LGBTQ+ ප්‍රජාව භාවිතා කරන වර්ණවත් ප්‍රයිඩ් ධජයයන් ගැන ඔබ දන්නවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජුනි මාසය සමරිසි සහ සංක්‍රාන්තිලිංගික පුද්ගලයන්ගේ අයිතීන් සැමරීමේ ගෝලීය "ප්‍රයිඩ්" (අභිමානය) මාසය යි. LGBTQ+ ප්‍රජාවන්හි සහ ඉන් ඔබ්බට ඇති විවිධත්වය ලොව වටා රටවලින් සමරනු ලබන්නේ මෙම මාසයේ දී ය.
(LGBTQ+ යනු; සමලිංගික, ද්වීලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් සහ සාම්ප්‍රදායික සම්මතයන්ට වෙනස් ස්ත්‍රීපුරුෂභාවයන් අනුගමනය කරන පුද්ගලයින් වේ).
ප්‍රයිඩ් මාසයේ ප්‍රසිද්ධ සංකේතය වන්නේ 1970 ගණන්වල අගභාගයේ සිට ජනප්‍රිය භාවිතයේ යොදාගන්නා ඉරි හයේ දේදුනු කොඩිය යි. කෙසේ වෙතත්, එය පසුගිය අර්ධ ශතවර්ෂය තුළ දී විවිධ වෙනස්කම්වලට ලක්වූ අතර, වඩාත් මෑත වසරවල දී, පුද්ගල අනන්‍යතාවන්හි විවිධත්වය නියෝජනය කිරීමට නව කොඩි නිර්මාණය විය.
Reddit සහ Tumblr වැනි වෙබ් අඩවිවල ජනප්‍රියභාවය ඉහළයාමත් සමඟ බොහෝ දෙනෙකුට සිය හඳුන්වාගැනීම සහ අනන්‍යතාව බෙදාගන්නා වෙනත් අය සොයාගැනීමට හැකිව ඇති අතර, මෙම ප්‍රජාවන් හරහා නිර්මාණය වූ නව කොඩි ජනප්‍රිය භාවිතයට පැමිණ තිබේ.
"ස්ත්‍රීපුරුෂභාවය සහ ලිංගිකත්වයේ වර්ණාවලිය ඉතා විශාල හා විවිධාකාර යි. ඉන් අදහස් වන්නේ එතරම් කතාබහට ලක්නොවන කුඩා ප්‍රජාවන් විශාල ප්‍රමාණයක් ද සිටින බව යි. මෙම 'ප්‍රයිඩ්' කොඩි තිබීම වැදගත් වන්නේ, එය එක් එක් ප්‍රජාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම පිළිබඳ හැඟීමක් ලබා දෙන බැවින්. තමන්ගේ අනන්‍යතාව සහ අයිතිවාසිකම්වලට පිළිගැනීමක් බලාපොරොත්තු වීම ලොව සියලුම මිනිසුන්ගේ අපේක්ෂාවක්," විවිධ ප්‍රයිඩ් කොඩිවල වර්ණ යොදාගෙන විශේෂ ඔටුනු සාදන බෲක් හොයිට් පවසයි.
නමුත් ඒවායින් අදහස් වන්නේ කුමක්ද?
ලෝකය LGBTQ+ ප්‍රජාව සමරන ප්‍රයිඩ් මාසයේ දී ඔබ දකින විවිධ කොඩි කිහිපයක එකතුවකි මේ.
