ජනාධිපති පුතින්ගේ ප්‍රතිවාදියෙක් ගුවනේ දී රෝගාතුර වෙයි - වස දීමක්දැයි සැකයක්

russia,navalni

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අලෙක්සි නවාල්නි රෝගාතුරව ඇත්තේ ඔහු 'ටොම්ස්ක්' සිට මොස්කව් බලා එමින් සිටින අතරමගදීය

රුසියාවේ විපක්ෂයේ ප්‍රධාන ක්‍රියාධරයකු වන අලෙක්සි නවාල්නි (Alexei Navalny) හදිසියේ සිහිසුන්ව රෝහල්ගත කරනු ලැබ ඇති අතර ඔහුට වස දී ඇතැයි සැක කෙරෙන බව ඔහුගේ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.

දූෂණවලට එරෙහිව හඬක් නගන අලෙක්සි ගුවන් ගමනක නිරතවෙමින් සිටියදී හදිසියේ රෝගී වී ඇති අතර ඔහු ගමන් ගනිමින් සිටි යානය 'ඔම්ස්ක්' (Omsk) නගරයට හදිසියේ ගොඩබෑමට පියවර ගත් බව ඔහුගේ ප්‍රකාශිකා කිරා යාර්මිෂ් ( Kira Yarmysh) පවසන්නීය.

සැක කටයුතු යම්කිසි දෙයක් අලෙක්සිගේ තේ කෝප්පයට මුසුකර ඇත යන්න සැක කෙරෙන බවද එම ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

අලෙක්සි නවල්නි ජීවිත අනතුරක නැතත් ඔහුගේ තත්වය බරපතල බව ඔහු ප්‍රතිකාර ලබන රෝහල පවසයි.

හතළිස් හතර හැවිරිදි අලෙක්සි නවාල්නි ජනාධිපති පුතින් දැඩිලෙස විවේචනය කරන්නෙකි.

පසුගිය ජූනි මාසයේ ප්‍රකාශයක් කළ අලෙක්සි නවාල්නි රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ විග්‍රහකර තිබුණේ ''කුමන්ත්‍රණයක්'' සහ ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්'' ලෙසිනි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මගින් ජනාධිපති පුතින්ට තවත් වාර දෙකක් ජනාධිපති පදවියේ සිටීමට දොරටු විවර විය.

russia

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, අලෙක්සිගේ බිරිඳ යුලියා නවල්නයා රෝහලට ළඟාවූ නමුත් ඇයට සිය සැමියා බැලීමට අවසරයක් නොලැබුණි

අලෙක්සිගේ ප්‍රකාශිකාව පැවසුවේ මොනවාද?

කිරා යාර්මිෂ් අලෙක්සි විසින් 2011 වසරේ පිහිටුවන ලද 'දූෂණ විරෝධී පදනමේ' ප්‍රවෘත්ති ලේකම්වරිය ලෙස කටයුතු කරන්නීය.

''අලෙක්සි නවල්නි අද උදෑසන 'ටොම්ස්ක්' (Tomsk) නගරයේ සිට මොස්කව් බලා ආපසු ගමන් ගනිමින් සිටියා'' කිරා විසින් නිකුත් කරන ලද 'ට්විටර්' පනිවුඩයක දැක්වෙයි.

''ගුවන් යානයේ ගමන් ගනිමින් සිටින විට අලෙක්සි රෝගී වුනා. ඒ සමඟ ගුවන්යානය 'ඔම්ස්ක්' නගරයට හදිසි ගොඩබෑමකට ලක් කිරීමට පියවර ගත්තා. අලෙක්සිට විසක් ශරීරගත වෙලා." එම 'ට්විටර්' පණිවුඩයෙහි දැක්වෙයි.

''අලෙක්සිගේ තේ කෝප්පයට යම් දෙයක් මිශ්‍රකොට විසක් ඔහුගේ ශරීරගත කරනු ලැබ ඇතැයි අපි සැක කරනවා.ඔහු උදේ සිට පානය කළේ එම තේ කෝප්පය පමණයි.''

ප්‍රවෘත්ති ලේකම්වරිය විසින් ඉන් අනතුරුව නිකුත් කරන ලද තවත් 'ට්විටර්' පණිවුඩයකින් කියවෙන්නේ ''අලෙක්සි නවාල්නි හුස්ම ගැනීම පහසු කෙරෙන වෙන්ටිලේටරයකට සම්බන්ධ කර ඇති අතර සිහි මූර්ඡාවෙන් පසුවෙන'' බවය.

russia
ඡායාරූප ශීර්ෂ වැකිය, අලෙක්සි නවාල්නි රෝගාතුර වී තිබෙන්නේ 'ටොම්ස්ක්' සිට මොස්කව් බලා ගුවනින් ගමන් ගනිමින් සිටියදීය

එසේම ඒවනවිට රෝගියා රඳවා සිටින රෝහල පොලිස් භටයන්ගෙන් පිරීගොස් ඇති බවත් එහි දැක්වෙයි.

