සරත් වීරසේකරගේ පෙත්සම විභාගයට නොගෙනම බැහැර කෙරෙයි

වත්මන් ශ්‍රී ලංකා රජය ජාතික ආණ්ඩුවක් නොවන බව ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා සිටිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ 'පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අධිකරණයට බලයක් නොමැති' බවයි.

පෙත්සම්කරුවන් කියා සිටියේ 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් වශයෙන් පිළිගත හැකි වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු පක්ෂවලින් සමන්විත රජයක්' වන බවයි.

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක් වීමෙන් පිහිටුවන ලද ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් ලෙස ප්‍රකාශ කල නොහැකි වන බව' තීන්දු කරන ලෙසයි පෙත්සම් කරුවන් ඉල්ලා තිබුණේ.

අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පෙත්සම මගින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි

එම වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පෙන්වා දුන්නේ 'වත්මන් ජාතික ආණ්ඩුව ස්ථාපිත කර තිබෙන්නේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද යෝජනාවක් අනුව' බවයි.

පාර්ලිමේන්තුව තුළ සම්මත කෙරුණ යෝජනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් අධිකරණයට නොමැති බව කියා සිටි වග උත්තර පාර්ශවයේ නීතිවේදීහු පෙත්සම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා සිටියහ.

අගවිනිසුරු කේ.ශ්‍රීපවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ 'පාර්ලිමේන්තු වරප්‍රසාද හා හිමිකම් පනත යටතේ පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති' බවයි.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බවයි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කලේ.