ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇත්ත නැත්ත: දියුණු රටවලට සාපේක්ෂව දර භාවිතා කරන රටවල ජනයාගේ ආයුෂ වැඩි ද?
- Author, අමන්දා අබේසූරිය
- Role, බීබීසී සිංහල
දියුණු රටවල කාන්තාවන්ගේ ආයුකාලයට වඩා, ඉවුම්පිහුම් කටයුතු සඳහා දර ලිප් පාවිච්චි කරන ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආයුකාලය ඉහළබව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පසුගිය ජුනි 7 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවේ ලක්ෂ 150ක ජනතාවකගේ ජීවනෝපාය, ජීවන පැවැත්ම හා දේශීය කර්මාන්ත රැසක් රැකගැනීමට දායක වී ඇත්තේ දර ඉන්ධන බව පැවසූ ඔහු, "රටේ පවතින ස්වෛරීභාවයට මෙන්ම බලශක්ති, ආහාර සුරක්ෂිතභාවයට ද ප්‍රධාන සාධකයක් තමයි මේ දර භාවිතය," යනුවෙන් ද ප්‍රකාශ කළේ ය.
"නවීන, පිරිසිදු බලශක්ති ඉන්ධන භාවිතා කරන දියුණු, ධනවත් රටවල මිනිසුන්ගේ වයස වසර 80යි සහ 85යි. නමුත් ලංකාවේ ගෑස් මිළ දී ගැනීමට අපහසු, දර පරිහරණය කරන කාන්තාවන්ගේ ආයුකාලය වසර 80.1යි. ඒ කියන්නේ ලංකාවේ සමාජ දර්ශක දකුණු ආසියාවේ ඉහළම තැනට පත්ව තියෙනවා."
ඉන් පෙන්වන්නේ, දර භාවිතය රටේ සංවර්ධනයට මිස පරිහානියට හේතු නොවනබව ය යන නිගමනයට ද මන්ත්‍රීවරයා එහිදී එළැඹියේ ය.
ඉවුම්පිහුම් ආදී කටයුතු සඳහා දර පිළිස්සීමෙන් ශ්වසන ආබාධ ඇතුළු දරුණු සෞඛ්‍යමය ප්‍රතිවිපාක ඇතිවනබව වෛද්‍යවිද්‍යාත්මක පර්යේෂණයන් මඟින් අනාවරණය වී ඇති කරුණකි.
එනමුත්, අසත්‍ය කරුණු හා නිගමනයන් ද ඇතුළත් මන්ත්‍රීවරයාගේ කතාව හරහා, සෞඛ්‍යයට අහිතකර එම පිළිවෙත ධෛර්යයමත් කෙරෙන්නේ ය යන චෝදනාව ඉදිරිපත්ව ඇති හෙයින්, මන්ත්‍රී වීරසේකර ප්‍රකාශ කළ ඇතැම් කරුණුවල සත්‍යාසත්‍යභාවය විමසන්නට අපි තීරණය කළෙමු.
"සහසම්බන්ධයක් යනු [හැමවිටම] හේතු-ඵල සම්බන්ධයක් නොවේ"
මේ, සංඛ්‍යානය පුහුණුකරනා ඕනෑම ශාස්ත්‍රඥයෙකු මන්ත්‍රයක් මෙන් සිහිතබාගන්නා වැකියකි.
'සහසම්බන්ධතාව' යනු, විචල්‍ය යුගලයක් රේඛීය ලෙස කෙතරම් ප්‍රබලව සම්බන්ධවී තිබේ ද, එක්ව වෙනස් වන්නේ ද යන්න අපට පවසන සංඛ්‍යානමය විධික්‍රමයකි. එය එක් සාධකයක වෙනසක් සිදුවන විට ඒහාම තවත් සාධකයක සිදුවන සාපේක්ෂ වෙනස විස්තර කරන්නකි. සම්බන්ධතාවක් ඇතිව තිබෙන්නේ මන්ද, එය සිදුවන්නේ කෙසේ ද යන්න අපට නොකියන එය, සම්බන්ධතාවක් පවතිනබව පමණක් පෙන්වා දෙයි.
කෙසේ නමුත්, යම් සාධකයන් දෙකක් අතර සහසම්බන්ධයක් තිබෙන නිසාවෙන්ම ඒ අතර හේතු-ඵල සම්බන්ධයක් ඇතැ යි අදහස් නොවේ.
එය අපි උදාහරණයක් මඟින් මෙසේ පැහැදිලි කරමු.
