ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙලා ද, නැතිනම් අස්වෙයි ද?
මේ වන විට රටේ විවිධ දෙනා තුළ මතුව ඇති ප්‍රශ්නයක් වන්නේ මහින්ද රාජපක්ෂ අගමැති තනතුරින් ඉල්ලා අස්වී ඇති ද, ඔහු අස්වී හමුදා පාලනයක් ඇතිකිරීමට යන්නේ ද යන්න යි. ඒ, සමාජ මාධ්‍යයන්හි එවැනි ප්‍රවෘත්ති මේ වන විට පළවන බැවිනි.
2018 දෙසැම්බර් මාසයේ දී නාමල් රාජපක්ෂගේ ට්විටර් පණිවුඩයක් මුල්කරගෙන එවකට සිරස රූපවාහිනිය විකාශය කළ උණුසුම් පුවතක් නැවතත් සංසරණය වන්නේ අගමැතිවරයා ඉල්ලා අස්වන බව පවසමිනි.
එහෙත් සැබැවින්ම අගමැති මහින්ද රාජපක්ෂ තම තනතුරින් ඉල්ලා අස්වූවා ද, නැතිනම් ඉල්ලා අස්වීමට යනවා ද යන්න බීබීසී සිංහල සේවය අගමැති කාර්යයාලයේ ඉහළ නිලධාරියකුගෙන් කළ විමසිමකදී ඔහු පැවසුවේ එම කටකතාවේ සත්‍යතාවක් නොමැති බව යි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත්වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද (ජනවාරි 3) දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැත. රටේ ජන ජනතාව නොමඟ යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරමි."
අප කළ විමර්ශනයේ දී හෙළිවූයේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා නොව සුඩානයේ අගමැතිවරයා තම තනතුරින් ඉල්ලා අස්වීම නිසා හමුදා කුමන්ත්‍රණයේ නායකයාට එරට බලය හිමිවූ බව යි.
මේ එම පුවත යි:
සුඩානයේ කාර්තුම් අගනුවර මහජන විරෝධතා අඛණ්ඩව පැවතෙද්දී, එරට අගමැති අබ්දල්ලා හම්ඩොක් ඉල්ලා අස්වී ඇත.
ඔක්තෝම්බර් මාසයේ දී කුමන්ත්‍රණයකින් බලයට පැමිණි හමුදාව සමග බලය බෙදාගෙන පාලනය කිරීම සඳහා මෑතක දී අගමැතිවරයා හමුදාව සමග කළ ගනුදෙනුවට එරෙහිව එරට දහස් ගණනක් වූ ජනතාව පෙළපාලි ගොස් විරෝධතා පැවැත්වීය.
"ජනතාවට බලය" යනුවෙන් හඬ නගමින් විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ නැවතත් පූර්ණ සිවිල් පාලනයක් ඇති කරන ලෙස යි. එහෙත් හමුදාව තවත් ප්‍රචණ්ඩකාරී මර්දනයක් දියත් කළ අතර, දෙදෙනෙකු එයින් මිය ගියේ ය.
හම්ඩොක් ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් හමුදාවට සම්පූර්ණ පාලනය ලැබෙයි.
2019 දී සුඩානයේ දිගුකාලීන අධිකාරීවාදී ජනාධිපති ඕමාර් අල්-බෂීර් බලයෙන් පහ කිරීමට තුඩුදුන් මහජන කැරැල්ලකින් පසු, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට සංක්‍රමණය වීමට සුඩානය ගත් දුර්වල උත්සාහයන්ට මෙය තවත් පහරකි.
රූපවාහිනිය හරහා ජනතාව අමතමින් හම්ඩොක් කියා සිටියේ, සුඩානය එහි "උන්නතියට තර්ජනයක් වන භයානක සන්ධිස්ථානයක" සිටින බව යි.
රට "ව්‍යසනයකට ලිස්සා යාම" නැවැත්වීමට තමා උපරිම උත්සාහයක් ගත් නමුත්, "එකඟතාවකට පැමිණීම සඳහා අවශ්‍ය සියල්ල සිදුකර ඇතත්, එය සිදු නොවූ" බවත් ඔහු පැවසීය.
ඔක්තෝබර් 25 දා හමුදා විසින් කුමන්ත්‍රණයක් දියත්වී අගමැති හැම්ඩොක් නිවාස අඩස්සියේ තැබීමෙන් පසු, සිවිල් සහ හමුදා නායකයින් තමා අතරේ බලය බෙදා ගැනීමේ අස්ථිර ගිවිසුමක් ඇතිකර ගෙන තිබුණි.
