මැරඩෝනා: පාපන්දු තාරකාවගේ මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලයට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ආජන්ටිනාවේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ඩියේගෝ මැරඩෝනාගේ මරණය හා සබැඳිව සාපරාධී නොසැලකිල්ල පිළිබඳ චෝදනා ලැබ සිටින සෞඛ්‍ය නිලධාරීන් අටදෙනෙකු ඒ සම්බන්ධ නඩු විභාගයට පෙනී සිටීමට නියමිත ය.
මැරඩෝනා ලද ප්‍රතිකාර "අඩුලුහුඬුකම් සහ අසාමාන්‍යකම්වලින්" බහුලයැ යි වෛද්‍ය මණ්ඩලයක් විසින් තීරණයවීමෙන් අනතුරුව, සාවද්‍ය ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගයක් අරඹන්නැ යි විනිසුරුවරයෙක් නියෝග කළේ ය.
එකල හැටහැවිරිදි වූ මැරඩෝනා හෘදයාබාධයක් හේතුවෙන් 2020 වසරේ නොවැම්බර් මාසයේ බුවනෝස් අයර්ස්හි දී අභාවප්‍රාප්ත විය.
එම මස මුල දී, මොළයේ ඇතිවූ ලේ කැටියක් සඳහා සිදුකළ සැත්කමකින් අනතුරුව මැරඩෝනා සිය නිවෙසේ දී විවේක ගනිමින් සිටියේ ය.
ඔහුගේ මරණයෙන් දින කීපයකට පසු ආජන්ටිනාවේ අභිචෝදකයන් මැරඩෝනාගේ ප්‍රතිකාරයන්ට සම්බන්ධ වෛද්‍යවරුන් සහ හෙදියන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹීය.
පසුගිය වසරේ දී මැරඩෝනාගේ මරණය අධ්‍යයනය සඳහා පත්කළ 20 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක තීරණය වූයේ මැරඩෝනාගේ වෛද්‍ය කණ්ඩායම "නුසුදුසු, අඩුලුහුඬු ඇති, නොසැලකිලිමත් අන්දමකට" කටයුතුකර ඇතිබව යි.
එසේම අධිකරණ තීන්දුවට අනුව, පාපන්දු ක්‍රීඩකයාට සුදුසු වෛද්‍ය ආයතනයක දී නිසි ප්‍රතිකාර ලැබුණේ නම් ඔහු "දිවි ගලවාගැනීම සඳහා වැඩි ඉඩකඩක් තිබුණේයැ"යි නිගමනය විය.
චෝදනාවන්ට ලක්ව සිටින්නන් අතර මැරඩෝනාගේ පුද්ගලික වෛද්‍ය සහ ස්නායු ශල්‍යවෛද්‍යවරයා වන ලියොපෝල්ඩෝ ලූක්, මනෝවෛද්‍යවරයෙක් සහ මනෝවිද්‍යාඥයෙක්, වෛද්‍යවරුන් දෙදෙනෙක්, හෙදියන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ ප්‍රධානියා ද වෙති. ඔවුන් සියල්ලෝම මෙම මරණයට තමා වගකිව යුතු ය යන්න ප්‍රතික්ෂේප කරති.
පුද්ගලයෙකුගේ මරණයට හේතුවිය හැකිබව දැන දැනම පෙන්වන ලද නොසැලකිලිමත්කමින් සිදුවූ ඝාතනයක් පිළිබඳ නීතිමය නිර්වචනය මත පදනම්ව අටදෙනාටම එරෙහිව නඩු විභාග කරනු ඇත.
ආජන්ටිනාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව මෙම අපරාධයට දඬුවම් ලෙස වසර අටක සිට විසිපස් වසරක් දක්වා වන සිර දඬුවම් ලබාදිය හැකි ය. නඩු විභාගය සඳහා තවමත් දින නියමව නැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැරඩෝනාගේ එක් පුත්‍රයෙකුගේ නීතිඥයෙකු වන මාරියෝ බෝඩ්‍රි රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කළේ පාපන්දු තාරකාව සිය මරණය සිදුවන සමයේ "අසරණ අඩියක" සිටිබව යි.
"මෙම නඩුකරය දැක්ක ගමන් මම කිව්වා මේක නම් හිතාමතා සිද්ධකළ මරණයක් කියලා. මම සෑහෙන කලක් තිස්සේ මේකට සටන් කළා. දැන් ඉතින් අපි මෙච්චර දුර ඇවිල්ලා ඉන්නවා," ඔහු පැවසුවේ ය.
මෙම නීතිමය ක්‍රියාවලීන් ඇරඹුණේ මැරඩෝනාගේ දියණියන් දෙදෙනෙකු සිදුකළ පැමිණිල්ලකිනි. මොළයේ සැත්කමින් පසු සිය පියාට ලබාදුන් ප්‍රතිකාර පිළිබඳව ඔවුහු සැක මතු කළෝ ය.
2020 වසරේ නොවැම්බරයේ දී සිදුකෙරුණු හැඟීම්බර මාධ්‍ය සාකච්ඡාවක දී, තමා සිය මිතුරාගේ දිවි ගලවාගැනීමට හැකි සෑම දේ සිදුකළබව කියමින් වෛද්‍ය ලූක් හඬාවැටුණේ ය.
එක් මොහොතක දී ඔහු මාධ්‍යවේදීන්ගෙන් ද පෙරළා ප්‍රශ්න කළේ ය: "ඔයගොල්ලෝ දන්නවා ද මම මොනාට ද වගකියන්න ඕනේ කියලා? ඔහුට ආදරේ කළාට, ඔහුව බලාගත්තාට, ඔහුගේ ජීවිතය දික්කළාට, අවසානය වෙනතෙක්ම [ඔහුගේ ජීවිතයේ] තත්ත්වය යහපත්ව තියාගත්තාට."
තමා "කිසිවක් නොකළ හැකි තැනට වනතෙක් හැකි උපරිමයෙන් සෑම දෙයම" සිදුකළබවට ඔහු ප්‍රකාශ කළේ ය.
ඩියේගෝ මැරඩෝනා මෙතෙක් පාපන්දු ක්‍රීඩාකළ විශිෂ්ටතම ක්‍රීඩකයෙකුබැව් සැළකේ. 1986 දී ආජන්ටිනාව ලෝක ශූරතාව දිනාගන්නා විට ඔහු එම කණ්ඩායමේ නායකා වූ අතර, අර්ධ අවසන් පූර්ව වටයේ දී 'දෙවියන්ගේ හස්ථය' ලෙස සුප්‍රසිද්ධ වූ ගෝලය එංගලන්තයට එරෙහිව වාර්තා කළේ ය.
ඔහුගේ වෘත්තීය දිවියේ දෙවැනි භාගයේ දී මැරඩෝනා කොකේන් ඇබ්බැහියක් හා සටන් කළේ ය. 1991 දී එම මත්ද්‍රව්‍ය ලබාගත්බවට පරීක්ෂණ මඟින් තහවුරුවීමෙන් පසු ඔහුට එරෙහිව මාස 15ක තරග තහනමක් පැනවිණි.
ඔහුගේ මරණය පිළිබඳ පුවත පාපන්දු ලෝකයමත්, ඔහුගේ මව්රට වූ ආජන්ටිනාවත් දැඩි ශෝකයට පත්කළ අතර, බුවනෝස් අයර්ස්හි ජනපති මැදුරේ තැන්පත්කර තිබූ ඔහුගේ දෙණ පසුකර යෑම සඳහා දහස් ගණනක් ජනයා පැය ගණනක් තිස්සේ පෝලිම් ගැසී උන්හ.