දෙවන ලෝක යුද්ධයෙන් පසු, ජර්මනියේ කොක් ගහණය පහත වැටුණි. මේ සමග එහි මිනිස් උපත් අනුපාතය ද අඩුවී ගියේ ය.
ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් තමා පැමිණියේ කොහි සිටදැ යි අසන විට "පුතා රෝස කැලෙන් ගෙනාවා"යි සාමාන්‍ය වශයෙන් බොහෝ දෙමාපියන් පවසන පරිදිම, ඒ දිනවල යුරෝපයේ දරුවන්ට කියාදුන්නේ කොකෙකු ඔවුන් ගෙනැවිත් මාපිය යුවළ වෙත ලබාදුන්බවකි.
ඉතින් කොකුන් ගහණය පහළ වැටීමත් සමගම ජර්මනියේ උපත් අනුපාතය ද පහළ වැටුණේ, කුඩා දරුවන් දෙමාපියන් වෙත ගෙන ගොස් භාරදීම අඩාලවූ නිසාවීමට නොහැකි ද?
මෙහිදී සැබෑවටම සිදුවූ දෙය නම්, යුද්ධයෙන් පසු වැඩි වැඩියෙන් නිවාස ඉදිවීම නිසා කොකුන්ගේ වාසස්ථාන විනාශ වී, ඔවුන්ගේ බෝවීම අඩුවීම ය. මෙසේ ඉදිකළ නිවෙස් ද ප්‍රමාණයෙන් කුඩාවූ හෙයින් විශාල පවුලක් ඇතිදැඩි කෙරුමට ඒවායේ ඉඩකඩක් නොවීය. එනිසා ජර්මානුවන්ගේ උපත් අනුපාතය ද පහත වැටුණි.
සාධකයන් දෙකක් අතර ඉතා සමීප සහසම්බන්ධයක් පැවතීම සඳහා සෘජු හේතු-ඵල සම්බන්ධයක් පැවැතීම අවශ්‍ය නැතැ යි මෙම සංසිද්ධිය අපට පෙන්වා දෙයි.
පිසීම සඳහා බහුතරයක් දෙනා දර පරිහරණය කරනා ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ උපරිම ආයු අපේක්ෂාව දියුණු රටක ආයු අපේක්ෂාවට ආසන්නව ඉහළ අගයක් හෙයින්, දර භාවිතය රටේ සංවර්ධනයට දායක වන්නේ ය යනුවෙන් මන්ත්‍රී සරත් වීරසේකර ඉදිරිපත් කළ නිගමනය ද මෙවන් ආකාරයේ සහසම්බන්ධයක් ඇතත්, හේතු-ඵල සම්බන්ධයක් නොමැති කාරණාවකි.
ඇත්තෙන්ම, එම නිගමනය සහ එයට එළැඹීම සඳහා සිදුකළ ඇතැම් උපකල්පනයන් පවා අසත්‍යබව සැබෑලොව දත්ත මඟින් පෙන්වා දෙයි.
අපි ඒවා එකින් එක සලකා බලමු.
දර භාවිතය රටේ සංවර්ධනයට හේතුවන්නේ ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන දත්තවලට අනුව යම් රටක සංවර්ධන මට්ටම ඉහළ යනවිට, එහි ජනයා ගෘහස්ථ කටයුතු සඳහා වඩාත් දියුණු හා පිරිසිදු ඉන්ධන ප්‍රභවයන් වෙත යොමුවෙයි.
ඉතා අඩු ආදායම් ලබන රටවල ජනයා ගෘහස්ථ ඉන්ධන ප්‍රභවයන් ලෙස වියැළූ ගොම, පිදුරු, දර, හා අඟුරු වැඩි වශයෙන් භාවිතා කරන විට, ඉහළ ආදායම් ලබන රටවල ජනයා එතනෝල්, පෙට්‍රෝලියම් ඉන්ධන හා ගෑස්, ස්වභාවික වායු, හා විදුලි බලය භාවිතා කරනබව දත්ත මඟින් පෙන්වා දෙයි.
2016 වසරේ ලෝක දත්තයන්ට අනුව, බිලියන තුනක ජනතාවක් (ලෝක ජනගහණයෙන් 41%ක්) සිය ඉවුම්පිහුම් කටයුතු සඳහා පෙරකී ජෛවස්කන්ධ බලශක්ති ප්‍රභවයන් (ගොම, දර, පිදුරු, අඟුරු) මත යැපෙයි.