නොවැම්බරයේ දී හැම්ඩොක් හමුදාව සමග ඇතිකර ගත් එකඟතාවයට අනුව ඔහු නැවත අගමැතිවරයා ලෙස පත් කරන ලද අතර, මැතිවරණය පැවැත්වෙන තෙක් ඔහු තාක්ෂණවේදීන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයකට නායකත්වය දීමට නියමිතව තිබුණි. එහෙත් නව සිවිල් රජයට කොපමණ බලයක් හිමිවේ ද යන්න අපැහැදිලි වූ අතර, විරෝධතාකරුවන් කියා සිටියේ තමන් හමුදාව විශ්වාස නොකරනබව යි.
ඉරිදා, දහස් ගණන් ජනතාව කාර්තුම් අගනුවර සහ ඔම්දුර්මන් නගරයේ වීදිවල විරෝධතාවයේ යෙදී සිටි අතර, දේශපාලනයට අත පෙවීමෙන් වළකින්නැ යි හමුදාවට ප්‍රකාශ කළහ.
ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය පෝස්ටු හරහා පවසන්නේ, 2022 වසර "ප්‍රතිරෝධය අඛණ්ඩව පවතින වසර" වනු ඇති බව යි.
ප්‍රජාතන්ත්‍රවාදී සුඩාන මධ්‍යම වෛද්‍ය කමිටුවට පවසන පරිදි, හමුදා කුමන්ත්‍රණයෙන් පසු පැවැති විරෝධතාවල දී පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, පසුගිය ඉරිදාවේ දී අවම වශයෙන් දෙදෙනෙකු මරණයට පත්විය.
හමුදා කුමන්ත්‍රණයේ නායක ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී සිදුවූ කුමන්ත්‍රණය සාධාරණිකරණය කරමින් කියා සිටියේ, හමුදාව එසේ ක්‍රියා කළේ ඇතිවීමට ඉඩ තිබූ සිවිල් යුද්ධයක් වැලැක්වීමට බව යි. 2023 ජූලි මස පැවැත්වීමට සැලසුම්කර ඇති මැතිවරණ සමග සුඩානය සිවිල් පාලනයට සංක්‍රමණය වීමට තවමත් කැපවී සිටින බව ඔහු පවසයි.
බීබීසී නිවුස්හි එමෑනුවෙල් ඉගුන්සාගේ විශ්ලේෂණය:
ජනවාරි 1 දා සුඩානය නිදහස් දිනය සලකුණු කරන නමුත්, මේ මොහොතේ රට තුළ සැමරුම් සඳහා වාතාවරණයක් ඉතිරිව නැත.
හම්ඩොක් සමග ඇතිකර ගන්නා ගිවිසුමක් මඟින් තමා බලයේ රැඳී සිටීම නීත්‍යානුකූල වනු ඇතැ යි ද, විරෝධතාකරුවන් එයින් සැනසෙනු ඇතැ යි ද සිතූ හමුදා නායකයින්ට අගමැති අබ්දල්ලා හම්ඩොක්ගේ ඉල්ලා අස්වීම විශාල පහරකි.
පැහැදිලිවම ඔවුන්ගේ අනුමානයන් වැරදි ය. නමුත් එයින් අදහස් වන්නේ, රට නැවතත් සිවිල් පාලනයකට ගෙනයෑමට ගත් උත්සාහයන් ආපස්සට ගොස්, හමුදාව දැන් ස්ථිරවම බලයේ සිටිනා බව යි.
වත්මන් දේශපාලන අර්බුදය නිසාවෙන්, සුඩානයේ ජනපතිව හිඳ නෙරපා හරිනු ලැබූ නායක ඕමාර් අල්-බෂීර්ගේ ඒකාධිපති පාලනය වෙත ආපසු යනු ඇතිබවට තර්ජනයක් මතුව තිබේ.
සිවිල් පාලනයක් නැවත ලබාගැනීමට බාධා කරනවුන්ට එරෙහි සම්බාධක පනවන බව එක්සත් ජනපදය රටවල් විසින් දැනටමත් ඉඟිකර ඇති අතර, සුඩානය "කොන් කළ" රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක් ද ඇත.
සුඩානයේ ආර්ථික අර්බුදයන් සැලකිල්ලට ගත්විට, එවැන්නක් මඟින් සුඩාන ජනතාවගේ ජීවිතවලට දේශපාලන අර්බුදයට වඩා නරක බලපෑමක් ඇති කෙරෙනු ඇත.