මැරඩෝනාගේ බූදලයට කාන්තාවන් හය දෙනෙකුගේ දරුවන් අට දෙනෙක්?

දියණිය ඩල්මා සමඟ 1989 දී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දියණිය ඩල්මා සමඟ 1989 දී

මැරඩෝනාගේ ධනස්කන්ධය වතුපිටි දේපොළවලට පමණක් සීමා වී නැත. ඔහුගේ ඡායාරූපයක පවා මුදල් ගලා එන බුද්ධිමය දේපල අයිතියක් සහිතය. උපන් රටින් එපිට පවතින ආයෝජන සහ තැන්පතු ද අමතක කළ නොහේ.

මැරඩෝනාගේ නික්ම යාමත් සමඟ ඔහුගේ උරුමය පසිඳලීම සංකීර්ණ වී තිබේ. එමගින් ඔහුගේ සංකීර්ණ වූ පෞද්ගලික දිවිය විදහාපායි.

ඔහු මිය යන විට 60 හැවිරිදි විය. පසුගිය දා සැල වූ ඒ මරණය පාපන්දු ලෝලීන් කම්පනයට පත් කළේය. දැන් ඔහුගේ වත්කම් සහ උරුමය පිළිබඳව බොහෝ රාවයන් පැතිරෙමින් පවතී.

පසුගිය දශකය පුරාවට කාන්තාවන් හය දෙනෙකු සමඟ ඇති ගත් ප්‍රේම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස අවම වශයෙන් දරුවන් අට දෙනෙකුවත් මේ ධනස්කන්ධයට උරුමකම් කියනු ඇත.

නමුත් අන්තිම කැමති පත්‍රයක් පිළිබඳව තවමත් හෝඩුවාවක් නොමැත. එබැවින් නීති විශාරදයන් සහ මාධ්‍යවේදීන් පවසන්නේ උරුමය පසිඳලීම පහසු කටයුත්තක් නොවනු ඇති බවය.මෙය පවුල් ආරවුල්වලින් පිරි, DNA පරීක්ෂණවලින් සමන්විත, පීතෘත්වය පිළිබඳ අවස්ථාවාදී හිමිකම් කියාපෑම් සහිත දීර්ඝ කාලීන උසාවි සටනක් වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. මැරඩෝනා ගේ බූදලයේ සැබෑ වටිනාකම ගණනය කිරීම ද නීතිඥයන්ට ඉතා වෙහෙසකර කටයුත්තක් වනු ඇත.

"මගේ අනාවැකිය නම් මේ ක්‍රියාදාමය අවුල්සහගත එකක් වන බවයි. ඒක විසඳන්න සෑහෙන කාලයක් යාවි." ආර්ජන්ටිනාවේ නීතිඥයෙකු වන එලියාස් කියර් ජෝෆේ බීබීසීයට පැවසීය.

මැරඩෝනාගේ දරුවන් කවුද?

පීතෘත්වය හෙළිදරව් කිරීම මේ පාපන්දු තරුව ගෙවූ විචිත්‍රවත් ජීවිතය පුරා පැවති සාමාන්‍ය තේමාවකි.

තම පියාට දාව උපදින දරුවන්ගෙන් පමණක් සමන්විත පාපන්දු කණ්ඩායමක් ඇති කළ හැකිවනු ඇතැයි මැරඩෝනාගේ දියණියක වරෙක ප්‍රකාශ කර තිබුණේ විහිළුවක් කිරීමේ අටියෙනි.

මැරඩෝනා විසි වසරක යුග දිවියකින් පසුව ක්ලෝඩියාගෙන් දික්කසාද වූයේ 2003 දීය. මේ දෙපළට ජනීනා (31) සහ ඩල්මා (33) නමින් දියණියන් දෙදෙනෙක් සිටිති. මේ දෙදෙනා හැර, තවත් දරුවන් තමන්ට දාව සිටින බවට පවතින රාවයන් වසර කීපයක් තිස්සේ මැරඩෝනා ප්‍රතික්ෂේප කළේය.

ක්ලෝඩියා (වමේ) සහ දියණියන් දෙදෙනා සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ලෝඩියා (වමේ) සහ දියණියන් දෙදෙනා සමඟ

අවසානයේ, තමන්ට දාව තවත් දරුවන් හය දෙනෙකු සිටින බව මේ ලෝක කුසලාන ලාභියා පිළිගත්තේය.

