රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්ට විශේෂ වරමක්!

ජනාධිපති පූතින් වසර 2000 පටන් බලයේ සිටී

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති පූතින් වසර 2000 පටන් රුසියාවේ බලයේ සිටී

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් ට අධිකරණ මුක්තිය පිරිනැමෙන නව පනතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහාය හිමි වී තිබේ.

මෙම පනතට අනුව, පූතින්ගේ ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසුව ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කිසිවෙකුට නොහැකි වනු ඇත.

මෙය පසුගිය ජුලි මාසයේ පැවති ජනමත විචාරණයෙන් අනුමත වූ ව්‍යවස්ථා සංශෝධනයට අයත් පනතකි.

රුසියානු පාර්ලිමේන්තුවේ පහළ සහ ඉහළ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම බලය පවතින්නේ ජනාධිපති පූතින් සතුව ය.

මේ වනවිට ජීවතුන් අතර සිටින එකම රුසියානු හිටපු ජනාධිපතිවරයා වන්නේ පුතින්ගේ ආධාරකරුවෙකු වන දිමිත්‍රි මෙද්වේදෙෆ් පමණි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වනවිට ජීවතුන් අතර සිටින එකම රුසියානු හිටපු ජනාධිපතිවරයා වන්නේ පූතින්ගේ ආධාරකරුවෙකු වන දිමිත්‍රි මෙද්වේදෙෆ් පමණි

ජනාධිපති පූතින් ගේ හතරවැනි ධුර කාලය අවසාන වන්නේ 2024දී ය. එමෙන්ම තවත් වාර දෙකක් සඳහා තරග වැදීමට ඔහුට වරම් තිබේ.

68 හැවිරිදි පූතින්ගෙන් පසුව බලය පැවරෙන අනුප්‍රාප්තිකයෙකු සිටින බවක් තවමත් පෙනෙන්නට නැත.

ඔහු වසර 2000 පටන් බලයේ සිටී.

ඔහුගේ ප්‍රධාන විරුද්ධවාදියෙකු වන අලෙක්සි නවාල්නි මෙම පනත දැඩි විවේචනයට ලක් කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

කෙසේ නමුත් පූතින් ට බහුතර බලය හිමි පහළ මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ මෙම පනත තවත් වාර දෙකක් කියවීමට නියමිතය.

"මුළු ජීවිත කාලයටම ජනාධිපතිවරයා"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මුළු ජීවිත කාලයටම ජනාධිපතිවරයා"

අනතුරුව එය ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබ ජනාධිපතිවරයාගේ අත්සන සඳහා ඉදිරිපත් කළ යුතුව පවතී.

කිසිදු අපරාධයකට

ඉන් පසුව, හිටපු ජනාධිපතිවරයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට බලයක් නොමැත. සෝදිසි මෙහෙයුමක් සිදු කිරීමට හෝ ඔහු සතු දේපලක් රාජසන්තක කිරීමට නීතියෙන් අවකාශ නැත.

එමෙන්ම, රාජද්‍රෝහී ක්‍රියාවක් හෝ සුවිශේෂී තත්වයන් යටතේ සිදු කළ අපරාධයකදී හැරෙන්නට ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම සිදු කරනු ලබන කිසිදු අපරාධයකට එරෙහිව නඩු පැවරිය නොහැකි වනු ඇත.

මේ වනවිට ජීවතුන් අතර සිටින එකම රුසියානු හිටපු ජනාධිපතිවරයා වන්නේ පූතින්ගේ ආධාරකරුවෙකු වන දිමිත්‍රි මෙද්වේදෙෆ් පමණි.

කලින් පැවති සෝවියට් සමුහාණ්ඩුවේ අවසාන ජනාධිපතිවරයා වූ මිහායිල් ගොර්බචෝෆ් හිටපු රුසියානු ජනාධිපතිවරයෙකු ලෙස නොසැලකෙන හෙයින් ඔහුට මෙම මුක්තිය හිමි නොවේ.

තවත් දොළොස් වසරකට

මෙම පනත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පවෙල් ක්‍රශේනින්නිකොෆ් කියා සිටියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබඳව සහතිකයක් ලබා දීම තුළින් රුසියානු රාජ්‍යය සහ සමාජය ස්ථාවර වන බවය.

ජනාධිපති පූතින් ගේ ජනාධිපති ධුර කාලය 2024 දී නිමා වීමට නියමිතව තිබූ නමුත් මෙම ප්‍රතිසංස්කරණ මගින් තවත් දොළොස් වසරකට දීර්ඝ කෙරෙනු ඇත. එය වසර හයක් බැගින් වූ වාර දෙකකින් සමන්විතය.

පසුගිය ජුලි මාසයේ පැවති ජනමතවිචාරණය විපක්ෂය විසින් හෙළා දකිනු ලැබ තිබුණි. ඔවුන් පවසන්නේ "මුළු ජීවිත කාලයටම ජනාධිපතිවරයා" ලෙස කටයුතු කිරීමේ අවස්තාව උදා කර ගැනීම එහි අරමුණ වූ බවය.

ජනාධිපති පූතින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.