ගිල්බට් බේකර් ප්‍රයිඩ් කොඩිය

මේ, සියල්ලේම ආරම්භක කොඩිය යි. සමරිසි අයිතීන් පිළිබඳ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකු සහ ඩ්‍රැග් රැජිනක (කාන්තා ඇඳුමින් විසිතුරු ලෙස සැරසෙන අයෙකු) වන ගිල්බට් බේකර්ට, ඇමරිකාවේ ප්‍රථම විවෘතව සමලිංගික රාජ්‍ය නිලධාරියා වන හාවි මිල්ක් විසින් සමලිංගික ප්‍රජාව සඳහා අභිමානයේ සංකේතයක් ලෙස ධජයක් නිමවන ලෙස අභියෝගයක් ඉදිරිපත් විය. එයට පිළිතුරු ලෙස වර්ණ අටකින් යුත් දේදුනු ධජය නිර්මාණය වූ අතර, එය 1978 ජුනි 25 වන දින ප්‍රථම වරට සැන් ෆ්‍රැන්සිස්කෝහි සමලිංගික නිදහස් දින පෙළපාලියේ දී ප්‍රදර්ශනය කෙරිණි.
කොඩියේ වර්ණ අටෙන්, ප්‍රජාවට අදාළයැ යි බේකර් සිතූ එක් එක් සංකේතාත්මක හැඟීම් සහ වටිනාකම් නිරූපණය කර තිබුණි. එහි උණුසුම් රෝස වර්ණය ලිංගිකත්වය සඳහා ද, රතු ජීවිතය සඳහා ද, සුවවීම සඳහා තැඹිලි ද, හිරු එළිය සඳහා කහ වර්ණය ද, සොබාදහම සඳහා කොළ පැහැය ද, මැජික් සහ කලාව සඳහා මුහුදු නිල ද, සන්සුන්භාවය සඳහා ඉන්ඩිගෝ වර්ණය සහ ජීව ගුණය සඳහා වයලට් දම් පැහැය ද විය.
2003 දී, ඔහු මුල්ම ධජය සෑදීමෙන් වසර 25කට පසු, බේකර්හට එම ධජයේම අනුවාදයක් ලෙස කිලෝමීටර් 2 ක් දිග ධජයක් සෑදීමට ඇරයුම් ලැබිණි. මෙය මෙක්සිකෝ බොක්කෙහි සිට ෆ්ලොරිඩාවේ කී වෙස්ට් ඔස්සේ අත්ලාන්තික් සාගරය දක්වා විහිදුණු ධජයක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සමලිංගික ප්‍රයිඩ් ධජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1978 සමලිංගික නිදහස් දින පෙළපාලියෙන් ද, ඉන් මාස කිහිපයකට පසු හාවි මිල්ක් ඝාතනයෙන් ද පසු කොඩි සඳහා ඉල්ලුම ඉහළ ගිය අතර, බේකර් ඔහුගේ නිර්මාණය වාණිජමය වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ය.
කෙසේ වෙතත්, උණුසුම් රෝස පැහැයේ රෙදි හිඟ වූ බැවින් එය නිර්මාණයෙන් ඉවත් කෙරුණි. ඔහු වර්ණ ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් කිරීම සඳහා මුහුදු නිල සහ ඉන්ඩිගෝ වර්ණය නිල් පැහැයට ඒකාබද්ධ කර, වර්ණ හයක දේදුනු ධජයක් නිර්මාණය කළේ ය.
මෙය දශක ගණනාවක් පුරා සමලිංගික සහ සංක්‍රාන්තිලිංගික ප්‍රජාවන් භාවිතා කළ ප්‍රාථමික ධජය වූ අතර, අදටත් ප්‍රයිඩ් කොඩි අතරින් වඩාත් ප්‍රසිද්ධ ධජය වන්නේ මෙය ය.
ෆිලඩෙල්ෆියා ප්‍රයිඩ් ධජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2017 ප්‍රයිඩ් මාසය තුළ, ෆිලඩෙල්ෆියාවේ More Color More Pride සමූහය විසින් සිදුකරන ලද වැඩසටහනක දී ප්‍රයිඩ් ධජයට තවත් වර්ණ දෙකක් එක්විය. එයට කලු සහ දුඹුරු පැහැයන් එක්කිරීම මඟින් සංක්‍රාන්තික ප්‍රජාවේ සිටින කළු ජාතිකයන් සහ මිශ්‍ර ජාතිකයන් පිළිබිඹු කෙරිණි.