දියාගෝ ජුනියර් (34) සහ ජානා (24) ද තම දරුවන් බව 2010 වසර මැද භාගය වන විට මැරඩෝනා පිළිගත්තේ තම පෙම්වතියන්ව සිටි කාන්තාවන් දෙදෙනෙකු අධිකරණය ඉදිරියට යාමෙන් අනතුරුවය. 2013 දී උපන් දියාගෝ ෆනැන්ඩෝ (7) ගේ පියා කවුරුන්ද යන වගට නම් එවැනි මතභේදයක් නොපැවතුණි. ඒ මැරඩෝනාගේ දෙවැනි පුත්‍රයා ය.

මේ අතරතුර, 2019 දී නිකුත්වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ නිවේදනයකි. කියුබාවේ උපන් දරුවන් තිදෙනෙකු තමන්ගේ යැයි පිළිගැනීමට මැරඩෝනා එකඟ වූ බව ඔහුගේ නීතිඥයා නිවේදනය කළේය.

කොකේන් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහිවී සිටීම නිසා ඊට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වසර 2000දී මැරඩෝනා කියුබාවට ගියේය. වසර කීපයක් එහි ගත කළේය.

එම නිවේදනය මගින් අප යාවත්කාලීන විය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනීනා සහ ඩල්මා

නමුත්, අවම වශයෙන් තවත් දෙදෙනෙකුවත් සිටිය හැකිය. තමන් මැරඩෝනාගේ පුත්‍රයෙකු බව ආර්ජන්ටිනාවේ සන්තියාගෝ ලාරා (19) පවසයි. එමෙන්ම, ආර්ජන්ටිනා යුවතියක වන මගලී ජිල් (23) ද විශ්වාස කරන්නේ මේ සුපිරි තරුව තම පියා බවය.

මැරඩෝනාගේ බූදලයෙන් කොටසක් තමන්ටත් අයිති බව සනාථ කිරීම සඳහා අධිකරණයට යන බව මේ දෙදෙනා ම පවසති.

දියාගෝ ජුනියර් සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දියාගෝ ජුනියර් සමඟ

ලෝක පූජිත මේ ක්‍රීඩකයාගේ දේහය ගොඩ ගෙන DNA පරීක්ෂාවට අවශ්‍ය නියැදි ලබා ගන්නා ලෙසට සන්තියාගෝ ලාරා ගේ නීතිඥයා දැනටමත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මැරඩෝනා තම පියා බවට ඔප්පු කිරීමට මොවුන් දෙදෙනාට හැකියාවක් ලැබුණත් ඔහුගේ බූදලයෙන් කොපමණ ප්‍රමාණයක් ඔවුනට හිමිවේදැයි තවමත් පැහැදිලි නැත.

දියණිය ජානා (දකුණේ) සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දියණිය ජානා (දකුණේ) සමඟ

මැරඩෝනාගේ වත්කම කොපමණ ද?

මැරඩෝනාගේ වත්කම නිශ්චිතව සඳහන් කෙරෙන විස්තරාත්මක වාර්තාවක් නොමැත. නමුත් ක්‍රම දෙකකින් ගණනය කළ කාල්පනික වාර්තා ඇතැම් මාධ්‍ය ආයතන පළ කර තිබුණි.

පළමු වාර්තාවෙන් ගණනය කර තිබුණේ ඔහුගේ මිල අධික නවීන පන්නයේ මෝටර් රථ පටන් රන් ආභරණ දක්වා වූ වස්තු සම්භාරයේ වටිනාකමයි.

ආර්ජන්ටිනා මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් දක්නට ලැබුණු වාර්තා ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් මිලියන 75ත් මිලියන 100ත් අතර වූ වත්කමකි.

කිසිදු මූලාශ්‍රයක් නොමැති මෙම ඇස්තමේන්තුව සපයා තිබුණේ, මැරඩෝනාට සමීපව සිටි ආර්ජන්ටිනා ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන ජුලියෝ චියාපෙට්ටා විසින් ලියන ලද ලිපියක ය.

දෙවන ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණේ මැරඩෝනා මියයන විට ඔහුගේ වටිනාකමෙන් සිය බැරකම් (liabilities) අඩුකර දැක්වීමෙනි.

මැරඩෝනා මියයන මොහොත වන විට ඔහුගේ වටිනාකම ඩොලර් 500,000 බව Celebrity Net Worth වෙබ් අඩවියේ සඳහන් විය. මෙය ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වටිනාකම ඇස්තමේන්තු කරන වෙබ් අඩවියකි.

මෙම ඇස්තමේන්තු ගණනය කිරීම සඳහා මූල්‍ය විශ්ලේෂණ, වෙළෙඳපොළ සමීක්ෂණ සහ අභ්‍යන්තර ආරංචි මාර්ග යොදා ගන්නා බව මෙම වෙබ් අඩවිය පවසයි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බෙලාරුස් රාජ්‍යයේ සංචාරයක යෙදෙමින් සිටින විට තෑගි ලැබුණු හන්ටර් වර්ගයේ ජීප් රථය

පහත සඳහන් වන්නේ මැරඩෝනාගේ වත්කම් ලෙස මෙතෙක් ප්‍රසිද්ධියට පත් වී ඇති වාර්තාවල දැක්වෙන කිහිපයකි.

