මුස්ලිම් ප්‍රජාව පොදු ප්‍රංශ නීතියක් යටතට ගැනීමේ මැක්‍රෝන් ප්‍රයත්නයට ඇති අභියෝග මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, EPA
ප්‍රංශ මුස්ලිම් පාලක මණ්ඩලය මෙම සතිය තුළ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මුණගැසීමට නියමිතව ඇත. එම හමුවේ අරමුණ ප්‍රංශයේ ඉමාම්වරුන් විසින් අත්සන් තබනු ලැබිය යුතුව ඇති ''නව ජනරජ ප්‍රඥප්තියට'' ඇතුළත් නිර්දේශ සහතික කිරීමය.
ප්‍රංශ මුස්ලිම් පාලක මණ්ඩලය (CFCM) විවිධ මුස්ලිම් සංවිධාන නවයක එකතුවකි. ඉස්ලාම් ධර්මය දේශපාලන ව්‍යාපාරයක් වීම බැහැරකරනු ලැබීම සහ විදේශීය බලපෑම් තහනමක් ඇතුළත් ප්‍රංශයේ නව ජනරජ මූලධර්මයන් ඇතුළත් කෙටුම්පත පිළිගන්නා ලෙස ඉමාම්වරුන් නියෝජනය කරන එම පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
''මෙම මූලධර්ම ප්‍රඥප්තියට ඇතුළත් කෙරෙන සියල්ලටම අපි එකඟ නැහැ'' ප්‍රංශ මුස්ලිම් පාලක මණ්ඩලයේ උප සභාපති, පැරිස් නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ ආගමික නායක චෙම්ස් -එඩිනේ හෆිෂ් පැවසීය.
''ප්‍රංශයේ ඉස්ලාම් අපි ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. මුස්ලිම් ප්‍රජාව වන අපි අපගේ වගකීම්වලට මුහුණ දී සිටිනවා''
මෙයින් අට අවුරුද්දකට පෙර තම සිතිවිලි මීට වඩා වෙනස් වූ බවත් මුස්ලිම් ජකවරයා පවසයි.
පසුගියදා 'ටුලූස්'(Toulouse) ප්‍රංශ නගරයේ දී ප්‍රහාරයක් එල්ලකරන ලද්දේ මොහොමඩ් මෙරාහ් (Mohamed Merah) නම් ඉස්ලාම්වාදියකු විසිනි.
''උදේ පාන්දර පහට විතර මම නිදාගෙන සිටියදී හිටපු ජනාධිපති සර්කෝසි මට කතාකළා. මම සර්කෝසි ට කිව්වා - ඒ මිනිහගේ නම මොහොමඩ් වෙන්න පුළුවන්. නමුත් ඔහු අපරාධකාරයෙක් කියල ''
''මට මගේ ආගම සහ අපරාධ සම්බන්ධ කරන්න උවමනාවක් තිබුණේ නැහැ..
ජනාධිපති මැක්‍රෝන් පසුගිය ඔක්තෝබර් මාසයේ අදහස් දක්වමින් මුස්ලිම් බලාධිකාරීන් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළේය. එහෙත් රාජ්‍ය අනාගමිකභාවය රජයන සමාජයක එය දුෂ්කර ක්ෂේත්‍රයකි.
ජනාධිපති මැක්‍රෝන්ගේ ප්‍රයත්නය වන්නේ දේශපාලන ඉස්ලාම්වාදය පැතිරයාම වළක්වාලීමය. එම ප්‍රයත්නය දරනු ලබන්නේ ඇදහීමේ ආගමික අයිතිය හෝ එක් සුවිශේෂී ආගමික දහමක් ගැන සඳහන් කරනු ලැබීමෙන් තොරවය.