2018 මෙට් ගාලා උත්සවයේ දී කොඩියේ මෙම අනුවාදය තම ඇදුම් විලාසිතාවට එකතුකරගැනීමට ලීනා වේත් කටයුතු කළා ය. වේත්, ප්‍රහසන ලිවීම සඳහා එමී සම්මානය ලද පළමු කළු ජාතික කාන්තාව යි. එම වසරේ මෙට් ගාලා උළලේ තේමාව වූයේ කතෝලික ධර්මය යි. ධජය එහිදී ප්‍රදර්ශනය කිරීමෙන් පසු එහි ජනප්‍රියත්වය ඉහළ ගියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සංක්‍රාන්තිලිංගික කොඩිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සංක්‍රාන්තිලිංගික ධජය නිර්මාණය කරන ලද්දේ එක්සත් ජනපද නාවික හමුදාවේ සබ්මැරීන බලකායේ හිටපු සෙබළියක වන මොනිකා හෙල්ම්ස් විසිනි. ඇය 1999 දී සංක්‍රාන්තිලිංගික ප්‍රයිඩ් ධජය නිර්මාණය කළ අතර, එය ඊළඟ වසරේ ඇරිසෝනාහි පැවැත්වුණු ෆීනික්ස් ප්‍රයිඩ් පෙළපාළියේ දී ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි.
එහිදී පුරුෂයින් සංකේතවත් කිරීමට නිල් ද, කාන්තාවන් සඳහා රෝස ද තෝරාගෙන තිබේ. මධ්‍යයේ ඇති සුදු පැහැයෙන් සංක්‍රාන්තියේ පසුවන තැනැත්තන්, මධ්‍යස්ථ ලිංගිකබවක් ඇතැ යි හෝ ස්ත්‍රීපුරුෂභාවයක් නැතැ යි හැඟෙන්නන් මෙන්ම අන්තර්ලිංගිකයින් ද සංකේතවත් කෙරේ.
වසර දෙකක් තිස්සේ වැඩියෙන්ම ඉල්ලන ලද ඉමොජිය වුව ද, 2018 දීත් එය සිය ඉමොජි පුවරුවට ඇතුළත් කිරීමට යුනිකෝඩ් ආයතනය අසමත් විය (යතුරුපුවරුවල දිස්වන්නේ කුමන ඉමොජි ද යන්න තීරණය කරන ආයතනය එය යි). සමාජ ක්‍රියාකාරිකයෙකු සහ නිය අලංකරණ ශිල්පියෙකු වන චාලි ක්‍රැග් විසින් ආරම්භ කරන ලද "ක්ලෝස් අවුට් ෆෝ ට්‍රාන්ස්" ව්‍යාපාරය, ඔවුන්ගේ ධජය ඉමොජි යතුරුපුවරුවට එක්කරන තෙක් සංක්‍රාන්තිලිංගික අභිමානය නියෝජනය කිරීමට පොකිරිස්සන්ගේ ඉමොජිය යොදා ගැනීමට ජනතාව දිරිමත් කළේ ය. 2020 නොවැම්බර් මාසයේ දී සංක්‍රාන්තිලිංගික අභිමානය ධජය ඉමොජි පුවරුවට එක් විය.
ද්වීලිංගික කොඩිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ද්වීලිංගික අභිමාන ධජය 1998 දී මයිකල් පේජ් විසින් නිර්මාණය වූ අතර, එය සමස්තයක් ලෙස සංක්‍රාන්තික ප්‍රජාවන් කෙරෙහිත්, ප්‍රජාව තුළත් ඇති පිළිගැනීම වැඩි කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද්දකි. එය එකිනෙක හරහා යන රෝස සහ නිල් ත්‍රිකෝණ සහිත "ද්විකෝණ" සංකේතයක් මත පදනම්ව නිමවා තිබේ.