  • අවම වශයෙන් ආර්ජන්ටිනාවේ නිවාස පහක්. (නමුත් මෙම නිවාස ඇමරිකාවේ බෙවර්ලි හිල්ස් හි පවතින වර්ගයේ මන්දිර නොවන බව නීතිඥ කියර් ජෝෆේ පවසයි.)
  • ඩොලර් 360,000ක් වටිනා රෝල්ස් රොයිස් රථයක් සහ ඩොලර් 175,000ක් වටිනා BMW i8 රථයක්.
  • බෙලාරුස් රාජ්‍යයේ සංචාරයක යෙදෙමින් සිටින විට තෑගි ලැබුණු හන්ටර් වර්ගයේ මිල අධික ජීප් රථයක්.
  • ඩොලර් 360,000ක් වටිනා දියමන්ති මුද්දක්.
  • අන්තර්ජාල පාපන්දු ක්‍රීඩාවක මැරඩෝනාගේ රුවට සමාන චරිතයක් යෙදවීම සඳහා අවසර ලබා දී තිබෙන කොන්ත්‍රාත්තුවක්.

පාපන්දු ක්‍රීඩකයෙකු සහ කළමනාකරුවකු වශයෙන් මැරඩෝනාට ලැබුණු වැටුප් සහ දීමනාවල මුළු වටිනාකම "ඩොලර් කෝටි ගණනක්" වන බව Celebrity Net Worth වෙබ් අඩවිය පවසයි.

ඉන් වැඩිම මුදලක් ඔහු උපයා ඇත්තේ ඉතාලියේ නාපොලි පාපන්දු කණ්ඩායම සමඟ අත්සන් කළ කොන්ත්‍රාත්තුවෙනි.

එහිදී ඔහුට ඩොලර් මිලියන 3ක වැටුපක් සහ තවත් මිලියන 8ක හෝ 10ක දීමනා ලැබුණු බව 1990 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නාපොලි කණ්ඩායම නියෝජනය කළ කාලය

මැරඩෝනා ගොඩ නැගුවේ ඉතාලියයි. බිඳ දැමුවේ ද ඉතාලියයි. ඉතාලිය මැරඩෝනාට එක් අතකින් දුන් දේ අනෙක් අතින් ආපසු ලබා ගැනීමට උත්සාහ කළේය. ඉතාලිය ඔහු ණයකාරයෙකු කළේය.

මැරඩෝනා බදු ගෙවීම් පැහැර හැර ඇති බවට ඉතාලි රජයෙන් නිවේදනයක් නිකුත් විය. ගෙවීමට ඇති මුළු මුදල ඩොලර් මිලියන 48.6ක් බව නිවේදනය කළේ නාපොලි කණ්ඩායම නියෝජනය කළ කාලය දක්වා ආපස්සට ගණනය කිරීමෙනි.

අද වනතුරුත්, එම ණය කන්දරාවෙන් අති විශාල ප්‍රමාණයක් පවතින්නේ නොගෙවූ ණය ලෙසිනි.

මැරඩෝනා එම ණය ගෙවීම ප්‍රතික්ෂේප කළේය. ඔහු ජීවත්ව සිටියේ නම් දිගටම එය නොගෙවා සිටීමට ඔහු තීරණය කරනු ඇතැයි සිතිය හැකිය.

එය කෙසේ වී නමුදු, තවමත් එම මුදල කවදා හෝ ගෙවිය යුතු ප්‍රධාන ණය බරක් ලෙස පවතී.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මැරඩෝනා මිය යන මොහොත වන විට ඔහුගේ වටිනාකම ඩොලර් ලක්ෂ පහක් වැනි අඩු මුදලකට තක්සේරු කිරීමට Celebrity Net Worth වෙබ් අඩවියට සිදු වී ඇත්තේ මේ සා විශාල ණය මුදලක් පැවතීම නිසා බව පෙනෙන්නට තිබේ.

"ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්"

ලුවිස් වෙන්ටුරා, ආර්ජන්ටිනාවේ මාධ්‍යවේදියෙකි. ඔහු මැරඩෝනාගේ සමීප මිතුරෙකු විය. එක්තරා රූපවාහිනී වැඩසටහනක දී ඔහු කියා සිටියේ මැරඩෝනාගේ වියදම් කිරීමේ පුරුද්ද, කොහොමටත් සිය බැංකු පොතේ ශේෂයට හිතකර නොවූ බවය.