සියලු මුස්ලිම් කණ්ඩායම් ප්‍රංශ සමාජය තුළට අන්තර්ග්‍රහණය කරගනු ලැබීම මෑත වසරවල අභියෝගාත්මක දේශපාලන කරුණක් බවට පත්විය, ප්‍රංශයේ මුස්ලිම් ජනසංඛ්‍යාව ලක්‍ෂ පනහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි. එය යුරෝපයේ වැඩිම මුස්ලිම් සුළුතරය නියෝජනය කරයි.
යෝජිත නව ප්‍රඥප්තිය මගින් ප්‍රශ්න දෙකක් මතුකරන බව ප්‍රංශයේ ඉස්ලාම් දහම පිළිබඳ විශේෂඥයකු වන ඔලිවර් රෝයි පවසයි. ඉන් පළමුවැන්න, එමගින් මුස්ලිම් දේශනා පමණක් ඉලක්ක කරගනු ලැබීමය. දෙවැන්න,ආගමික නිදහස සඳහා ඇති අයිතිය කෙරෙහි එමගින් කෙරෙන බලපෑමය.
''රාජ්‍ය නීතියට අනුගතවීමට කවුරුත් බැඳී සිටිනවා. නමුත් රාජ්‍ය විසින් නිර්දේශ කරනු ලබන වටිනාකම් භාරගැනීමට මිනිස්සු බැඳී නැහැ. උදාහරණයක් විධියට, අපට සමරිසි ජනයාට වෙනස්කම් කරන්න බැහැ. නමුත් කතෝලික පල්ලිය සමරිසි විවාහය අනුමත කරන්න බැඳිල නැහැ'' ඔලිවර් රෝයි පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෝස්‌තර නිර්මාණ ශිල්පිනියක වන ඉමාන් මෙස්ටවී (Iman Mestaoui) ඇයගේ වචනයෙන් විග්‍රහකරනු ලබන පරිදි ''වෛරකරන්නන්ගෙන්'' නිරන්තරයෙන්ම හිරිහැර එල්ලවෙයි. ඇය විසින් නිර්මාණය කරනු ලබන ගෙල සහ හිස වසන සළු මගින් කාන්තා කේශ කලාපය සහමුලින්ම ආවරණය නොවන බව ඉස්ලාමීය දැඩිමතධාරීන්ගේ චෝදනාව වී ඇත.
එහෙත් මුස්ලිම්වරුන් පූර්ණ ප්‍රංශකරණයට ලක් නොවූ ජනකොටසක් ලෙස බොහෝදෙනෙකු විසින් දැනටමත් සලකනු ලබන මොහොතක ඉමාම්වරුන් ''ප්‍රංශ මූලධර්ම'' සඳහා අත්සන් තැබීමට යාමේ අදහස ප්‍රශ්නයක් බවත් ඉමාන් මෙස්ටවී (Iman Mestaoui) පවසන්නීය.
''එමගින් අපි අමුතු තැනකට ගෙන යනවා. ජනරජ මූලධර්ම හැටියට ජනතාවට විග්‍රහකරනු ලබන අවස්ථාවකට. පොදු ප්‍රංශවාසීන් කියන තැනකට. නමුත් මෙතැනදී එම වැඩ පිළිවෙලේ නිර්මාතෘවරු අපි ගැන හිතන්නේ නැහැ'' ඇය විස්තර කළාය.
''අපි කිසිම දෙයක් නොකරන ගණනයි. අපි බදු ගෙවනවා. රටට වැඩ කරනවා. ඒක ප්‍රමාණවත්. ඒ අතරෙම අපි ''සැබෑ ප්‍රංශවරුන් '' කියල ඔප්පු කරන්නත් වෙලා. අපට ඌරුමස් කන්න වෙලා. වයින් බොන්න වෙලා. හිජාබය අත්හරින්න වෙලා. මිනිගවුම් අඳින්න වෙලා. මේක විහිළුවක්!''
''අන්තවාදී කාලබෝම්බ''
එහෙත් පැරිස් අගනුවරට යාබද 'ඩ්‍රන්සි '(Drancy) මුස්ලිම් පල්ලියේ ඉමාම් පදවියේ සිටින හසන් චල්ගුමි (Hassen Chalghoumi) පවසන්නේ වසර කීපයක් එකදිගට එල්ල වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ආණ්ඩුවට බල කෙරුණ බවය.
