දස ලක්ෂයක් නැරඹූ වීඩියෝව: "ලෝකේ ගොඩක් වෙනස් කරලා තියෙන්නේ තරුණ,තරුණියෝ"

Belarusians protesting in Sydney

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ පැවති ජනපතිවරණයෙන් අනතුරුව සිඩ්නි නුවර සිටින බෙලරුසියානුවෝ වරින්වර උද්ඝෝෂණවල වල නිරතවූහ
    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC ලෝක සේවය

සිය විරුද්ධවාදී පිලේ නායකයෙකු අත්අඩංගුවට ගැනීම පිණිස බෙලරුසියානු බලධාරීන් විසින් බලහත්කාරයෙන් ගුවන් යානයක් ගොඩ බානු ලැබීමෙන් අනතුරුව, ජනාධිපති අලෙක්සන්දර් ලුකෂෙන්කෝගේ ආණ්ඩුව ප්‍රබල විවේචනයට ලක්වෙමින් පවතී.

තරුණ මාධ්‍යවේදී රෝමන් ප්‍රෝතසේවිච් (Roman Protasevich) සහ ඔහුගේ පෙම්වතිය, සොෆියා සපේගා (Sofia Sapega), ගුවන් යානයෙන් පිටතට ගත් බෙලරුසියානු බලධාරීහු ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.

26 වසරක් රටේ බලය හොබවන ජනාධිපතිවරයා මැතිවරණය කොල්ල කෑ බව පවසමින් බෙලරුසියාවේ විපක්ෂය පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති ජනපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.

එවක් පටන් රට තුළ විරුද්ධ පක්ෂ ආධාරකරුවන් දඩයමට ලක් වූ අතර විදේශගත බෙලරුසියානුවෝ තත්ත්වය ගැන හඬනගමින් සිටිති.

'මම බය නෑ'

Protest in Sydney

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඕස්ට්‍රේලියාවේ ඉඳගෙනත් අපි බය නම්, කවුරුවත් කිසිම දෙයක් කරන්නේ නෑ," කතෙරිනා පවසයි.

කතෙරිනා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක පර්යේෂිකාවකි.

සිය රටේ දියත් වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සහ ආණ්ඩුව එය මර්දනය කළ අන්දම කණගාටුවෙන් යුතුව බලා සිටි බව ඇය පවසන්නීය.

"මගේ පවුලේ හුඟක් දෙනෙක් ඉන්නේ බෙලරුසියාවේ. ඉතින් මම මම හැම හැම මොහොතකම එයාල ගැන හිතනවා."

මාධ්‍යවේදී ප්‍රෝතසේවිච් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව තවදුරටත් නිහඬව සිටිය නොහැකි බව ඇයට වැටහිණ.

"මම බය නෑ," ඇය පවසන්නීය. "ඕස්ට්‍රේලියාවේ ඉඳගෙනත් අපි බය නම්, කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන එකක් නෑ."

People seen outside Okrestina detention centre

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසරේ අගෝස්තුවේ අත්අඩංගුවට ගත් බොහෝ දෙනා රඳවා තැබුණේ අගනුවර මේ කුප්‍රකට සිර කඳවුරේය

තමන් ගැන බියක් නැතත්, මවු බිමේ වෙසෙන සිය ඥාතීන්ගේ සහ මිතුරන්ගේ ආරක්ෂාව ගැන ඇය පසුවන්නේ බියෙනි. සිය සම්පුර්ණ නම හෙළි නොකරන මෙන් ඇය ඉල්ලා සිටියේ ද එබැවිනි.

"මගේ තාත්තව ඇරෙස්ට් කළා, යාලුවෝ ඇරෙස්ට් කළා ... මම කවදාවත් හිතුවේ නෑ මගේ තාත්තට හිරේ ලගින්න වෙයි කියල."

විශ්‍රාමික විද්‍යාඥයෙකු වන ඇගේ පියා නත්තල ගතකළේ සිර කුටියකය. එහිදී ඔහුට කොවිඩ් රෝගය ද ආසාදනය විය.

"ඉතිහාස ගුරුවරයෙක්, දර්ශන විද්‍යා මහාචාර්ය කෙනෙක්, ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි ගණිතඥයෙක් එයා එක්ක හිරේ හිටිය කියල තාත්ත කිව්වා."