සමලිංගිකත්වය නියෝජනය කිරීමට රෝස පැහැයෙන් 40%ක ඉඩක් ද, විෂම ලිංගිකත්වය නියෝජනය කිරීමට නිල් පැහැයෙන් 40%ක ඉඩක් ද, අනන්‍යතා ද්විත්වයේ එකතුවක් නියෝජනය කිරීමට දම් පාටින් 20%ක ඉඩක් ද යොදා ගැනීමට ඔහු අදහස් කළ බව පැවසේ.
අනන්‍යතාවන්ගෙන් සීමානොවූ ලිංගිකයන් සඳහා වන ධජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ධජය ද 2010 දී නිර්මාණය කරන ලද්දකි. එහි ආරම්භය පිළිබඳ තොරතුරු නොමැත. නමුත් එය මුලින්ම අන්තර්ජාලය හරහා අවධානය දිනාගත් අතර පසුව එය ජනප්‍රිය භාවිතයට පැමිණියේ ය.
එය නිර්මාණය කර ඇත්තේ ලිංගික හෝ ස්ත්‍රීපුරුෂභේදයකින් තොරව යමෙකුට බැඳෙන හෝ ආකර්ෂණය වන "පෑන්සෙක්ෂුවැලිටි" හෙවත් හඳුනාගැනීම්වලින් සීමා නොවූ ලිංගිකයන්, ද්වීලිංගිකත්වයෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා ය.
රෝස පැහැයෙන් කාන්තාවන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය සංකේතවත් වන අතර, නිල් පැහැයෙන් පිරිමින් කෙරෙහි ද, කහ පැහැයෙන් ස්ත්‍රීපුරුෂ දෙකොටසටම අයත් නොවන්නන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය ද සංකේතවත් වේ.
ජෙන්ඩර්ක්වියර් ධජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2011 වර්ෂයේ දී මෙම ධජයේ අවසාන අනුවාදය නිර්මාණය කළේ, ජෙන්ඩර්ක්වියර් ලේඛකයෙකු, නිර්මාණකරුවෙකු සහ සංගීතවේදියෙකු වන මර්ලින් රොක්සි විසිනි.
ලැවෙන්ඩර් තීරුව, සාම්ප්‍රදායික පිරිමි සහ ගැහැණු වර්ණ වන රෝස සහ නිලෙහි සම්මිශ්‍රණයක් නියෝජනය කරයි. එහි වන අඳුරු කොළ පැහැය ලැවෙන්ඩර්වලට ප්‍රතිවිරුද්ධ වර්ණය වන අතර, එය පිරිමි හෝ ගැහැණු අනන්‍යතාවක් නො හැඟෙන අය සඳහා වේ. මධ්‍යයේ සුදු පැහැයෙන් නියෝජනය කරන්නේ ස්ත්‍රීපුරුෂභාවයෙන් සම්පූර්ණයෙන්ම පිටත සිටින අය යි.
ද්විමය (ගැහැණු හෝ පිරිමි) නොවන ධජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ධජය 2014 දී නිර්මාණය කරන ලද්දේ එවකට 17 හැවිරිදි වූ කයි රෝවන් විසිනි. ඒ, ජෙන්ඩර්ක්වියර් ධජයෙන් වෙන්වූ සංකේතයක් සඳහා සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙනි. එය රොක්සිගේ ධජයට පසෙකින් ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන ලද අතර ඉරි හතරකින් සමන්විත විය. ඒ සෑම ඉරක්ම අනන්‍යතාවයේ වෙනස් කණ්ඩායමක් නියෝජනය කරයි.