ප්‍රතිසංස්කරණවාදී මධ්‍යස්ථ මතධාරියකු වන ඉමාම් හසන් චල්ගුමි එවැනි අදහස් පළකරනු ලැබීමෙන් පසු මරණ තර්ජන රැසකට ගොදුරු වූ අතර ඔහුට සැඟව සිටීමට සිදුව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
''අපි නීතියට ගරුකරන බව සහ අපි ප්‍රංශ සමාජයට හොඳින් අන්තර්ගතව ඇති බව ප්‍රදර්ශනය කිරීම සඳහා අපට තවත් කෙටි දුරක් යායුතුව තිබෙනවා.අන්තවාදීන් නිසා අපට ගෙවන්න සිද්ධවෙලා තියෙන මිල ඒකයි'' මධ්‍යස්ථ මතධාරී ඉමාම්වරයා පවසයි.
'චාර්කි ඩෙනායි' (Charki Dennai) පැරිස් නගරය අසල තවත් ප්‍රධාන මුස්ලිම් පල්ලියකි. ඉස්ලාම් බැතිමතුන් එම පල්ලියට පැමිණෙන අතරවාරයේ ඉමාම් හසන් හකුලාගත් සිය පත්කඩය සහ ශුද්ධ කුරානය සිය කිසිල්ලේ රඳවාගෙන සිටියි.
''මේ තරුණ අන්තවාදීන් කාල බෝම්බ වගෙයි'' ඉමාම් හසන් පවසයි.
''මම හිතනවා ඉමාම්වරු ඔවුන්ට ටිකක් හොඳ වැඩියි කියල. අපි ඉස්ලාම් ධර්මයට වගේම ප්‍රංශ නීතියටත් ගරුකරනවා. ඒ දෙකම කරන්න පුළුවන් දේවල්. මම ඉටුකරන්නේ එයයි''
එහෙත් ප්‍රශ්නය වන්නේ ඉමාම්වරුන්ට මුස්ලිම් තරුණයන් කෙරෙහි ඇතිකළ හැකි බලපෑම කොපමණද යන්නයි. විශේෂයෙන්ම,අන්තවාදී ප්‍රචණ්ඩත්වය කරා මෝරා ගිය පරිසරයක එය තවත් ගැටලුවකි.
''එය ඵල දරන්නේ නැහැ'' රෝයි ඔලිවර් පවසයි.
''ඉතාම සරළ කාරණයක් නිසා ත්‍රස්තවාදීන් සලෆි (Salafi) පල්ලිවලට එන්නේ නැහැ. ත්‍රස්තවාදීන්ගේ ජීවිත කතා ඇහුවොත් ඔවුන් කිසිවෙකු 'සලෆි' පල්ලිවල දේශනාවලින් බිහිවූ නිර්මාණ නොවෙයි.''
සලෆිවාදය දැඩිමතධාරී දහමකි. අන්ත ගතානුගතිකවාදී සලෆිවාදය දේශපාලන ඉස්ලාම්වාදය සමඟ සැසඳෙයි.
පරාරෝපනය වූ තාරුණ්‍යය පාලනය කරගැනීම
ප්‍රංශ රජය විසින් හඳුන්වා දෙනු ලබන නව ප්‍රඥප්තිය විදේශීය බලපෑම් මැඩලීම, ප්‍රචණ්ඩ ක්‍රියා සහ ත්‍රස්ත තර්ජන වැලැක්වීම සහ රාජ්‍යයේ නොසැලකිල්ලට ලක්වූ තරුණයන් කෙරෙහි යළි සමීපවීම අරමුණුකරගත් ප්‍රධාන මූලෝපායී වැඩ පිළිවෙලක එක කොටසකි.
