ලා පැල්මාහි ගිනි කන්ද: ලාවා මුහුදට වැටුණු පසු සිදුවන්නේ කුමක් ද?

උණු වූ පාෂාණවලින් සෑදුණු රතු පැහැති ගංගාව (ලාවා) ජලයට වැටීමට පෙර කුඩා ඩෙල්ටාවක් සාදයි (ඩෙල්ටා යනු ගංගාවක් ගලා බසින ගඟක මුඛයේ හෝ වෙනත් ජල මූලාශ්‍රයක් අසල ඇති ත්‍රිකෝණාකාර හැඩයේ තැනිතලාවක් හෝ පහත් වගුරු බිම් වේ).

ලාවා ගඟ මුහුදට එකතුවන ස්ථානයෙන් විෂ වායූන් පිට වීමට පටන් ගැනීමත් සමග මීටර් 250ක් පමණ ඈතට ගල් විසි වීම ද සිදු වේ.

ලාවා මුහුදු ජලයට ගලා යන විට එය මවන්නේ විස්මිත දර්ශනයකි. නමුත් විෂ වායු, රත් වූ ජලය සහ අති විශාල පාෂාණ නිසා මෙය අවට සිටින ජීවීන්ට මාරාන්තික වනු ඇත.

මෙහි දී හරියටම සිදුවන්නේ කුමක්ද?

හානිකර වායූන්

සාගරයට වැටෙන ලාවා මඟින් සුවිශේෂී උපද්‍රව ගණනාවක් නිර්මාණය වන අතර, මේ බව නොදැන ඒ ආසන්නයේ ජලයේ බැස සිටින පුද්ගලයන් බරපතල ලෙස තුවාල ලැබීමට හෝ මිය යා හැකි බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (යූඑස්ජීඑස්) පවසයි.

උණු වූ පාෂාණ සහ සීතල ජලය මුසුවීමත් සමග "ලේස් (laze)" නම් වූ විෂ සහිත භයානක මීදුමක් ජනනය වේ.

"පාෂාණ උණු වී මුහුදට මුසු වූ විට, ලවන ජලය විශාල ප්‍රමාණයක් වාෂ්ප වෙනවා. එයින් වාෂ්ප තීරු කීපයක් සෑදෙනවා."

"මෙසේ සිදුවන්නේ උෂ්ණත්ව වල ඇති විශාල වෙනස නිසයි. ලාවාවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 900 ට වඩා වැඩි අතර ජලයේ උෂ්ණත්වය වන්නේ සෙල්සියස් අංශක 23 ක් පමණයි, " ලාස් පැල්මාස් ඩි ග්‍රාන් කැනරියා විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝස් මැංගස් පැවසීය.

"ජලයේ ක්ලෝරයිඩ්, සල්ෆේට්, කාබනේට්, ෆ්ලෝරයිඩ් සහ අයඩීන් ඇතුළු තවත් සංඝටක අඩංගු නිසා විෂ වායූන් ද ඉක්මනින් සෑදි ඒවා වර්ධනය වෙනවා" යනුවෙන් ජෝස් මැංගාස් බීබීසි සේවයට පැවසීය.

මෙම වායූන් සම, ඇස් සහ ශ්වසන පද්ධතියට බලපෑම් එල්ල කළ හැකිය. හවායි ගිනිකඳු ආසන්නයේ පිහිටි සාගර ප්‍රදේශයේ මෙවැනි තත්ත්වයක් සිදුවන බව නොදැන සිටි සංචාරකයන් කීපදෙනෙක් විෂ වායූන් ආශ්වාස කිරීමෙන් මියගිය බව ජෝස් මැංගාස් උදාහරණයක් වශයෙන් පැවසීය.

මෙම වායූන්වලින් අවට ප්‍රදේශවල දුර්ගන්ධයක් ද පැතිර යන නමුත්, සතුටට කරුණ නම් අවසානයේ එය සෙමින් ඉවත් වී යාමය.

