කොවිඩ්: ඉන්දුනීසියානු සෞඛ්‍ය සේවකයන් මරණයට පත්වීමත් සමඟ ප්‍රශ්නයක්

    • Author, රාජා ලුම්බන්රෝ සහ රෙබෙකා හෙන්ෂ්කි
    • Role, බීබීසී ඉන්දුනීසියානු සේවය

ජකර්තා අගනුවර සීමාවේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයක දොරටුවෙන් ඇතුල්වීමට තෙරපෙමින් සිටින සිය ගණනක කණ්ඩායමකි. එහි ඇතුළත ඉඩකඩ නැතැයි පවසන මුරකරුවෙක් ඉවසීමෙන් කටයුතුකරන ලෙස ඉහත කී කණ්ඩායමෙන් ඉල්ලා සිටියි.

දශලක්ෂ 250 ක් තරම් ඉන්දුනීසියානු ජනගහනයෙන් තවමත් එන්නත් ලබා දී තිබෙන්නේ 8% කටත් වඩා අඩු ජනතාවක් සඳහා පමණි. මේ අතර 'ඩෙල්ටා' වැනි නව ප්‍රභේද රටතුළ විශාල වශයෙන් ආසාදනයවීමත් සමඟ ජනතාව සිය ආරක්ෂාව සඳහා දැඩිව උනන්දුවෙමින් ඇත.

ජනතාව ආපසු හැරී යාමට පෙර ලියාපදිංචි විය යුතුව ඇතැයි මහජනයා තුළ වැරදි වටහාගැනීමක් ඇතැයි ප්‍රදේශයේ නගරාධිපති අරීෆ් විස්මම්සියා( ARIEF WISMAMSYAH) එන්නත්කරණ මධ්‍යස්ථානය අභ්‍යන්තරයේ සිට පැහැදිළිකළේය,

මේ අතර මධ්‍යස්ථානයෙන් පිටත ශබ්දවිකාශන යන්ත්‍රයක් මගින් මුරකරුවන් මහජනයාගෙන් ඉල්ලාසිටින්නේ ආපසු නිවෙස් කරා යන ලෙසය. එහෙත් කිසිවකු ඔවුන්ට ඇහුන්කන් දෙන්නේ නැත.

''ලයක් නැහැ''

දැනට ඉන්දුනීසියාවෙන් එක් දිනකට වාර්තාවෙමින් ඇති කොවිඩ් ආසාදිත ජන සංඛ්‍යාව 20,000කට අධිකය. ජකර්තා අගනුවරින් පිට ප්‍රදේශයන්හි පරීක්ෂණ නිසි පරිදි සිදුනොකෙරෙන හෙයින් මේ සංඛ්‍යාව නියතවම ඊට වඩා වැඩි බව විශේෂඥයෝ පෙන්වාදෙති.

මිනිසුන්ට ලබාදෙන සහ ඉදිරියේදීත් ලබාදීමට නියමිත එකම එන්නතවන චීනයේ නිෂ්පාදිත එන්නත මගින් ඔවුන්ට කොපමණ රැකවරණයක් ලැබේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු වෙමින් පවතී.

පසුගිය පෙබරවාරි සහ ජුනි අතර කාලය තුළ ඉන්දුනීසියාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අයත් 949දෙනකු මරණයට පත්ව ඇති බව වාර්තා කෙරිණ. ඔවුන් අතර 'සිනොවැක්' චීන එන්නත ලබාගත් වෛද්‍යවරුන් විසිදෙනෙකු සහ හෙදියන් දහදෙනකු වූ බවත් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

ඉහත කී වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට වෛද්‍යවරු මැලිවෙති. එහෙත් තමන් ඉතා අනාරක්ෂිත බවට ඔවුන් තුළ හැඟීමක් පවතී.

සිය නම සඳහන් නොකරමින් අදහස් දැක්වූ පෙනහළු රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥවරියක් කියාසිටියේ ''තමා 'සිනොවැක්' එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් නමුත්, වෛරසයට ඔරොත්තුදෙන මට්ටමින් ක්‍රියාත්මකවීම සඳහා අවශ්‍ය මට්ටමේ ප්‍රතිදේහ (antibodies) සිය සිරුරේ ඇද්දැයි දැනගැනීමට පරීක්ෂණයක් සිදුකරගත්'' බවය.

''පරීක්ෂණයේ දී පෙනීගියේ එය ප්‍රමාණවත් නොවනබව. මේ එන්නතෙන් මගේ සිරුරට අවශ්‍ය ප්‍රතිදේහ නිර්මාණය කරලා නැහැ' 'එම වෛද්‍යවරිය බීබීසී ඉන්දුනීසියානු සේවයට කියා සිටියාය.

''මාසයකට පස්සේ මම නැවත පරීක්‍ෂණයක් කළා. ඒකෙනුත් ලැබුණේ පළමු ප්‍රතිඵලයමයි''

තමාගේ ඇතැම් වෘත්තීය සගයන් යහපත් ප්‍රතිඵල ලබා ඇතත් තමාට 'සිනොවැක්' එන්නතෙන් ඵලයක් නොමැති බව වෛද්‍යවරිය සඳහන් කළාය.

