මැරඩෝනා: ලොවක් වසඟ කළ ආජන්ටිනාවේ පාපන්දු සලකුණ

Diego Maradona

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ආජන්ටිනාව වෙනුවෙන් 91 ක් වරක් පිටියට පා තබා ඇති මැරඩෝනා වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 34 කි

ඩියේගෝ මැරඩෝනා දීප්තිමත්, අසහාය, උත්කෘෂ්ට පාපන්දු තරුවකි. නිර්දය ප්‍රහාරකයෙකු මෙන්ම වරෙක මතභේදයට තුඩු දුන් චරිතයක් විය.

පාපන්දු ලෝකයේ සුවිශේෂී ලකුණක් තැබූ ඔහු සහජ හැකියාව, චිත්තාකර්ෂණය, දැක්ම සහ වේගයේ දුලභ සම්මිශ්‍රණයක් වශයෙන් රසික හදවත් තුළ සදා රැඳෙනු ඇත.

එමෙන්ම මතභේදයට තුඩු දුන් 'දිව්‍යමය හස්තය' ('Hand of God') ලෙස විරුදාවලි ලත් ගෝලය වාර්තා කරමින් ඔහු රසිකයන් කෝප ගැන්වීය. පිටියෙන් බැහැර ජීවිතයේ මතට ලොල් බැඳීම සහ පෞද්ගලික අර්බුද අතර ඔහු එරී සිටියේය.

'ෂෝට් ඇන්ඩ් ස්වීට්': පාපන්දු ලොවේ ශ්‍රේෂ්ඨ විරුවා

Diego Maradona at Napoli

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නාපොලි වෙනුවෙන් තරඟ 188 කදී ගෝල 81 ක් වාර්තා කළ මැරඩෝනා එහි තරුවක් බවට පත් විය

මීට හැට වසරකට පෙර ඩියේගෝ අර්මන්දෝ මැරඩෝනා උපත ලැබුවේ බුවනොස් අයරෙස්හි පැල්පත් නගරයකදීය. දුගී බවින් පිරුණු සිය ළමා කාලයෙන් ගැලවී යමින් පාපන්දු ලෝකයේ සුපිරි තරුවක් බවට පත් ඔහු ඇතැමෙකු විසින් සලකනු ලැබුවේ බ්‍රසීලයේ පේලේ (Pele) පවා අභිබවා ගිය පතාකයෙකු ලෙසය.

මේ අසහාය 'පොඩි මිනිසා'විසින් තරඟ 491 කදී රැස් කරනු ලැබ ඇති ගෝල සංඛ්‍යාව 259 කි.

කුඩා වියේදීම ක්‍රීඩාවේ ආශ්චර්යමත් දක්ෂතා විදහා දැක්වූ මැරඩෝනා සිය මංගල ජාත්‍යන්තර තරඟයට සහභාගී වන විට අවුරුදු 16 ක කොලු ගැටයෙකි.

අඩි 5 අඟල් 5 ක් උසින් යුත් ඔහු සාමාන්‍යයෙන් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ දේහදාරී ක්‍රීඩකයෙකු නොවීය.

නමුත් ඔහු වෙතින් මෘදුව ගලා ගිය දක්ෂතා, කඩිසරබව, දැක්ම, පන්දු පාලනයේ දක්වන ලද හැකියාව පෙර කී ශරීර ප්‍රමාණය සහ බර සම්බන්ධයෙන් ඇති වූ ගැටලු පරයා ඉස්මතු විය.

තමා ඉදිරියට පැමිණෙන ප්‍රතිවාදියා ක්ෂණයෙන් කරඇර යාමේ හැකියාවක් තිබුණ ද පිටියේ අඩදඹර මගහැර යාම ඔහුට දුෂ්කර කටයුත්තක් වූවාට සැක නැත.

දිව්‍ය හස්තය සහ සියවසේ ගෝලය

Diego Maradona's famous 'Hand of God' goal

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිවාදී ගෝල රකින්නා වූ පීටර් ෂිල්ටන් සමගම ඉහළට එසවුණු මැරඩෝනා සිය අතින් ක්ෂණික පහරක් ගසමින් පන්දුව ගෝලය තුළට යැවීය

ආජන්ටිනාව වෙනුවෙන් 91 ක් වරක් පිටියට පා තබා ඇති මැරඩෝනා වාර්තා කළ ගෝල 34 අපට කියනුයේ ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ කොටසක් පමණි.

