වෙඩිමුර 21ක් සහ අඩකුඹු කළ ධජ: බ්‍රිතාන්‍යය සිය රාජකීයයන් වෙනුවෙන් ශෝකවන්නේ කෙසේ ද?

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල හා සබැඳි බොහෝ දෑ මෙන්ම, ඔවුන්ගේ රජෙකුගේ අභාවය යන ශෝකජනක අවස්ථාව ද සම්ප්‍රදායන් සහ සම්මුතීන් මඟින් පාලනය වේ.

සැප්තැම්බර් 8 වන දින දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්තවීමෙන් පසුව රාජකීය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කෙරුණු අතර, එය ඇගේ අවමංගල්‍යයෙන් පසු සත්දිනක් දක්වා බලපැවැත්වේ.

බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කලක් රජකම් කළ රාජිණියගේ අභාවය සනිටුහන් කිරීමේ දී භාවිතා කරනා සම්ප්‍රදායන් කිහිපයක් (ඉන් බොහොමයක් දැන් ලොවපුරා ප්‍රසිද්ධ ය) පිටුපස ඇති ඉතිහාසය මෙම ලිපියෙන් සලකා බැලේ.

ලෙළෙන ධජයන් අඩකුඹු කෙරෙයි

ශෝක කාලය සනිටුහන් කිරීමේ නිල ක්‍රමයන්ගෙන් පළමුවැන්නක් නම් රජයේ සහ රාජකීය පවුලට සම්බන්ධ ගොඩනැගිලිවල ධජයන් අඩකුඹුකර තැබීම යි.

මෙහිදී "අඩකුඹු කිරීම" යන යෙදුම භාවිතාවුව ද, ධජය කොඩිගසෙහි මුළු උසින් 2/3ක් උසට ඔසවනු ලැබේ.

මෙය 17 වන සියවසේ සිට පැවතෙතැ යි විශ්වාස කෙරෙන සම්ප්‍රදායකි - ධජය පහත හෙළීම මඟින්, සාමාන්‍ය ධජයට ඉහළින් සංකේතාත්මක "මරණයේ අදෘශ්‍යමාන ධජය" සඳහා ඉඩකඩ විවෘත වේ.

මෙම සිරිත ආරම්භවූයේ නෞකාවක කපිතාන් හෝ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකුගේ විපතේ දී ඔහුට දැක්වූ උපහාරයක් වශයෙනි. නැවේ අනෙකුත් කාර්යයමණ්ඩලය ධජය අඩකුඹුකර සිදුවූ විපත සිහිපත් කරයි.

නමුත් කුතුහලය දනවන කරුණවන්නේ, රජතුමා හෝ රැජිණගේ පැමිණීම සංකේතවත් කිරීම සඳහා ඔසවන 'රෝයල් ස්ටැන්ඩර්ඩ්' ධජයට මෙම නීතිය අදාළ නොවීම යි. එය කිසිදා අඩකුඹු නොකෙරෙන්නේ රාජාණ්ඩුව අඛණ්ඩව පැවැතීම නිසා ය - රැජිණගේ අභාවය සිදුවූ මොහොතේ දීම, ඇගේ වැඩිමහලු දරුවාවූ චාල්ස් කුමරු ස්වයංක්‍රියව තෙවැනි චාල්ස් රජුබවට පත්විය.

රැජිණගේ රාජ්‍ය අවමංගල උත්සවය පවත්වන දිනට පසුදා පෙරවරු 08:00 වන තෙක් එක්සත් රාජධානිය තුළ අනෙකුත් ධජයන් අඩකුඹුකර තැබෙනු ඇත. මෙහි එකම ව්‍යාතිරේකය වූයේ සැප්තැම්බර් 10 දා පැවැත්වුණු ප්‍රාප්ති කවුන්සිල දිනය යි. මෙදින මහරජු සිහසුනට පත්වීම නිල වශයෙන් නිවේදනය කරනු ලැබුණි.

එදා, එම අවස්ථාව සලකුණු කිරීම සඳහා පැය කිහිපයක් මුළුල්ලේ ධජයන් ඔසවා තබා, පසුව අඩකුඹු කරනු ලැබීය.

ආචාර වෙඩිමුර

රාජකීය ශෝක කාලයට සම්බන්ධ තවත් සම්ප්‍රදායක් වන්නේ ආචාර වෙඩිමුර පැවැත්වීම යි.

බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසඥයින්ට අනුව 15 වැනි සියවසේ දී මෙම සිරිත ආරම්භ වී ඇත්තේ, විදේශීය වරායන් වෙත පැමිණෙන යුදනැව් සිය ගිනිඅවි මුහුදට එල්ලකොට වෙඩි තැබීම මඟිනි. එයින් අවිආයුධවල උණ්ඩ අවසන්වන බැවින්, තමා වරාය වෙත පැමිණෙන්නේ සාමකාමී චේතනාවෙන්බව හැඟවෙයි.

1730 වන විට, ඇතැම් අවස්ථාවන් සනිටුහන් කිරීම සඳහා රාජකීය නාවික හමුදාව ආචාර වෙඩිමුර භාවිතා කර ඇතත්, 1808 වන තෙක් රාජකීය පවුල සහ අනෙකුත් රාජ්‍ය නායකයින් වෙනුවෙන් වෙඩිමුර පැවැත්වීම අනිවාර්ය නොවීය.

