ඉන්දියාවේ කෝවිඩ්-19: මරණ ඉහළ යන අතරේ තාවකාලික ආදාහනාගාර ඉදි කෙරෙයි

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති බව තානාපති ආරංචි මාර්ග තහවුරු කළේය.

එහි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකු මේ වන විට බරපතල රෝගී තත්ත්වයේ පසුවන බව බීබීසී සිංහල සේවය වෙත දැන ගැනීමට ලැබිණි.

දිල්ලි නගරයේ රෝහල් තුළ දැඩි සත්කාර ඇඳන් නොමැති බැවින් ඉන්දීය වැසියන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ද ප්‍රතිකාර ලබා ගැනීම අභියෝගයක්ව ඇති බවත් තානාපති ආරංචි මාර්ග ඔස්සේ දැන ගැනීමට ලැබේ.

මේ අතර මරණයට පත් වූවන් ආදාහනය කිරීමට ප්‍රමාණවත් ඉඩ නොමැති බැවින් ඒ සඳහා දිල්ලි නගරයේ තාවකාලික ස්ථාන ඉදිවෙමින් පවතී.

ඉන්දියාව මුහුණ දී සිටින ව්‍යසනකාරී කෝවිඩ් දෙවෙනි රැල්ල ආරම්භ හමුවේ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

සඳුදා (අප්‍රේල් 26) දිල්ලි අගනුවරින් පමණක් මරණ 380 ක් වාර්තා විය.

රෝගීන්ට ලබා දෙන ඔක්සිජන්, දැඩි සත්කාර ඇඳන් සහ අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම්වල හිඟයක් පවතී.

පසුගිය දින කීපය තුළ පමණක් ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

අඟහරුවාදා (අප්‍රේල් 27) රෝගීන් 323,144 ක් වාර්තා වූ අතර සඳුදා එහි ඉහළම අගය, එනම් රෝගීන් 352,991 ක් වාර්තා විය. ඒ අනුව පෙර දිනට සාපේක්ෂව අඟහරුවාදා වාර්තා වූ රෝගීන්ගේ යම් අඩුවක් දක්නට ලැබේ.

කෙසේ වුවත් රෝගීන් සහ මරණයට පත් වූවන් මීට වඩා බෙහෙවින් වැඩි අගයක් ගනු ලබන බව විශ්වාස කෙරේ.

පසුගිය සතිය තුළ මරණයට පත් වූ 1,150 දෙනෙකු පමණ දිල්ලි නිල සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වී නොමැති බව එරට NDTV රූපවාහිනී සේවය කළ ගවේෂණයකින් අනාවරණය වී තිබේ. රට පුරා සංඛ්‍යා ලේඛනවල අඩුවක් දක්නට ඇති බවට ඒ හා සමාන තවත් ගවේෂණ මගින් පෙනෙන්නට තිබේ.

ආදාහනාගාර සේවකයන් රාත්‍රිය පුරා සිරුරු පිළිස්සීමේ කටයුතුවල යෙදෙන අතර දර සැකසීමට සහ සෙසු කටයුතු සඳහා මිය ගිය පුද්ගලයන්ගේ ඥාතීන්ගේ ද සහාය ලබා ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

දිල්ලි නුවර රිය ගාල්, උද්‍යාන හෝ හිස් බිම් තීරු ආදාහන කටයුතු සඳහා සොයමින් පවතී.

සිය සමීපතමයන් ආදාහනය කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා බොහෝ විට පවුලේ ඥාතීන්ට පැය ගණනාවක් බලා සිටීමට සිදුව ඇත.

මේ ගැනත් කියවන්න: