උතුරු කොරියාව: ආහාර හිඟයට උත්තර සොයන්නැයි කිම්ගෙන් බලධාරීන්ට උපදෙස්

North Korean leader Kim Jong Un speaks during the third enlarged meeting of the political bureau of the 8th Central Committee of the Workers" Party of Korea

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්

රටේ පවතින ආහාර සැපයුම් ගැටලු නිරාකරණය කරන ලෙස උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් බලධාරීන්ට උපදෙස් දී තිබේ.

දේශගුණ විපර්යාස හමුවේ ඇති විය හැකි ආවදානම ද ඔහු බලධාරීන්ගේ අවධානයට ලක් කර ඇත.

පසුගිය වසරේ හටගත් සුළි කුණාටුවලින් (Typhoons) අත්‍යවශ්‍ය බෝග ආශ්‍රිත අස්වනුවලට දැඩි හානි සිදු විය.

මේ වසරේ සති ගණනාවක් පුරා පැවති නියඟයෙන් පසු ඇද හැලුණු ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් ද අස්වනුවලට හානි සිදුවී තිබේ.

"අසාමාන්‍ය දේශගුණ" තත්ත්වයන්ගෙන් ගොඩ ඒමට පියවර ගත යුතු බව නායක කිම් අවධාරණය කළේය.

නියං සහ ගංවතුර තත්ත්වයන්ට විසඳුම් සොයන ලෙසත් ඔහු බලධාරීන්ට උපදෙස් දුනි.

නායක කිම් එම අදහස් පළ කළේ බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 02) පැවති පාලක පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදීය.

පසුගිය වසර කිහිපය තුළ දී දේශගුණික විපර්යාසයන්ගේ "අවදානම" ඉහළ ගොස් ඇති බව කිම් පැවසූ අතර "හදිසි පියවර" ගත යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

ස්වාභාවික විපත් වලින් සිදු වූ හානියට අමතරව, කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති දැඩි අගුලු දැමීම්, ජාත්‍යන්තර සම්බාධක මෙන්ම දේශසීමා වසා දැමීම ද උතුරු කොරියාවේ ආර්ථිකයට ඉතා බරපතල ලෙස බලපා ඇත.

උතුරු කොරියාව කිසිදු කොවිඩ් සිද්ධියක් වාර්තා නොකළ අතර, සිය දේශසීමා වසා දමා රට තුළ අගුලු දමා ඇත.

දේශසීමා වසා දැමීම චීනයෙන් පැමිණෙන වැදගත් ආනයනවලට බලපා ඇත.

"වසංගත රෝග වැළැක්වීම දැඩි කිරීම ඉතාමත් වැදගත් කාර්යයක් වන අතර එය වර්තමාන තත්ත්වය යටතේ මොහොතකටවත් ලිහිල් නොකළ යුතුයි" යනුවෙන් කිම් පැවසුවේ යැයි රාජ්‍ය මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරිණ.

මෙම සතිය මුලදී එක්සත් ජාතීන් පැවසුවේ උතුරු කොරියාව කොවිඩ් -19 එන්නත් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක ප්‍රදානය ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බවය.

ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගෝලීය එන්නත් හිඟය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ජාතීන්ට එන්නත් ලබාදීම වෙනුවෙන් එය වෙනත් තැන්වලට යොමු කරන ලෙස එරට ඉල්ලා සිටි බවය.