ඔහු එම ප්‍රකාශය කළේ මැරඩෝනා "මිය ගියේ දුප්පතෙකු ලෙසින්දැ"යි ඇසූ පැනයට පිළිතුරු දෙමිනි.

"අනිවාර්යෙන්ම දුප්පත්. ඔහු වියදම් කරන්න කැමති කෙනෙක්. කවුරු හරි ඔහුගෙන් සල්ලි ඉල්ලුව නම්, ඔහු ඒක දුන්න." ලුවිස් පැවසීය.

බුදලය කෙසේ බෙදා ගනීවි ද?

සිය හිටපු සහකාරියන් සහ තම දරුවන් සමඟ මැරඩෝනා ප්‍රසිද්ධියේ මතභේද ඇති කර ගත්තේය. ඔවුනොවුන්ගේ දුක්ගැනවිලි හෝ මැසිවිලි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුනොවුන් ම පළ කළේය. රූපවාහිනී තිරය මතට විත් ප්‍රසිද්ධියේ කතා කළේය.

එවැනි අඩදබර ඇතිවන්නට මැරඩෝනාගේ වත්කම මෙන්ම සෞඛ්‍ය තත්ත්වයද හේතු විය.

මැරඩෝනාගේ දියණියක වන ජනීනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මැරඩෝනාගේ දියණියක වන ජනීනා

උදාහරණයක් ලෙස දක්වතොත්, 2019 නොවැම්බර් මාසයේ දී මැරඩෝනාගේ දියණියක වන ජනීනා තම පියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිය සැලකිල්ල ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ මැරඩෝනා තමන්ගේ බූදලය පිළිබඳව ව්‍යංගාර්ථයෙන් යමක් කියා තිබුණි.

"මම ඔබ හැමදෙනාටම කියන්නේ, මම කිසිවක් ඉතිරි කර නොයන බවයි. මම එය දන් දෙනවා." යූටියුබ් මත වීඩියෝවක් පළ කරමින් මැරඩෝනා කියා සිටියේය.

කෙසේ වෙතත් ආර්ජන්ටිනාවේ නීතියට අනුව, අන්තිම කැමති පත්‍රයක් මගින් දන් දිය හැක්කේ තම වස්තුවෙන් තුනෙන් එක් පංගුවක් පමණි. ඉතිරියේ අයිතිය හිමිවන්නේ දරුවන්ට හෝ බිරිඳටය.

දියාගෝ මැරඩෝනා අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති බවක් තවමත් පෙනෙන්නට නැත. මිය යන විට බිරිඳක් ද නොවීය. එම නිසා ඔහුගේ මුළු වස්තු සම්භාරයම දරුවන් අතර සමානව බෙදී යනු ඇත.

මැරඩෝනාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි පවුලේ සාමාජිකයන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මැරඩෝනාගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි පවුලේ සාමාජිකයන්

"අන්තිම කැමති පත්‍රයක් ලියන සංස්කෘතියක් ආර්ජන්ටිනාවේ නැහැ. බොහෝ අය එහෙම ලියන්නේ නැහැ." නීතිඥ ජෝෆේ පැවසීය.

මැරඩෝනාගේ අන්තිම කැමති පත්‍රයක් හෝ බූදලය පිළිබඳව පවතින ප්‍රශ්න පිළිබඳව විමසීම සඳහා බීබීසීය මැරඩෝනාගේ නීතිඥවරයා වන මතියාස් මොර්ලා සම්බන්ධ කර ගත් නමුත් මෙම ලිපිය පළවන මොහොත වන තුරු ඔහුගෙන් පිළිතුරක් නොලැබුණි.

අන්තිම කැමැත්තක් නොමැති කල්හි බොහෝ විට සියල්ල විසඳෙන්නේ නීති පොතට අනුවය.

මැරඩෝනාගේ තුන්වැනි දියණිය වන ජානා තම උරුමය ඉල්ලා අධිකරණයට ගොස් ඇති බව ආර්ජන්ටිනාවේ මාධ්‍ය වාර්තා කර තිබුණි.

කාට කුමක් හිමි වේද යන්න අධිකරණ විනිසුරුවරයෙකු විසින් තීරණය කරනු ඇත.

නමුත් මේ සඳහා මාස ගණනක් ගත වනු ඇති බව, බූදල් නඩු පිළිබඳ විශේෂ දැනුමක් ඇති නීතිඥ සෙබස්තියන් ලිමේරෙස් බීබීසීයට පැවසීය.

ඒ අතරතුර, "මේ උරුමක්කාරයන් සියලු දෙනා සමගියෙන් ඉඳීවි ද කියල අපට අනාවැකි කියන්න බැහැ." ලිමේරෙස් ප්‍රකාශ කළේය.

මැරඩෝනා