''රෝගියා පිළිබඳ සියලු තොරතුරු සැපයීමට වෛද්‍යවරුන් මුලදී සූදානමින් සිටියත් විස රසායන පරීක්ෂණයකට කල්ගතවෙන බව ඔවුන් දැන් ප්‍රකාශ කරන බවත් ප්‍රවෘත්ති ලේකම් කිරා යාර්මිෂ් පවසයි.

russia

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුවන් යානයේ සිටි අලෙක්සි ගිලන් මැස්සක තබා රෝහල කරා ගෙනයමින්

සෙසු වාර්තාමගින් පැවසෙන්නේ මොනවාද?

'ඔම්ස්ක්' හදිසි ප්‍රතිකාර රෝහලේ ආරංචි මාර්ගයක් උපුටා දක්වන 'ටාස්' (Tass) ප්‍රවෘත්ති ආයතනය මෙසේ වාර්තා කර තිබුණි.

''1976 උපත ලද අලෙක්සි අනතොල්යෙවිච් නවාල්නි (Alexei Anatolyevich Navalny)විස ශරීරගතව දැඩි සත්කාර අංශයේ පසුවෙයි''

කෙසේවුවද, 'ඕම්ස්ක්' රෝහලේ නියෝජ්‍ය වෛද්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින්,''අලෙක්සි නවාල්නිගේ සිරුරට විසක් ඇතුල්වී ඇතැයි නිශ්චිත නොමැති අතර සිරුරෙහි ''ස්වාභාවික විසවීමක්'' සිදුවී ඇද්දැයි සලකා බලනු ලැබීම එක් රෝග විනිශ්චයක් වන බව සඳහන් කළේය.

''වෛද්‍යවරුන් අලෙක්සිගේ ජීවිතය බේරා ගැනීමේ අව්‍යාජ ප්‍රයත්නයක නිරතවෙමින් සිටින'' බවද වෛද්‍ය අනතෝලි කලිනිචෙන්කෝ (Anatoly Kalinichenko) පැවසීය.

'ඔම්ස්ක්' ගුවන් තොටුපොළේ ධාවන පථයේ දී, ඇලෙක්සි නවාල්නි ගිලන් මැස්සක තබා ගිලන් රථයක් කරා ගෙනයන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලයෙහි පළකරනු ලැබ ඇත.

සංවේදී හැඟීම් ඇති කෙරෙන තවත් වීඩියෝ පටයක අලෙක්සි නවාල්නි ගුවන් යානය තුළ වේදනාවෙන් පසුවෙන ආකාරය දක්නට ලැබෙයි.

''ගුවන් යානය ගමන් ආරම්භ කළාට පස්සෙ අලෙක්සි වැසිකිළියට ගියා. නමුත් ඔහු ආපසු එළියට අවේ නැහැ. ඔහු දැඩි අසනීප ගතියකින් පෙළුනා. ඔවුන් ඔහු ආපසු රැගෙන එන්න බලවත් උත්සාහයක නිරතවෙමින් සිටියා. අලෙක්සි වේදනාවෙන් කෑ ගැසුවා'' ගුවන් මගියකු වූ පාවෙල් ලෙබදෙෆ් (Pavel Lebedev) පවසයි.

අලෙක්සි නවාල්නි 'ටොම්ස්ක්' ගුවන් තොටුපොළේ ආපන ශාලාවක තේ කෝප්පයක් බොමින් සිටින ආකාරය පෙන්නුම් කෙරෙන තවත් පින්තූරයක් සමාජ මාධ්‍ය ජාලයේ දක්නට ලැබෙයි.

russia
ඡායාරූප ශීර්ෂ වැකිය, දූෂණ විරෝධී පදනමට අයත් කාර්යාලය තුළට ආණ්ඩුවේ නිලධාරීන් පිවිස ඇත්තේ ඊට හානි කරමිනි

අලෙක්සි නවාල්නි කවුරුන්ද?

අලෙක්සි සිය නම ගොඩනගා ගත්තේ රුසියානු ආණ්ඩුවේ නිලධාරීන්ගේ දූෂණ අනාවරණය කරමිනි.

ඔහු පුතින්ගේ ''එක්සත් රුසියාව'' නම් දේශපාලන පක්ෂය හංවඩු ගසන ලද්දේ ''කපටින්ගේ සහ සොරුන්ගේ පක්ෂය'' ලෙස විග්‍රහ කරමිනි. ඔහුට කිහිපවරක් සිරගතවීමට ද සිදුවිය.

2011 වසරේ ඇලෙක්සි සිරගත කරනු ලැබුනේ පුතින්ගේ 'එක්සත් රුසියාව පක්ෂය' පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්ද දූෂණ සිදුකළ බවට චෝදනා කරමින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයකින් පසුවය.

2013 වසරේ සිරගත කිරීමකට ලක්වුයේ මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමෙනි. එහෙත් එය දේශපාලන හේතු මත සිදුකරන ලද්දක් යයි හෙලා දකිනු ලැබිණි.