කහ වර්ණය, පිරිමි සහ ගැහැණු යන ද්විත්වයෙන් පිටත ස්ත්‍රීපුරුෂභාවයක් ඇතියවුන් සඳහා ය. සුදු පැහැයෙන් නියෝජනය කරන්නේ ලිංගික හඳුනාගැනීම් බොහොමයක් හෝ සියලුම ස්ත්‍රීපුරුෂභාවය ඇති අය යි. ද්විමය නොවන පුද්ගලයින්ගේ සුවිශේෂත්වය සහ වෙනස්වනසුළු ස්වභාවය දම් පැහැති තීරුව මඟින් නියෝජන කෙරේ. කළු ඉරි නියෝජනය කරන්නේ ස්ත්‍රීපුරුෂභාවයක් නොමැති අය යි.
තිර ලිංගිකත්වයක් නොමැති අයගේ ධජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ධජය සෑදී ඇත්තේ ස්ත්‍රීපුරුෂභාවය ස්ථිර නොවන, හැඟීම් සහ ආකර්ෂණයන් මත වරින් වර වෙනස් වන පුද්ගලයින් සඳහා ය. මෙම ධජය 2012 දී නිර්මාණය කරන ලද්දේ සමාජයේ විෂමලිංගික නියමයන්ට නොගැළපෙන පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වන ජේ. ජේ. පූල් විසිනි.
තිර ලිංගිකත්වයක් නොමැත්තන් යටතට වැටෙන උප-කණ්ඩායම් සහ ක්ෂුද්‍ර ලේබල ගණනාවක් ඇත. ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට තමන්ගේම ධජයයන් තිබේ. ඒවාට ජෙන්ඩර්ෆ්ලක්ස් (ස්ත්‍රීපුරුෂභාවයක වර්ණාවලියේ එක් ලිංගයක සිට අලිංගිකත්වය දක්වා උච්චාවචනයවීමට ලක්වන පුද්ගලයින්), ෆ්ලුයිඩ්ෆ්ලක්ස් (යමෙකු ස්ත්‍රීපුරුෂභාවයන් දෙකක් හෝ වැඩි ගණනක් අතර විවිධ තීව්‍රතාවන්ගෙන් වෙනස්වන තැනැත්තන්) සහ බහුලිංග (එක් ලිංගික අනන්‍යතා කාණ්ඩයකට වැඩි ගණනකට අයත්වන) වැනි වෙනස්කම් ඇතුළත් වේ. මේ සියල්ලෙන්ම නිරූපනය වන්නේ වෙනස්වන ලිංගික නැමියාවන් තුළ හමුවන වෙනස් අනන්‍යතාවන් ය.
අන්තර්ජාලය හරහා සමාන අදහස් ඇති පුද්ගලයින් සොයාගැනීමෙන් පසු තම ලිංගික නැඹුරුව 'ෆ්ලුයිඩ්ෆ්ලක්ස්' බවට මෑතක දී සිට විවෘතව පිළිගන්නා එල් මෙසේ පවසයි: "අප කණ්ඩායම් තුළ ධජයට වැදගත් තැනක් හිමි වෙනවා, මොකද ඒක හරියට අලුතින් ගෙයක් ගන්නවා වගෙයි. ඔබේ ජාතිකත්වයේ 'නිවහන' පෙන්වීමට කොඩියක් භාවිතා කරන ආකාරයටම, අපි කවුද යන්න හැඳින්වීමට මේ ධජ භාවිත වෙනවා. මේ ධජ මඟින් ඔබ තෝරාගත් නිවස සහ ඔබ තෝරාගත් පවුල කුමක් ද යන්න පෙන්වනවා."
"කොඩි භාවිතා වෙන්නේ සැමරීමට. ඒවායින් කියවෙන්නේ මේ තමයි මම, මම මා ගැන සමරන්නේ මෙය කියන එක. ඒ වගේම ඒක තවදුරටත් ලෝකයෙන් සැඟවී නොසිටීමට අදාළ යි. ඔබට [ලෝකය ඉදිරියේ] පෙනීසිටීමට ඉඩ ලැබෙනවා; නිර්භීතවීමට ඉඩ ලැබෙනවා."