ඉවුම්පිහුම් කටයුතු සඳහා පිරිසිදු බලශක්ති ප්‍රභවයක් භාවිතා කිරීමේ හැකියාව ඇත්තේ ලෝක ජනගහණයෙන් 59%ක පිරිසකට පමණි.
ශ්‍රී ලංකාව ගත්කල මෙම අගය 30%කට ආසන්න වෙයි. එවසරේ 20%ත් 30%ත් අතර ජනතාවකට පමණක් පිරිසිදු බලශක්ති ප්‍රභවයක් සඳහා ප්‍රවේශය ඇති අනෙකුත් රටවල් ලෙස නේපාලය, සිම්බාබ්වේ, කොංගෝ, කැමරූන්, හා ඝානාව දැක්විය හැකි ය.
ස්වීඩනය, නොර්වේ, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජපානය ආදී සංවර්ධිත රටවල ජනගහණයෙන් 100%ක්ම හෝ ආසන්න පිරිසක් මුළුමනින්ම පාහේ පිරිසිදු බලශක්ති ප්‍රභවයන් මත යැපෙයි.
සමාජ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ දර භාවිත කිරීම සංවර්ධනයේ මිනුම් දණ්ඩක් ලෙස නොගැනෙන බවයි.
දර භාවිතාව මඟින් ආයු අපේක්ෂාව ඉහළ දමන්නේ ද?
අප ඉහත සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවට සමාන ජනගහණ ප්‍රතිශතයකට පමණක් පිරිසිදු ඉන්ධන ප්‍රභව සඳහා ප්‍රවේශය ඇති රටවල් කීපයේ ආයු අපේක්ෂාව පහත පරිදි වේ:
නේපාලය - අවු. 70.8
සිම්බාබ්වේ - අවු. 61.5
කොංගෝ - අවු. 64.6
කැමරූන් - අවු. 59.3
ඝානාව - අවු. 61
මීට ප්‍රතිවිරුද්ධව, නවීන, පිරිසිදු බලශක්ති ඉන්ධන භාවිතා කරන ස්වීඩනය, නොර්වේ, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, හා ජපානයේ ආයු අපේක්ෂාව පිළිවෙලින් අවු. 82.8, 82.4, 82.4, 81.3, සහ 84.6කි.
ලාංකිකයෙකුගේ උපතේ දී ආයු අපේක්ෂාවේ සාමාන්‍යය අවු. 76.98කි. මෙය කාන්තාවකගේ නම් අවු. 80ක්බව ලෝක බැංකු දත්තයන් අපට පෙන්වයි.
උපතේ දී ආයු අපේක්ෂාව අතින් ගත්කල ලොව රටවල් 183ක් අතරින් ශ්‍රී ලංකාව 54 වන ස්ථානයේ පසුවෙයි. සමාන ආදායම් මට්ටමේ පසුවන රටවල් අතරින් ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව සාපේක්ෂව ඉහළවීමට හේතුව වන්නේ වර්ෂ 1989 දී රට තුළ ස්ථාපනය කෙරුණු ඉතා සංවිධානාත්මක නිදහස් සෞඛ්‍ය සේවය යි.
එසේම, සෞඛ්‍ය සේවය සඳහා දකුණු ආසියාව තුළ දෙවැනියට වැඩිම මුදලක් වෙන්කරන රට ද ශ්‍රී ලංකාව වන අතර, දකුණු ආසියාව තුළ දෙවැනියට ඉහළම ආයු අපේක්ෂාව සතු රට වන්නේ ද ශ්‍රී ලංකාව යි.
සෞඛ්‍ය සේවය සඳහා ඉහළම මුදලක් වෙන්කරන දකුණු ආසියාතික රට වන මාලදිවයින් ඉහළම ආයු අපේක්ෂාවට ද හිමිකම් කියන අතර, අඩුම මුදලක් වෙන්කරන ඇෆ්ගනිස්ථානය අඩුම ආයු අපේක්ෂාවට හිමිකම් කියයි.
මෙනිසා, උපතේ දී ආයු අපේක්ෂාව ඉහළ අගයක් ගන්නා ශ්‍රී ලංකාවේ ජනයාගෙන් අඩකටත් වැඩි පිරිසක් දර භාවිතා කරන්නන්වීම හේතුවෙන් දර භාවිතාව රටේ සංවර්ධනයට උපකාරී වන්නේ ය යන්න පෙරකී අන්දමේ සහසම්බන්ධයක් ඇතත්, හේතු-ඵල සම්බන්ධයක් නොමැති නිරීක්ෂණයක් ලෙස විශේෂඥයින් පෙන්වාදෙයි. ශ්‍රී ලංකාවේ උපතේ දී ආයු අපේක්ෂාව සාපේක්ෂව ඉහළ වන්නේ බහුතර ජනයා දර භාවිතා කරන රටක් හෝ සංවර්ධිත රටක් නිසා නොවේයැයි විශේෂඥයින් පවසයි.