හදිසි තත්ත්වයන් යටතේ භාවිතය සඳහා 'සිනොවැක්' එන්නත උපයෝගීකර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබුණි. ඔවුන් සඳහන්කරන ලද්දේ, එම එන්නත විදින ලද අයගෙන් 51%ක් කොවිඩ් රෝග ලක්ෂණ වලක්වන ලද බව ප්‍රතිඵල මගින් පෙන්නුම්කළ බවය.

අත්හදාබැලීමට සහභාගී කරගත් පුද්ගලයන් දරුණු මට්ටමින් කොවිඩ්-19 ආසාදනයවීම නිසා රෝහල් ගතවීම 100%කින් වළක්වන ලද බවත් සඳහන් වෙයි.

''වෛරසයේ දරුණු තත්ත්වයෙන් ආරක්ෂාව සඳහා මාත්‍රා දෙකක් ප්‍රමාණවත් බව 'සිනොවැක්' එන්නත නිපදවන 'සිනොවැක් බයෝටෙක්'(Sinovac Biotech)සමාගම අවධාරණයෙන් කියාසිටියි. තුන්වෙනි එන්නතක් සාර්ථක කරගැනීම පිළිබඳව සායනික අත්හදා බැලීම් සිදුකරන අතර දැනට ලැබී ඇති ප්‍රතිඵල දිරිගන්වන සුළු බවත් 'සිනොවැක් බයෝටෙක්' පවසයි.

"පළමු මාත්‍රා දෙක සම්පූර්ණ කිරීමෙන් පසුව, අපගේ ශරීරය ප්‍රතිශක්තිකරණ මතකයක් දැනටමත් නිපදවා තිබෙනවා. තුන්වෙනි මාත්‍රාවක් දීම අවශ්‍යකරන්නේ කවදාද, යන්න හැදෑරීමට පර්යේෂකයන්ට කරුණාකර තවත් කාලයක් ලබාදෙන්න" ''සිනොවැක් බයෝටෙක්' ප්‍රධාන විධායක නිලධාරී යින් වෙයිඩොන්ග් (Yin Weidong) පසුගියදා චීන රූපවාහිනියට කියා තිබුණි.

''සිනොවැක් එන්නතේ මාත්‍රා දෙකක් එන්නත් කළ ස්වේච්ඡා කණ්ඩායමට තවත් මාස තුනක් හෝ හයකට පසු තුන්වෙනි මාත්‍රාවක් එන්නත් කිරීමෙන් පසු ඔවුන්ගේ ශරීරවල ප්‍රතිදේහ නිපැයුම සතියක දී දහගුණයකින් ද දවස් පහළොවක දී විසි ගුණයකින් ද ඉහළයාමේ හැකියාවක් වූ බව ප්‍රධාන විධායක නිලධාරී යින් වෙයිඩොන්ග් පවසයි.

මේ අතර ඉන්දුනීසියානු වෛද්‍ය සංවිධානයේ අනතුර අවමකිරීමේ කණ්ඩායම පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඉන්දුනීසියානු බලධාරීන් විසින් අනුමතකරන ලද ඕනෑම එන්නතකින් කොවිඩ් වෛරසයේ බරපතල අනතුර අඩුකරගැනීමට ආධාරයක් ලැබෙන බවය.

එහෙත් සෞඛ්‍ය සේවකයන්ට තවත් මාත්‍රාවක් දියයුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් දැන් සාකච්ඡා ආරම්භ වී ඇත.

තුන්වෙනි මාත්‍රාවක් ගැන සංවාදය

ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් සරසවියේ (Griffith Universit) වෛද්‍ය ඩිකී බුඩිමන් (Dr Dicky Budiman) තුන්වෙනි මාත්‍රාවක් එන්නත් කිරීමට සහයෝගය පළකරයි.

''කොවිඩ් නව ප්‍රභේද මගින් එල්ලකරනු ලබන අභියෝග රැල්ලකට අප මුහුණ දෙමින් සිටින මොහොතක,තවත් ශක්තියක් ලබාදෙන තුන්වෙනි මාත්‍රාවක් හදිසි කාර්යයක්'' වෛද්‍යවරයා පවසයි.

එන්නතේ ඵලදායිත්වය අඩුවීම සහ කාලයත් සමඟ එහි දුර්වලවීමක් සිදුවෙන බව ඉන්දුනීසියානු සරසවියේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ට්‍රයි යුනිස් මිකෝ (Dr Tri Yunis Miko) පවසයි. එරට සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩල පසුගිය ජනවාරියේ එන්නත් කොට දැනට මාස හයක් ගෙවීගිය බවත් වෛද්‍ය ට්‍රයි යුනිස් මිකෝ පෙන්වා දුන්නේය

''තුන්වෙනි මාත්‍රාවක් එන්නත් කිරීමේ කිසිදු තේරුමක් තිබේදැයි''මේ අතර ඉන්දුනීසියාවේ ආර්ලන්ගා (Airlangga University) සරසවියේ කථිකාචාර්ය ආචාර්ය වින්ධු පූර්නෝමෝ (Dr Windhu Purnomo) විමසයි.

''එන්නත් මාත්‍රා දෙකම දුන් සෞඛ්‍ය සේවකයන් ගණනාවක් මරණයට පත්වුන ආකාරය අපි දැක්කා. එය සිදුනොවිය යුත්තක්''ආචාර්ය වින්ධු පූර්නෝමෝ පැවසීය.

''ඉතින් 'සිනොවැක්' එන්නතෙන් නව ප්‍රභේදවල දී මහජනයාට ආරක්‍ෂාවක් නැත්නම්,එම එන්නතේ තුන්වෙනි මාත්‍රාවක් දීමේ තේරුමක් නැහැ''

මේ සම්බන්ධයෙන්ත තමන් වැඩි තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින බව එන්නත් ව්‍යාපෘතිය පිළිබඳ ඉන්දුනීසියානු ආණ්ඩුවේ ප්‍රකාශිකා වෛද්‍ය සිති නාඩි ටාර්මිසි (Dr Siti Nadi Tarmizi) පවසයි.

"මේ එන්නතේ තෙවෙනි මාත්‍රාවක් පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රකාශනයක් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වැඩිදුර නිර්දේශයක් ලැබී නැහැ.ඒ නිසා අපට තවත් බලා ඉන්න අවශ්‍යයි'' ආණ්ඩුවේ ප්‍රකාශිකාව සඳහන් කළාය.

''සිනොවැක් එන්නතේ මාත්‍රා දෙකක් එන්නත් කලාට පස්සේ එහි ඵලදායිත්වය සම්බන්ධයෙන් සිදුකෙරෙන සායනික පරීක්ෂණයක තුන්වෙනි අදියරේ කටයුතු කරන අපේම පර්යේෂණ කණ්ඩායමකුත් ඉන්නවා'' එන්නත් ව්‍යාපෘතිය පිළිබඳ ඉන්දුනීසියානු ආණ්ඩුවේ ප්‍රකාශිකා වෛද්‍ය සිති නාඩි ටාර්මිසි (Dr Siti Nadi Tarmizi) පවසයි.

''වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ශක්තිය නංවාලීම සඳහා තුන්වෙනි මාත්‍රාවක් දීම අවශ්‍යද නැද්ද යන්න ගැන ඒ සායනික පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔවුන් ඉදිරි කාලයේ දී අපට තොරතුරු සපයනවා''

'කොවිඩ් මහා විනාශයක් අද්දර'

ඉන්දුනීසියාව ගිනිකොන ආසියාවේ කොවිඩ්-19 වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වූ රටකි. ආසාදිත රෝගීන් මිලියන 2.1 ක් සහ මරණ 57,000 ක් එරටින් දැනට වාර්තා වී ඇත.

රෝහල්වල ධාරිතාව අඩුවීම සහ ඔක්සිජන් සැපයුම බරපතල මට්ටමින් පහත වැටීමත් සමඟ ඉන්දුනීසියානු රතු කුරුස සංවිධානය පසුගිය මාසයේ රටේ තත්ත්වය විස්තර කළේ "රට කොවිඩ් -19 ව්‍යසනයක අද්දරට" පැමිණ ඇත යනුවෙනි.

ගෙවීගිය මැයි මාසයේ පටන් කොවිඩ් වෛරසය ආසාදනයවන ඉන්දුනීසියානු ළමුන්ගේ සංඛ්‍යාව තුන්ගුණයකට ඉතා කිට්ටු මට්ටමින් වැඩිවිය. රට ඉතා දරුණු වෛරස් රැල්ලකට ගොදුරුවීමත් සමඟ ළදරු මරණ සංඛ්‍යාවත් වේගයෙන් ඉහළ ගියේය.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) පසුගියදා ප්‍රකාශයක් කරමින් වයස අවුරුදු දොළහෙන් ඉහළ ළමුන්ට එන්නත ලබාදීමට ආණ්ඩුව පියවරගන්නා බව ප්‍රකාශයට පත්කළේය.

ආසාදිත ජනසංඛ්‍යාව වැඩිවීමත් සමඟ 'ජාවා'(Java) ප්‍රධාන දූපත මෙන්ම බාලි (Bali) දූපතත් සතිදෙකකට අගුළු දමන බවත් නිවේදනය කරනු ලැබ තිබේ.

ඉන්දුනීසියාව තුළ 'ඇස්ට්‍රා-සෙනෙකා' සහ 'සිනොෆාර්ම්' වැනි වෙනත් එන්නත් වර්ගත් ලබාගැනීමේ පහසුකම් තිබිය හැකි වුවද,දැනට වැඩි ප්‍රමාණයක් දෙනු ලැබ තිබෙන්නේ එරට කිට්ටු මිතුරා වන චීනය විසින් සපයන ලද 'සිනොවැක්'එන්නතයි. .

මේ මොහොතේ යථාර්ථය වන්නේ ඉන්දුනීසියානු ආණ්ඩුව දිගටම 'සිනොවැක්' එන්නත භාවිත කිරීම නොව වෙනත් විකල්ප කිහිපයක් ඇති බවය.

එන්නත් ගැන තවත් තොරතුරු;