අන්තර්ලිංගික ධජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම ධජය 2013 දී ඕස්ට්‍රේලියානු ජෛව ආචාරධර්ම විශේෂඥයෙකු, පර්යේෂකයෙකු සහ අන්තර්ලිංගික ක්‍රියාකාරිකයෙකු වන මෝගන් කාපෙන්ටර් විසින් නිර්මාණය වූවකි. එහි වන කවය මඟින් වර්ණදේහ, හෝර්මෝන සහ ලිංගේන්ද්‍රිය ඇතුළු ලිංගික ලක්ෂණවල විවිධ වෙනස්කම් ඇතිව උපන් අන්තර්ලිංගික පුද්ගලයින් අතර ඇති පූර්ණත්වය නියෝජනය කරයි.
දම් සහ කහ වර්ණ බොහෝ විට ස්ත්‍රීපුරුෂභාවය මධ්‍යස්ථ ලෙස සලකනු ලබන වර්ණ බැවින්, ඒවා භාවිතා කර තිබේ.
අලිංගික ධජය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අලිංගික යන පදයෙන් අදහස් කරන්නේ ලිංගික ආශාවන් නොමැතිකම මඟින් ලිංගික දිශානතිය නිර්වචනය කර ඇති නමුත් බ්‍රහ්මචර්යාව පිළිපදින්නන්ට අයත් නොවන පිරිස යි. මෙම ධජය 2010 දී නිර්මාණය කරන ලද්දේ සමලිංගික දෘශ්‍යතාව සහ අධ්‍යාපන ජාලයේ ලාංඡනය ඇසුරු කරගනිමිනි.
මෙහි කළු පැහැයෙන් අලිංගිකත්වය සංකේතවත් කරයි. අළු පැහැයෙන්, අලිංගිකත්වය අස්ථිර සහ ලිංගික ආකර්ෂණය අත්විඳින තැනැත්තන් ද, ඩෙමිසෙක්ෂුවල් පුද්ගලයින් ද (චිත්තවේගීය ආකර්ෂණය අත්විඳින්නන්) නියෝජනය කරයි. සුදු පාටින් මිත්‍රපාක්ෂිකයින් නියෝජනය කරන අතර දම් පාටින් ප්‍රජාව නියෝජනය කරයි.
ප්‍රගති ධජය

ප්‍රගති ධජය නොහොත් නූතන අභිමානයේ ධජය 2018 දී ද්විමය නොවන ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ඩැනියෙල් ක්වාසර් විසින් නිර්මාණය විය. එය සාම්ප්‍රදායික ෂඩ්වර්ණ ප්‍රයිඩ් ධජයට වර්ණ පහකින් යුත් නිලපටයක් ඇතුළත්කොට නිමැවුණකි.
කළු, දුඹුරු, රෝස, නිල්, සහ සුදු යන නව වර්ණ පහ වෙනත් ප්‍රයිඩ් කොඩි ගණනාවක් නියෝජනය කරනා වර්ණයන් ය. නමුත් සංක්‍රාන්තිලිංගික සහ ෆිලඩෙල්ෆියා කොඩිවලින් විචිත්‍රවත් ප්‍රජාවන් තුළ ඇති වෙනස්කම් විශේෂයෙන් දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දකුණු ආසියාතික LGBTQIA+ ප්‍රජාව සඳහා වන පොදු සන්නාමයක් වන 'ගේසියන්ස්'හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ රීටා ලෝයි මෙසේ පවසයි: "මේක තමයි මට අනුව නම් පරිපූර්ණ කොඩිය. ඒ වගේම මම හිතන්නේ කොඩි හැමවිටම විකාශනය වෙන්න ඉඩක් තියෙනවා, ඉතින් කවුද දන්නේ? යම් අවස්ථාවක දී කොඩියක් අවශ්‍ය නොවෙන තැනකට අප පැමිණෙන්න පුළුවන්. එය මට අනුව ජයග්‍රහණයක්."