රජයේ පාසල්වල අරාබි භාෂාව ඉගැන්වීම පුළුල්කිරීම සහ නොදියුණු පළාත් සඳහා තවත් ආයෝජන සිදුකිරීම සඳහා පියවර ගත යුතුව ඇතැයි ජනාධිපති මැක්‍රෝන් යෝජනා කරයි. ඒ අතරම සමස්ත මුස්ලිම් ජනතාව නොව ප්‍රංශ නීතිය සහ සාරධර්ම ප්‍රතික්ෂේප කරන ඉස්ලාම්වාදීන්ට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.
හකීම් එල්-කරෝයු (Hakim El-Karoui) මොන්ටේග්නි විද්‍යායතනයේ ( Institut Montaigne) ඉස්ලාම් සංවිධාන පිළිබඳ විශේෂඥයෙකි. එසේම ඔහු ප්‍රංශ ආණ්ඩුවේ බුද්ධි මණ්ඩල කාර්යයන් සඳහාත් දායක වෙයි.
''මම මූලෝපායී කාරණා කෙරෙහි දැඩිව ආශක්තවූවෙක්'' ඔහු පවසයි.
''මෙය විස්තීර්ණ දෙයක්. එය සංස්කෘතියක්. එසේම එය සංවිධාන සහ අරමුදල්වලට අදාළයි''
එහෙත් ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන් මෙවැනි ව්‍යාපෘතීන් සඳහා ඇතුළත් කරගත යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.
''මොකද? ඔවුන්ට ඉස්ලාම් ධර්මයේ ඉතා ප්‍රබුද්ධ විග්‍රහයක් සමාජ මාධ්‍යජාලය ඔස්සේ පතුරුවා හරින්න පුළුවන්. එය
ආණ්ඩුවට සිදුකරන්න බැරි කාර්යයක්''
මේ අතර ඔලිවර් රෝයි පෙන්වාදෙන්නේ පහළ මට්ටමේ මුස්ලිමුන් දිනාගැනීමකින් තොරව ආණ්ඩුවේ ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම දුෂ්කර කාර්යයක් වන බවය.
ප්‍රංශයේ මුස්ලිම් ජනතාව මුස්ලිම් පාලක මණ්ඩලය( CFCM) නොතකා හරිමින්, ඔවුන්ගේ ඉමාම්වරයෙක් පත්කර ගැනීමට තීන්දුකලා කියල හිතමු. එවිට ආණ්ඩුවට කරන්න පුළුවන් කුමක්ද? ආණ්ඩුවට රටේ මුස්ලිම් ප්‍රජා කාණ්ඩ වෙනුවෙන් සහතිකලත් ඉමාම්වරුන් පත්කරන්න බැහැ''
2017 ප්‍රංශ ජනාධිපතිවරණයේ දී තමා සහ පවුලේ සියලු සාමාජිකයන් ජනාධිපති මැක්‍රෝන් වෙනුවෙන් ඡන්දය දුන්බව ඉමාන් මෙස්තවී පවසයි. ඇය එම අදහස් පළකළේ සිය අලුත්ම ප්‍රචාරක 'කැටලොගයට'(catalogue) ඇතුළත් කෙරෙන පින්තූර ගනිමින් සිටින අතරය.
එතැන් පටන්,ආරක්‍ෂාව සහ සංක්‍රමණයවීම වැනි ක්‍ෂේත්‍රයන්හි නිවැරදිකිරීම් අතින් ''විශාල වෙනසක්'' සිදුවූ බව ඇය දැක ඇත.
''මම මැක්‍රෝන්වාදියෙක්'' ඇය පවසන්නීය.
''අපේ ප්‍රජාවේ සැබෑ බලාපොරොත්තුවක් වුණේ මැක්‍රෝන්. නමුත් දැන් අපට දැනෙන්නේ අප අත්හැර දමන ලද බවක්''
මුස්ලිම් ප්‍රවණතා ගැන තවත් තොරතුරු;