"ග්‍රාමීය කාන්තාවන් අතර පෙනහැලි ආශ්‍රිත රෝගවලට මූලිකම හේතුවක්"
දරලිප සහ එයින් සෞඛ්‍යයට ඇතිකෙරෙන බලපෑම තවදුරටත් පහදාගැනීම සඳහා අපි මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර හා සම්බන්ධ වීමු.
ග්‍රාමීය කාන්තාවන් අතර පෙනහැලි ආශ්‍රිත රෝගවලට මූලිකම හේතුව දරලිප භාවිතාවබව ඔහු අප හට පැහැදිලිකර දුන්නේ ය.
"ඇත්තම කියනවා නම් ග්‍රාමීය පරිසරේ ඉන්න කාන්තාවන්ගේ, විශේෂයෙන්ම පෙනහැලි ආශ්‍රිත රෝගවලට, මූලිකම හේතුව දරලිප පාවිච්චි වීම. මොකද දැන් අපේ ගමේ කාන්තාවෝ දුම් පානය කරන්නේ නෑ, සිගරට් බොන්නේ නෑ, බීඩි බොන්නේ නෑ - සහ වෙනත් දේවල් පාවිච්චි කරන්නේ නෑ. දුම් පානය කරන්නේ නැති නිසා, එයාලගේ පෙනහැලි ආශ්‍රිත රෝගවලට මූලිකවම හේතුව දරලිප සහ දරලිපෙන් පිටවන මේ අහිතකර වායූන් සහ පොඩි අංශු," ඔහු ප්‍රකාශ කළේ ය.
එනිසා, දරලිප භාවිතා කළ යුත්තේ ගෙතුළ දී නොව ගෙයින් පිටත දී බැව් ඔහුගේ අදහස යි.
"දරලිප තිබුණේ කොහෙද ඉස්සර ගෙදරක? දරලිප තිබුණේ ප්‍රධාන ගෙදරින් එළියේ. කුස්සිය තිබුණේ ගෙයින් එළියේ. බාගෙට හදපු බිත්ති තිබුණේ. ඒ කියන්නේ, වාතය සංසරණය වීම සඳහා තමයි සෑම ගමකම ගෙදරක කුස්සිය තිබුණේ එළියේ - සහ දරලිප තියෙන්නේ ගොඩක් උඩින්. අපේ ඇඟේ බාගෙකට වඩා උසින්. එතකොට ඒකෙන් එළියට යන්න තියෙන හුළං ප්‍රාමාණය වැඩියි බිම [මට්ටමේ රැඳිලා] තියෙනවට වඩා.
වර්තමානයේ නිවෙස්වලින් වැඩි ප්‍රමාණයක, ඉඩකඩ සහ වෙනත් ප්‍රයෝගික හේතූන් මත දරලිප තබා තිබෙන්නේ නිවස තුළ ය. මෙනිසා දරලිපෙන් සිදුවන සෞඛ්‍ය හානි අවමකර ගැනීම සඳහා ප්‍රයෝගිකව, විශේෂ පියවර පිළිපැදීමට අපට සිදුවේ.
දරලිප භාවිතා කිරීමේදී,
- දරලිප නිවසට පිටතින් පිහිටුවන්න
- සුළඟේ දිශාව බලා, සුළඟට දුම ගසාගෙන යනු ඇති අයුරින් පිහිටුවන්න
- ලිප භාවිතා කරන වේලාව ඉතා අඩු කාලයකට සීමා කරන්න
- අඩුම දුම් ප්‍රමාණයක් පිටතට පැමිණෙන ලෙස දරලිප සාදාගන්න
- දරලිප භාවිතාකර අවසන් වූ වහාම එය නිවා දමන්න. නැතහොත් ඉන් පිටවන ධූමය පැය ගණනාවක් පුරා සංසරණය වේ
- දරලිප භාවිතා කරනා වාර ගණන අවම කරන්න
- ෂොපින් බෑග්, ප්ලාස්ටික්, භූමිතෙල්, ගොම ආදිය ඉන්ධනයක් ලෙස හෝ පිළිස්සීම සඳහා ලිපට දැමීමෙන් වළකින්න
ගෘහස්ථ වායූ දූෂණය හා අකල් මරණ
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට, නිවෙස් තුළ සිදුවන වායු දූෂණය යනු අකල් මරණවලට ප්‍රධානතම හේතුවකි.
ආහාර පිසීම පිණිස යොදාගන්නා ජෛවස්කන්ධ ඉන්ධනයන් (දර, පොල්කටු, පොල්ලෙලි ආදිය) මෙන්ම, භූමිතෙල් සහ ගල් අඟුරු ආදිය ද නිවෙස් තුළ වායු දූෂණය සඳහා ඉතා බරපතල මට්ටමකින් දායක වේ.
එක් දර ලිපක් දැල්වීමෙන් හටගන්නා දුම, දුම්වැටි 75 - 150ත් අතර ප්‍රමාණයකින් නිකුත් වන දුමට සමානබව, වරක් විශේෂඥ වෛද්‍ය දුෂාන්ත මැදගෙදර BBCය හා කියා සිටියේ ය.
ලෝක දත්තවලට අනුව, ඉහළ ආදායමක් ලබන රටවලින් වාර්තා වන ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 100,000කට 0.1කටත් වඩා අඩු ය. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඉවුම්පිහුම් කටයුතු සඳහා වැඩි වශයෙන් දර, පිදුරු ආදී "අපිරිසිදු" ඉන්ධන භාවිතා කරනා අඩු ආදායම්ලාභී රටවලිනි.
ගෘහස්ථ වායු දූෂණයට සෘජුවම සම්බන්ධ රෝගාබාධ වැළඳීමෙන් වසරක දී මියැදෙන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන හතරක් පමණ වන බවට දත්ත පෙන්නුම්කරයි.
නමුත් ඉතාමත් භයංකර කාරණාව වන්නේ එය නොවේ; ගෘහස්ථ වායු දූෂණය පාදකකරගත් මරණ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටීම යි!
ශ්‍රී ලංකාවේ ජනගහණය සමස්ත ලෝක ජනගහණයෙන් 0.3%කටත් අඩු ය. නමුත් 2019 වන විට ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් ලොව පුරා සිදුවන මුළු මරණ සංඛ්‍යාවෙන් 5%ක් පමණම වාර්තාවී ඇත්තේ ශ්‍රී ලංකාවෙනි.
2019 වන විට, ශ්‍රී ලංකාවේ සෑම මරණ 100,000කින් 30කට පාදකවී ඇත්තේ ගෘහස්ථ වායු දූෂණය යි.
ගෘහස්ථ වායු දූෂණය,
- අවුරුදු පහට අඩු දරුවන්ගේ නියුමෝනියා මරණ අවදානම දෙගුණ කරයි. එසේම, එම වයස් කාණ්ඩයේ ළමා නියුමෝනියා මරණ අඩකට පමණ (46%) හේතුවෙයි.
- වැඩිහිටි නියුමෝනියා මරණ 1/3කට පමණ (28%) හේතුවෙයි.
- පහළ සහ මධ්‍ය ආදායම් ලබන රටවල COPD නම් පෙනහැලි රෝගය නිසා සිදුවන මරණවලින් 1/4කට හේතුවෙයි.
- දුම් පානය හේතුවෙන් COPD වැළඳීමේ අවදානමට ලක්ව සිටින්නන්ගේ එම අවදානම දෙගුණ කරයි.
- ලෝකයේ සමස්ත ආඝාත මරණවලින් 12%කට හේතුවෙයි.
- ලෝකයේ සමස්ත හෘදයාබාධ මරණවලින් 11%කට හේතුවෙයි.
- ලෝකයේ සමස්ත පෙනහැලි පිළිකා මරණවලින් 17%කට හේතුවෙයි.
- අඩු බර දරු උපත්, ක්ෂය රෝගය, ඇසේ සුද, නාසය සහ උගුර ආශ්‍රිත ඇතැම් පිළිකාවලට බලපානබවට විද්‍යාත්මක සාක්ෂි තිබේ.
මෙනිසා, ඉවුම්පිහුම් සඳහා දර භාවිතාවත්, ආයු අපේක්ෂාව ඉහළයෑමත් අතර ඇත්තේ ධනාත්මක සහසම්බන්ධයක් නොව, සෘණාත්මක සහසම්බන්ධයකි.