පියාසර කරන ගල් හා පිපිරීම්

මුහුදු දෙසට ලාවා ගලාවිත් එකතු වීමත සමඟ අස්ථායී පොකුණක් සෑදීම නිසා තවත් උපද්‍රව ගණනාවක් ඇති වේ.

ජලය සමඟ සම්බන්ධ වීමෙන් ලාවා වේගයෙන් සිසිල් වන විට ඩෙල්ටාව කැඩී බිඳී ගොස් සමහර විට පිපිරීම් සිදු වී ලාවා සහ පාෂාණ කැබලි ගොඩබිම හෝ මුහුද දෙසට විසි වේ.

එවන් ඩෙල්ටාවක් කඩාවැටෙන කාලය හෝ ප්‍රමාණය ගැන විද්‍යාඥයන්ට අනාවැකි කිව නොහැක.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මිනිසුන් බෝට්ටුවල සිටියත් ලාවා සාගරයට මුසු වන ස්ථානයට අවම වශයෙන් මීටර් 300ක් ඈතින් සිටිය යුතු බවය.

පාෂාණ තුළ සිරවී ඇති විෂ වායූන් පිටතට පැමිණීම ද ඩෙල්ටාව කඩා වැටෙන විට විය හැකි බව ජාතික භූගෝලීය ආයතනයේ සහ යුනිවර්සිඩාඩ් කොම්ප්ලූටෙන්ස් ඩි මැඩ්රිඩ්හි මහාචාර්යවරයෙකු වන හෙක්ටර් ලැමෝල්ඩා ඕර්ඩීනෙස් පැවසීය.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, ලාවා ඩෙල්ටාව සාමාන්‍යය ඇසට සවිමත් ලෙස පෙනුනත් ඒවා අතිශය බිඳෙන සුළුය.

ඩෙල්ටාවක් කඩා වැටීමෙන් පසු 1993 දී හවායිහි ඡායාරූප ශිල්පියෙකු මුහුදට ගසාගෙන ගිය අතර ඔහුව නැවත කිසි දිනෙක හමු නොවීය.

උණු වූ පාෂාණ විසිවීමෙන් සහ සුන්බුන්වලින් බේරීමට පලා යන විටත් තවත් පුද්ගලයින් ගණනාවක් තුවාල ලැබූහ.

2018 දී හවායි හිදී 'ලාවා බෝම්බයක්' ලෙස හඳුන්වන බේස්බෝලයක ප්‍රමාණයේ පාෂාණ කැබැල්ලක්, සංචාරක බෝට්ටුවක වහලය හරහා කඩා වැටීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලැබූහ.

මේ තොරතුරු ද කියවන්න:

දැවෙන රළ

ලාවාවලින් සැදුණු ඩෙල්ටාවේ මතුපිට හරහා ගලා යන ජලයෙන් සෑදෙන දැඩි ලෙස රත් වූ රළ ද අනතුරුදායකය.

එවැනි ප්‍රදේශයක සිටගෙන සිටි පුද්ගලයින් ජලය සහ ඒත් සමඟ පැමිණෙන වාෂ්ප නිසා පිළිස්සුම් තුවාල ලබා ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

ඩෙල්ටාවක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයේ මුහුදු රළ ජනනය විය හැකි අතර එමඟින් බෝට්ටු අනතුරට පත් විය හැකිය.

'යුධ පිටියක්'

කැනරි දූපතක් වන ලා පැල්මාහි ගිනි කන්ද සැප්තැම්බර් 19 වෙනිදා පුපුරා ගියේය. මේ වන විට පුද්ගලයන් 6,000ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර, නිවාස සිය ගණනක් ලාවා මගින් විනාශ වී තිබේ.

මුහුදු ජලයට ලාවා ගලා යාම ප්‍රචණ්ඩකාරී ස්වාභාවික ක්‍රියාවලියක් බවට පත් වේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව හවායි ආසන්නයේ සිදුවන මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ "යුධ පිටියක්" ලෙසය.

හවායි ජනතාවගේ මතය වන්නේ එය ගිනිකදු දෙවිවරුන් සහ මුහුද අතර සිදුවන ගැටුමක් ලෙසය.