සාගර පතුලේ යමහලක්: පැසිෆික් සාගරය මතුපිට ඇති වූ 'ගොඩබිම'

පැසිෆික් සාගරයේ, වර්ග කිලෝමීටර් 150ක් පමණ විශාල ප්‍රදේශයක යමහලක (ගිනි කන්ද) කැබලි පාවෙමින් පවතින බව විද්‍යාඥයින් පිරිසක් පවසති.

පාපන්දු ක්‍රීඩාංගණ 20000ක පමණ විශාලත්වයෙන් යුත් එම සාගර ප්‍රදේශයේ ඇති එම පාෂාණ කැබලි පිළිබදව මේ මස මුලදී පළමුවෙන් වාර්තා කරන ලද්දේ, ඔස්ට්‍රේලියානු නාවික යුවළක් විසිනි.

චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන පරිදි අගෝස්තු 7 වැනිදාට ආසන්න දිනකදී විදාරණය වූ ටොංගා දේශයට ආසන්න සාගර අභ්‍යන්තරයේ පිහිටි යමහලක කොටස් මෙසේ පාවෙමින් ඇති බවට විශ්වාස කෙරේ.

එම ප්‍රදේශයේ ඇති විය හැකි උපද්‍රවවලින් ආරක්ෂා වී සිටින ලෙස නාවිකයින්ට උපදෙස් දී තිබේ.

අදාළ යමහල් පාෂාණ කැබලි (Pumice) සිදුරු සහිත ජලයේ පාවෙන සැහැල්ලු ද්‍රව්‍යයකි. ඒවා සැකසෙනුයේ, ශීඝ්‍රයෙන් සිසිල් වන පරිසරයක ලාවා ගලා ඒමේදීය.

විශේෂඥයින් පවසන්නේ, නොගැඹුරු ජලයේ යමහලක් පිහිටන අවස්ථාවලදී ඒවායේ කැබලි විශාල ලෙස එකතුවන බවය.

ඔස්ට්‍රේලියාවේ සිට ෆීජි දක්වා සිය යාත්‍රා කරමින් සිටි ඔස්ට්‍රේලියානු යුවළකට මෙම යමහල් පාෂාණ කැබලි තට්ටුව හමුවී ඇත්තේ, රාත්‍රී කාලයේ නොදැනුවත්ව එම ප්‍රදේශය හරහා යමින් සිටියදීය.

"හඳ එළිය වගේම යාත්‍රාවේ ඇති විදුලි පහනේ එළිය විහිදෙන දුර තෙක් අපට ඒ සුන්බුන් කොටස් දිගට ම දකින්න ලැබුණා."

එක් අවස්ථාවක ඔවුන්ගේ යාත්‍රාවේ පතුල පාෂාණ කැබලිවල සිරවීම හේතුවෙන් නතර වී ඇති අතර, පසුව ඔවුන් මාර්ගය වෙනස් කර යාත්‍රා කිරීමට සමත් වී තිබිණි.

මාබල් බෝලයක ප්‍රමාණයේ සිට පැසිපන්දුවක ප්‍රමාණය දක්වා වූ සුන්බුන් කැබලි පසුව ඔවුන් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් වෙත භාර දී තිබිණි.

'සාගරමතුපිට ගොඩබිමක් වෙලා'

අදාළ සුන්බුන් කොටස් පිළිබදව පරීක්ෂණ පවත්වන ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාඥ මහාචාර්ය ස්කොට් බ්‍රයන් පැවසුවේ, එම කලාපයෙන් සෑම වසර 5ට වරක් මෙවැනි යමහල් පාෂාණ කැබලි මතු වන බවය.

"ඒක හරියට මුහුදේ මතුපිට සම්පූර්ණයෙන් ගොඩබිමක් බවට පත්වුණා වගේ."

මහාචාර්ය බ්‍රයන් පැවසුවේ, චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කිරීමේදී එම ක්ෂේත්‍රය ප්‍රධාන පෘෂ්ඨීය ස්කන්ධ දෙකකට බෙදී ඇතැයි දක්නට ලැබෙන බවය.

"මේ වනවිට කැබලි ට්‍රිලියනයකට වඩා මුහුදේ පාවෙනවා. පස්සේ ඒවා කෑලිවලට කැඩිලා මුහුදු වතුරේ දියවෙලා යනවා," ඔහු පැවසීය. එම කැබලි මේ වන විට ෆීජි දෙසට ගසාගෙන යමින් තිබෙන අතර ඒවා නිව් කැලිඩෝනියා සහ වනුවාටු දූපත් පසු කරමින් ඔස්ට්‍රේලියාව දෙසට ද ගසාගෙන යනු ඇතැයි විශ්වාස කෙරේ.

"ඒවා ඔස්ට්‍රේලියාවට ළගා වෙන්න අවුරුද්දක් විතර කාලයක් යයි, හැබැයි ඒවා තියේවිදැයි ද කියන්න අමාරුයි," ටස්මේනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්ටින් ජට්සෙලර් පැවසීය.

කොරල් පර වර්ධනය වීමේ තත්ත්වයක්

එම සුන්බුන් කැබලි පැසිෆික් සාගරයේ රැලි මතින් ගසාගෙන යාමත් සමග එම කැබලි මුහුදු ජීවීන්ට නිවහන් වනු ඇතැයි විශේෂඥයෝ පවසති.

"මේ කැබලිවලට එක්වන ජීවීන් විශාල ප්‍රමාණයක් කිලෝමීටර් දහස් ගණනක් දක්වා ගසාගෙන යාහැකියි. එයින් කොහේ හෝ මුහුදු පරිසර පද්ධතිය අලුත් වෙන්න පුළුවන්, ඒ වගේ ම ඊට ආක්‍රමණික ජීවී විශේෂත් එක්වෙන්න පුළුවන්," ආචාර්ය ජට්සෙලර් පැවසීය.

එම කැබලි ඔස්ට්‍රේලියාව ආසන්නයට පැමිණියහොත් මේ වන විට හානියට පත් වී ඇති මහා බාධක කොරල් පරයට වාසිසහගත විය හැකි බව ඇතැම් විශේෂඥයින්ගේ අදහස වී තිබේ.

තවදුරටත් කියවන්න.