1986 මෙක්සිකෝවේ පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ඔහු සිය රට ජයග්‍රහණය වෙත ගෙන ගියේය. ඉන් සිව් වසරකට පසු යළිත් අවසන් තරගයේ ස්ථානයක් දිනා ගැනීමට ද ඔහු ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම සමත් විය.

ඊට පෙර පැවති අර්ධ අවසාන පූර්ව වටයේදී මතභේදයක පෙරලකුණු පළවුණු අතර පසුව ඔහුගේ ජීවිතය ඒ තුළ ගිලිනි.

එංගලන්තයට එරෙහිව පැවති එම තරඟයට අතිරේක ඝට්ටනයක් එකතු වී තිබුණේ එයින් සිව් වසරකට පෙර එක්සත් රාජධානිය සහ ආජන්ටිනාව අතර පැවති ෆොක්ලන්ඩ්ස් යුද්ධය හේතුවෙනි. එය පිටියේ තියුණු බව තවත් දැඩි වීමට හේතු විණි.

කිසිඳු ගෝලයක් වාර්තා නොකර මිනිත්තු 51 ක් ගතව තිබියදී ප්‍රතිවාදී ගෝල රකින්නා වූ පීටර් ෂිල්ටන් සමගම ඉහළට එසවුණු මැරඩෝනා සිය අතින් ක්ෂණික පහරක් ගසමින් පන්දුව ගෝලය තුළට යැවීය. නමුත් විනිසුරුවරයා ඊට එරෙහි නොවීම නිසා ආජන්ටිනාවට එමගින් ලකුණක් එක් විය.

මැරඩෝනා පසුව කියා සිටියේ දේව හස්තයෙන් ලැබුණු ස්වල්ප උදව්වටත් ස්වල්ප වශයෙන් සිය 'ඔලුව පාවිච්චි කිරීමටත්' ස්තූති වන්නට එම ගෝලය වාර්තා කළ බවය.

ඉන් මිනිත්තු හතරකට පසු ඔහු වාර්තා කළ දෙවන ගෝලය 'සියවසයේ ගෝලය' ලෙස හැඳින්වේ.

"එය විශිෂ්ඨ පහරක් බව කිව යුතුයි. ඒ ගෝලය ගැන නම් සැක ඇතිකර ගත යුතු නැහැ. මේ නම් සැබෑ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙක්," යනුවෙන් බීබීසී විස්තර විචාරක බැරී ඩේවියස් එහිදී පැවසීය.

මැරඩෝනා පසුව කියා සිටියේ "එය තරඟයකට එහා ගිය දෙයක්. එය ඉංග්‍රිසීන් පරාජයට පත් කිරීමක්," යනුවෙනි.

වීඩියෝ ශීර්ෂ වැකිය, සිය කුප්‍රකට 'දිව්‍ය හස්ත' ගෝලය පිළිබඳ අදහස් දක්වන මැරඩෝනා

ආජන්ටිනා කණ්ඩායමේ හිටපු මැදපෙළ ප්‍රහාරක ක්‍රීඩකයා මෙන්ම කළමනාකරු වූ මැරඩෝනා බුවනොස් අයරෙස් ආසන්නයේ ටිග්‍රේහි පිහිටි සිය නිවසේදී බදාදා (නොවැම්බර් 25) අවසන් හුස්ම හෙලීය.

එරට මාධ්‍ය වාර්තා කළේ මරණ පරීක්ෂණයේ මූලික ප්‍රතිඵල අනුව ඔහු දරුණු හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවය.

මොලයේ හටගත් රුධිර කැටියක් හේතුවෙන් ඔහු නොවැම්බර් මස ආරම්භයේදී සාර්ථක ශල්‍යකර්මයකට ලක් කෙරිණි. එමෙන්ම තදින් මත්පැන් පානයට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතව තිබිණි.