Roman Protasevich and Sofia Sapega

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, තරුණ මාධ්‍යවේදියා සහ ඔහුගේ පෙම්වතිය මින්ස්ක් අගනුවරදී බලහත්කාරයෙන් ගුවන් යානයෙන් පිටතට ගනු ලැබිණ

ජනපතිවරණයෙන් අනතුරුව මතු වූ තත්ත්වය හමුවේ කතෙරිනා ද එරට වෙසෙන අනෙක් බෙලරුසියානු වැසියන් සමඟ උද්ඝෝෂණවලට සම්බන්ධ වූවාය.

ඒ අතර ඇය අනතුරට මුහුණ දී සිටින සිය රටවැසියන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ නොමිලේ උපකාරක පන්ති ආරම්භ කළාය. රටවැසියන්ට පහරදීම ප්‍රතික්ෂේප කොට සිය රැකියාව අත්හැර දැමූ පොලිස් නිලධාරියෙක් ද ඇගේ අන්තර්ජාල සිසුන් අතර සිටියි.

"මිනිස්සුට ගහන්න බෑ කියල එයා පොලිසියෙන් අයින් වෙලා."

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගැනීමට උපකාරවීම පිණිස දැන් ඇය ඔහුට ඉංග්‍රීසි භාෂා පන්ති පවත්වන්නීය.

"අඩුම ගානේ අපි එයාලව අමතක කරලා නෑ කියල මගේ රටේ මිනිස්සුන්ට ඒකෙන් තේරෙනවා."

"මුලින්ම උද්ඝෝෂණ කළේ මට අවුරුදු නමයේදී"

Masha Zabara

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, මාෂා සබාරා සිනමාවේදිනියක් සහ ක්‍රියාධාරිනියකි

23 හැවිරිදි මාෂා (මරියා) සබාරා, සිනමාවේදිනියක් සහ ක්‍රියාධාරිනියකි.

16 වෙනි වියේ දී වැඩිදුර අධ්‍යාපනය පිණිස ඇමෙරිකා එක්සත් ජනපදය බලා පැමිණි මාෂා (Masha Zabara), බෙලරුසියානු පාලනාධිකාරියට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වූයේ ඊට කලෙකට ඉහතදීය.

පළමු වරට විරෝධතාවකට එක්වන විට ඇය නව හැවිරිදි දැරියක් වූවාය.

"මම යාළුවෙක් එක්ක පන්ති කට්කරලා කොඩියකුත් ඇඟේ බැඳගෙන පෙළපාලියට ගියා. ටික වෙලාවකින් තාත්ත ඇවිත් මාව ඇදගෙන ගියා," ඇය සිනහසෙමින් බීබීසීය සමඟ විස්තර කළාය.

දැන් ඇය එක්සත් ජනපදයේ සිට වීඩියෝ පට නිර්මාණය කරමින් බෙලරුසියාවේ තත්ත්වය ගැන ලොවට වටහා දීමට උත්සහ දරන්නීය.

ඇය පවසන්නේ, ජනපතිවරණය කොල්ල කෑ බවට චෝදනා කරමින් පසුගිය වසරේ ජනතාව දස දහස් ගණනින් බෙලරුසියාව පුරා වීදි බසිනු දැක තමන් දිරිමත් වූ බවය.

"ගිය අවුරුද්ද අපේ බලාපොරොත්තු කුල්මත් වුණ අවුරුද්දක්. රතු, සුදු කොඩි අරගෙන ඒ මිනිස්සු වීදි බැහැල ඉන්නවා දැකීමම හරිම අසිරිමත් දර්ශනයක්," මාෂා බීබීසීය සමඟ පැවසුවාය.

"ඇත්තටම ගිය අවුරුද්දේ මට ආයෙත් මගේ රටට යන්න හිතුණා."

Masha Zabara

ඡායාරූප මූලාශ්‍රය, Handout

ඡායාරූප ශීර්ෂ වැකිය, මාෂා, බෙලරුසියානු විරුද්ධ පක්ෂයේ සංකේතය බවට පත් රතු සහ සුදු වර්ණ සහිත ධජය ලෙලවමින්

එම උද්ඝෝෂණවල වීඩියෝ පට එකතු කොට ඇය ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කළාය.