පවත්වන වෙඩිමුර සංඛ්‍යාව තීරණය කිරීමට ද සංකීර්ණ නීතිරීති තිබේ. වෙඩි තබන්නේ කුමන ස්ථානයේ සිට ද, කුමන අවස්ථාව වෙනුවෙන් ද යන්න මත එය රඳා පවතියි.

ලන්ඩනයේ රාජකීය උද්‍යානවලින් එකක සිට හෝ ලන්ඩන් කුලුනෙහි සිට තැබිය යුතු නිවැරදි රාජකීය ආචාර වෙඩිමුර ගණන 41කැයි 1827 දී යුධෝපකරණ මණ්ඩලය නියෝග කළේ ය.

නමුත් ඇතැම් අවස්ථාවන්හි දී සහ ඇතැම් ස්ථානවල දී මෙය වෙඩිමුර 62 දක්වා ඉහළ දැමෙයි.

දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය සඳහා ශෝකවීමට ද, තෙවැනි චාල්ස් රජතුමාගේ ප්‍රාප්තිය සනිටුහන් කිරීමට ද ආචාර වෙඩිමුර පවත්වනු ලැබුණි.

සැප්තැම්බර් නවවැනි දා, රැජිණගේ අභාවයෙන් දිනකට පසු, ලන්ඩනයේ හයිඩ් පාක්හි දී රාජකීය ආචාර වෙඩිමුර පවත්වනු ලැබීය. එහිදී, 96-වසක් විසූ රැජිණගේ දිවියේ සෑම වසරකටම එක් උණ්ඩය බැගින් වෙඩිතබනු ලැබුණි.

ඝණ්ඨා නාදකිරීම

දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුදා එංගලන්ත සභාවේ දේවස්ථාන, කුඩා පල්ලි, සහ ආසන දෙව් මැඳුරු සිය ඝණ්ඨා හැඬවීය.

රජතුමාගේ හෝ රැජිණගේ මරණය යනු සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කරන ලද ඝණ්ඨා නාදකරනා දුර්ලභ අවස්ථාවන්ගෙන් එකකි - දෝංකාරයක් නිර්මාණය කිරීමේ ක්‍රමයක් වන මේ සඳහා ඝණ්ඨාවේ ගෙඩියේ දෙපසින්ම තුනී පෑඩයන් සවිකිරීම සිදුකෙරේ.

නමුත් නව රජතුමා සැමරීම සඳහා, නිශ්ශබ්ද නොකරන ලද ඝණ්ඨාවන් පසුව නාදකරනු ලැබිණි.

එංගලන්තය තුළ මෙම සිරිත අවම වශයෙන් 7වැනි සියවස දක්වා දිවෙතැ යි විශ්වාස කෙරෙන්නකි. එම යුගයේ විසූ විට්බිහි හිල්ඩාගේ මරණය සම්බන්ධයෙන් ශාන්ත බීඩ් නම් පූජකවරයා සිය ලේඛනවල සඳහන්කර ඇති කරුණුවල මේ පිළිබඳව සඳහන් ය.

රාජකීය පවුලට අනන්‍යවූ එක් සම්ප්‍රදායක්වන්නේ වින්ඩ්සර් මාළිගාවේ සෙබැස්ටොපොල් ඝණ්ඨාව නාද කිරීම යි.

1856 ක්‍රිමියානු යුද්ධය අතරතුරේ දී රුසියානුවන්ගෙන් අත්පත්කර ගත් මෙම ඝණ්ඨාව සෙබැස්ටොපොල්හි අපෝස්තුළුවරුන් දොළොස්දෙනාගේ දේවස්ථානයෙන් රාජකීය මාළිගාවට ගෙනයන ලදී.

එය රැජිණගේ අභාවයෙන් පසුදා, ඇගේ දිවියේ සෑම වසරක් සඳහාම එක්වරක් බැගින් නාදවූ අතර, එය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ට පමණක් වෙන්වූ සම්ප්‍රදායක් වෙයි.

එය අවසන්වරට නාදවූයේ 2002 දී, රැජිණගේ මවගේ අභාවය සැමරීම සඳහා ය.

බකිංහැම් මාළිගයේ දැන්වීම්

බකිංහැම් මාළිගාවේ සිදුවන උපත් සහ මරණ වැනි ප්‍රධාන රාජකීය සිදුවීම් මහජනයාට දැනුම්දීම සඳහා කුඩා අඳුරුපැහැ ලී රාමුවක අමුණන ලද කඩදාසියක් භාවිතා කෙරෙයි.

උපතක් දැනුම්දීමේ දී මෙම දැවමය රාමුව විසිතුරු රන් වත්‍රාධාරයක තබා, මාළිගාවේ ඉදිරිපස අංගනයේ වැටවල්වලට ඇතුළතින් ප්‍රදර්ශනයට තබනු ලැබේ. නමුත් විපතක් දැනුම්දීමේ දී සාමාන්‍යයෙන් එය සවිකරන්නේ මාළිගාවේ යකඩ වැටට පිටතිනි.

1952 දී සයවන ජෝර්ජ්ගේ සහ 1936 දී පස්වන ජෝර්ජ්ගේ විපත් ද මේ ආකාරයෙන් නිවේදනය කරනු ලැබුණි.