2018 ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට ඔහු උත්සාහ ගත් නමුත් එය වලකාලනු ලැබුනේ අලෙක්සි කලින් වංචා චෝදනාවන්ට වරදකරු කරනු ලැබ ඇතැයි පවසමිනි.එහෙත් ඔහු යළිත් කියාසිටියේ එය දේශපාලන කරුණු මත සිදුකරන ලද බාධා කිරීමක් බවය.

ජනාධිපති පුතින්ගේ උදහසට ලක්ව සිටින මාධ්‍යවේදී ව්ලදිමීර් කාරා-මුර්ෂා
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති පුතින්ගේ උදහසට ලක්ව සිටින මාධ්‍යවේදී ව්ලදිමීර් කාරා-මුර්ෂා

අවසර නොලත් විරෝධතා ව්‍යාපාරයක් කැඳවනු ලැබීමෙන් අනතුරුව 2019 ජූලි මාසයේ අලෙක්සි නවාල්නි යළිත් වරක් දවස් තිහක කාලයකට සිර දඬුවමකට යටත් කරනු ලැබ ඇත.

සිරභාරයේ සිටියදී රෝගාතුර වූ ඔහු ''ඔහු චර්ම ආසාත්මිකතාවකට("contact dermatitis") ගොදුරු වී'' ඇති බවට වෛද්‍යවරුන්ගේ නිගමනය විණි. එහෙත් තමා ඉන්පෙර කිසිදු බරපතල ආසාදිත තත්ත්වයකට කිසිදාක ගොදුරු වී නැතැයි අලෙක්සි කියා සිටියේය. මේ අතර ඔහුගේ වෛද්‍යවරයා අදහස් දක්වමින් ''අලෙක්සි යම්කිසි විෂ රසායනයකට ගොදුරු වීමේ ඉඩකඩක් තිබුණා විය හැකි යැයි පවසා තිබුණි. එම අවස්ථාවේ අලෙක්සි පවා කියා තිබුනේ ''විසක් ශරීරගත කරවීමක් සිදු වුනා විය හැකි'' යැයි තමා සිතන බවය.

2017 වසරේ දිනක සිදු වූ විෂබීජ නාශක රසායනික සායමකින් පහරදීමකින් අලෙක්සි ගේ දකුණු ඇස පිළිස්සුනු අතර එමගින් ඔහු බරපතල පීඩාවකට ගොදුරු විය.

අලෙක්සි විසින් මෙහෙයවනු ලබන සංවිධානයක් වන දූෂණ විරෝධී පදනම ''විදේශීය හස්තයක්'' ලෙස ආණ්ඩුව විසින් පසුගිය වසරේ නිල මට්ටමින් ප්‍රකාශයට පත්කරන ලද අතර, එමගින් එම සංවිධානය නිරන්තරයෙන් පරීක්ෂා කර බැලීම සඳහා බලධාරීන්ට අවස්ථාව උදා කරනු ලැබුණි.

අලෙක්සි නවාල්නි මෙවර රෝගාතුර වීම විසක් ශරීරගත කරවීමක් නිසා යයි තහවුරු වුවහොත්,ඒ සමඟ ජනාධිපති පුතින් දැඩිව දෝෂදර්ශනයට ලක්කළ ප්‍රකට චරිත ඉලක්ක කර ගනිමින් කලින් එල්ල කෙරුණු ප්‍රහාර කෙරෙහි යළි විශේෂ අවධානය යොමුවනු ඇත.

එසේ ප්‍රහාරයන්ට ගොදුරු වූ පුද්ගලයන් අතරට දේශපාලනඥයකු වන බොරිස් නෙම්ත්සොෆ් (Boris Nemtsov) මාධ්‍යවේදිනී අනා පොලිත්කොව්ස්කයා (Anna Politkovskaya) සහ බුද්ධි අංශයේ නිලධාරියකුව සිටි අලෙක්සන්දර් ලිත්විනේන්කෝ ද (Alexander Litvinenko) අයත් වෙති.

ඔවුන් අතරින් අනා පොලිත්කොව්ස්කයා වෙඩිතබා මරා දමන ලද අතර අලෙක්සන්දර් ලිත්විනේන්කෝ මරණයට පත්වූයේ එක්සත් රාජධානියේදී විස රසායනයක් ශරීරගත කරවීමෙනි.

ව්ලදිමීර් කාරා-මුර්ෂා (Vladimir Kara-Murza) එවැනි ප්‍රහාරයකට ලක්වූ තවත් මාධ්‍යවේදියෙකි. රුසියාවේ රහස්‍ය අංශ මගින් දෙවතාවක් ම තමාට වසදුන් බව තවමත් ජීවිතය බේරාගැනීමට සමත්ව සිටින එම මාධ්‍යවේදියා පවසයි.

russia
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු රුසියානු රහස් ඔත්තුකරුවෙකු වන අලෙක්සන්දර් ලිත්විනෙන්කෝට එක්සත් රාජධානියේ දී වස දී මරා දමන ලද බවට රුසියාවට චෝදනා එල්ල විය

කියවන්න;