"බෙලරුසියාවේ වෙන්නේ මොකක්ද කියල පිටරටවල හුඟක් දෙනා දැනගෙන හිටියේ නෑ."

එහෙත් දැන් ලොව පුරා බොහෝ දෙනා යළිත් බෙලරුසියාව දෙස අවධානයෙන් බලා සිටිති.

තරුණ මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, සිදුවූ දේ පැහැදිලි කරමින් ඇය ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කළාය. මිලියනයකට ආසන්න පිරිසක් එය නරඹා තිබුණි.

"වීඩියෝව හදන කොට ඉන්ස්ටග්‍රෑම් එකේ මට හිටියේ 1000 ක විතර පිරිසක් ඒත් දැන් 10,000 කට වැඩියි."

පසුව එම වීඩියෝ පටය ටික්ටොක් ජාලයේ ද බෙදා හැර තිබිණ.

"ඇත්තටම මම සුබවාදීයි," ඇය පවසන්නීය. "ලෝකේ ගොඩක් වෙනස් කරලා තියෙන්නේ තරුණ,තරුණියෝ. උදාහරණයක් විදියට පරිසර උද්ඝෝෂණ බලන්න."

සිය නම සහ ඡායාරූපය සැඟවීමට වෑයම් නොකළත් ඇය පවසන්නේ, එය සිය නිර්භීතකමේ ලකුණක් නොවන බවය.

"මම හිතන්නේ මම කිසිම දෙයක් නොකර හිටියත් මගේ බය අඩුවෙන්නේ නෑ."

"බෙලරුසියානුවෙක් වීම ගැන ආඩම්බරයි"

Yulia taking part in a demonstration held in Copenhagen, last year

ඡායාරූප මූලාශ්‍රය, Veronica Skotte

ඡායාරූප ශීර්ෂ වැකිය, යූලියා, ඩෙන්මාර්කයේ "බෙලරුසියාවේ මිත්‍රයෝ" සංවිධානයේ සාමාජිකාවකි

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර වෙසෙන තොරතුරු තාක්ෂණ ශිල්පිනියක වන යූලියා, සිය සම්පූර්ණ නම හෙළිනොකරන මෙන් ඉල්ලා සිටියාය.

"මම ඩෙන්මාර්කයේ බොහොම ආරක්ෂා සහිතව ඉන්නවා. ඒත් බෙලරුසියාවේ ඉන්න මගේ අම්මල, නෑයෝ, යාලුවෝ ගැන මට බයයි."

"මගේ අම්මල, තාත්තලත්, ආච්චි, සීයලත් තාම ඉන්නේ බෙලරුසියාවේ."

එහෙත් සිය රටේ පවතින තත්ත්වයට එරෙහිව හඬ අවදිකළ යුතු බවට ඇය අදිටන් කරගෙන සිටින්නීය. ඇය ඩෙන්මාර්කයේ "බෙලරුසියාවේ මිත්‍රයෝ" සංවිධානයේ සාමාජිකාවකි.

"දැන් පුදුම විදියේ සහයෝගයක් මතුවෙලා තියෙනව," ඇය පවසන්නීය. "කලින් දැනගෙන හිටියේ නැති ගොඩක් දෙනා දැන් එකිනෙකා හඳුනාගන්නවා."

එකමුතුව උද්ඝෝෂණවල නිරතවන ඔවුහු, ජීවිතාරක්ෂාව පතා රටින් පලා ගිය බෙලරුසියානුවන්ට ආධාර කිරීම පිණිස අරමුදල් ද රැස් කරති.

ඇය පවසන්නේ, මර්දනය විසින් රටින් පිට සිටින බෙලරුසියානුවන් අතර සමගියක් වර්ධනය කරමින් පවතින බවය.

"අවාසනාවකට එකපාරටම වෙනසක් වෙන්නේ නෑ ඒත් මම හිතන්නේ වෙනසක් වුනාම මම ආයෙත් මගේ රටට යාවි."

මෙවැනි එකමුතුවක් මින් පෙර තමන් දැක නැති බවත් යූලියා පවසන්නීය.

"මේ සහයෝගය නිසා ඇත්තටම මට දැන් බෙලරුසියාවේ මිනිස්සු ගැන ආඩම්බරයි."

කියවන්න: