ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජස්ටින් බීබර්ට වැළඳුණු රෝගය ගැන ඔබ දන්නවාද?
කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් තමා මුහුණේ ඇති වන දුර්ලබ ගණයේ අංශභාග තත්ත්වයකින් පෙළෙන බව ජුනි 10 වන දා හෙළි කළේ ය. ඔහුගේ නවතම ලෝක සංචාරයේ සංදර්ශනයන් අවලංගු කිරීමට ද එය හේතු විය.
ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවක් හරහා සිය අංශභාග ලක්ෂණ පෙන්නුම් කළ බීබර් පැහැදිලි කළේ, ඔහුට වෛරසයක් නිසා ඇතිවන රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය (RHS) වැළඳී ඇතැ යි හඳුනාගෙන ඇති බව යි.
ඔහු සුවය ලැබීමට කොපමණ කාලයක් ගතවේ ද යන්න තවමත් පැහැදිලි නැත. නමුත් එම රෝගය ගැන අප දැනට දන්නා දේ මෙසේ යි.
රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය ඇතිවීමට හේතුව කුමක්ද?
RHS ඇතිවන්නේ වැරිසෙලා සොස්ටර් වෛරසය (VZV) මඟින් වන අතර, එය තවත් ඉතා සුලබ රෝග දෙකක් වන පැපොල සහ අංශ පැපොල රෝගය ඇති කරයි.
මෙසේ සිදුවන්නේ අංශ පැපොල රෝග ආසාදනයක් මුහුණේ චලනය සහ හැඟීම් ප්‍රකාශන පාලනය කරන ස්නායුවකට බලපෑම් කළ විට ය.
එක්සත් රාජධානියේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ෆේෂල් පල්සි ආයතනය දක්වන පරිදි, මෙම සින්ඩ්‍රෝමය ඇතිවන පුද්ගලයින් කුඩා කාලයේ දීම පැපොල රෝගය වැළඳී ඇති අය යි.
පැපොල සුවවීමෙන් පසුව ද වැරිසෙලා වෛරසය තවදුරටත් අපගේ ස්නායු තුළ ජීවත්වන නමුත්, එය නිද්‍රාශීලීව පවතිනතාක් කල් හානිකර නොවේ.
කෙසේ වෙතත්, එය නැවත සක්‍රිය විය හැකි අතර, ඇතැම්විට කාලයත් සමග අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම මෙයට බලපානවා විය හැකි ය.
තවත් ප්‍රේරකයක් වන්නේ ආතතිය යි. එය අංශ පැපොල රෝග ලක්ෂණ මතුවීම හා බැඳී පවතියි.
රෝග ලක්ෂණ මොනවා ද?
බීබර් එම වීඩියෝවේ පෙන්වන පරිදි, එහි එක් පැහැදිලි රෝග ලක්ෂණයක් වන්නේ මුහුණේ ස්නායුවක් බලපෑමට ලක්ව ඇති විට මුහුණේ පේශි දුර්වලවීම හෝ අංශභාග තත්ත්වයක් ඇතිවීම යි.
මුහුණේ, කනේ, හිස් කබලේ හෝ මුඛයේ ඇතුළත දියබිබිලි ද ඇති විය හැකි ය.
ඇතැමුන්ට ශ්‍රවණාබාධ සහ දරුණු වේදනාවක් දැනෙනු ඇත.
එය බෝවනසුළු ද?
පැපොල මෙන් නොව, අංශ පැපොල රෝගය සහ RHS බෝ නොවේ. කෙසේ වෙතත්, පැපොල හෝ අංශ පැපොල රෝග සඳහා ප්‍රතිශක්තියක් නොමැති පුද්ගලයින්ට RHS ඇති පුද්ගලයෙකුගේ විවෘත කුෂ්ඨ හෝ බිබිලි සමග ස්පර්ශවීමෙන් වෛරසය ශරීරගත විය හැකි බව වෛද්‍යවරු අනතුරු අඟවති.
එය කෙතරම් සුලබ ද?
රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය දුර්ලබ රෝගයකි. එක්සත් ජනපදයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන 'දුර්ලබ ආබාධ සඳහා වන ජාතික සංවිධානය' (Nord) ඇස්තමේන්තු කරන්නේ සෑම වසරකම පුද්ගලයින් 100,000කින් පස්දෙනෙකුට මෙය ඇතිවන බව යි. ඊට සාපේක්ෂව, ඇමරිකානුවන් 100,000කින් 440දෙනෙකුට පිළිකා වැළඳේ.
එය හඳුනාගන්නේ කෙසේ ද? ප්‍රතිකාර මොනවා ද?
RHS හඳුනාගැනීමට රුධිර පරීක්ෂා සහ ස්කෑන් පරීක්ෂණ සිදුකරනු ඇත.
ඊට ප්‍රතිවෛරස ඖෂධ, ස්ටෙරොයිඩ, වේදනානාශක භාවිතයෙන් ප්‍රතිකාර කළ හැකි අතර, ඇතැම් අවස්ථාවල දී මුහුණට ව්‍යායාම් කිරීම ද උපකාරි විය හැකි ය.
බොහෝ අය සම්පූර්ණ සුවය ලබන නමුත්, සිදුවන ස්නායු හානියේ බරපතලකම අනුව එය යථා තත්ත්වයට පත්වීමට වැඩි කාලයක් ගතවනු ඇත.
ඇතැම් රෝගීන්ගේ මුහුණේ අංශභාගය සහ ශ්‍රවණාබාධ තත්ත්වය යම්තාක් දුරට සදාකාලික විය හැකි ය.