සංක්‍රාන්ති ප්‍රජාවට මද්‍රාසා පාසලක්: "ඔවුන්ට පුළුවන් කුරානය ඉගෙනගෙන ආත්ම ගෞරවයක් ඇතිව වැඩ කරන්න."

බංග්ලාදේශයේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සඳහා වෙන්වූ පළමු ආගමික පාසල ඩකා අගනුවර දී විවෘත විය.

සංක්‍රාන්ති සමාජභාවී සිසු සිසුවියන් 150 දෙනෙකු පමණ මෙම පාසලේ ඉගෙනුම ලබන අතර ඔවුහු ඉස්ලාමීය සහ වෘත්තීය විෂයයන් හදාරති.

මෙම පාසල පවත්වාගෙන යනු ලබන්නේ ඩකා අගනුවර ඉස්ලාමීය පාසල් සඳහා ලැබෙන පෞද්ගලික මූල්‍ය ආධාර මගිනි.

තුන්වැනි ලිංගිකත්වයක් ලෙස බොහෝ දෙනා සලකන සංක්‍රාන්ති සමාජභාවය බංග්ලාදේශයේ නීතිය මගින් නිල වශයෙන් පිළිගෙන ඇත.

ඔවුනට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිය. මැතිවරණ සඳහා තරග කිරීමේ අයිතිය ද ඔවුන් සතුය.

නමුත් සමාජය තුළ තවමත් පවතින ගතානුගතික ආකල්ප හේතුවෙන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ට නිසි අධ්‍යාපනයක් හෝ රැකියාවක් ලබා ගැනීම එතරම් පහසු නොවේ.

එබැවින් බංග්ලාදේශයේ ඇතැම් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ සිය ජීවිකාව සොයා ගැනීම සඳහා නගරයට ඇදී එති. බොහෝ විට ඔවුහු නගරයට පැමිණ, විවාහ හෝ උපන්දින උත්සව සඳහා ගී ගැයීමෙන් සහ නර්තනයේ යෙදීමෙන් සිය දිවි ගැට ගසා ගනිති. ලිංගික ශ්‍රමය සැපයීම ඇතැමුන්ගේ ජීවිකාව බවට පත් වෙයි.

ආණ්ඩුවේ ඇස්තමේන්තුවට අනුව බංග්ලාදේශයේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් දස දහසක් වෙසෙති. නමුත් වෙනත් ඇස්තමේන්තුවල සඳහන් වන්නේ බංග්ලාදේශයේ වෙසෙන මෙම ප්‍රජාව 50,000 ඉක්මවා ඇති බවය.

මින් අති බහුතරය පුරුෂ භාවයෙන් ස්ත්‍රී භාවයට සංක්‍රාන්ති වූවන්ය.

මේ ගැනත් කියවන්න:

"වයස් සීමාවක් නැත"

සංක්‍රාන්ති ප්‍රජාව වෙනුවෙන් බංග්ලාදේශයේ පිහිටවූ පළමු ඉස්ලාමීය මද්‍රාසා පාසල (Dawatul Koran Third Sex Madrassa) විවෘත කිරීම සඳහා පාසල් බලධාරීන්, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජා නායකයෝ සහභාගී වුහ. එය තෙමහල් ගොඩනැගිල්ලකින් සමන්විතය.

අහ්මඩ් ෆර්දොස් බාරි චෞද්රි නමැති ව්‍යාපාරිකයා මියයන විට ඉතිරිකර තිබු මුදල් යොදා ගනිමින් පවත්වාගෙන යන පදනම විසින් මෙම පාසලට මුල්‍ය ශක්තිය ලබා දෙනු ලැබේ. සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට නිසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා එම ව්‍යාපාරිකයාට අවශ්‍යව තිබුණි.

නමුත් මේ දක්වා සංක්‍රාන්ති ප්‍රජාවට පමණක් වෙන්වූ පාසලක් බංග්ලාදේශයේ නොතිබිණි.

ඒ වෙනුවෙන් අභිනවයෙන් ඉදිවුණු මෙම පාසලේ ඉගෙනුම ලැබීමට කැමති සංක්‍රාන්ති පුද්ගලයන්ට වයස් සීමාවක් පනවා නොමැත.

නිසි අධ්‍යාපනයක් ලබන සංක්‍රාන්ති ප්‍රජාවට විවිධ වෘත්තීන් සඳහා ඇතුල්වීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මෙම පාසලේ බලධාරීන් ගේ අපේක්ෂාවයි.

"තමන් තුන්වැනි ලිංගිකත්වයට අයිති ද නැද්ද කියල තේරුම් ගන්නේ තරමක් දැනුම් තේරුම් ඇති වයසට පැමිණි පසුවයි. ඒ නිසා තමයි අපි මේ පාසලට වයස් සීමාවක් දාල නැත්තේ. තමන් සංක්‍රාන්ති ප්‍රජාවට අයත් බව හඳුනාගත් වහාම ඕනෑම කෙනෙකුට මේ පාසලට ඇතුළු වන්නට පුළුවන්. ඒ වනවිට ඔවුන් කුමන වයසක සිටියත් ප්‍රශ්නයක් නැහැ." මද්‍රාසා අධ්‍යයන සහ පුහුණු ලේකම් මොහමඩ් අබ්දුල් අසිස් හුසේයිනි, බීබීසී බෙංගාලි සේවයට පැවසීය.

මෙම පාසලට ඇතුලත් වී සිටින සිසුවියක වන ශිල්පී කියා සිටියේ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගෙන් බහුතරයට ලිවීමේ හෝ කියැවීමේ හැකියාව නොමැති බවය.

"අපට රැකියාවක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අපට නිසි අධ්‍යාපනයක් තිබුණ නම් වඩා හොඳ තැන්වල වැඩ කරන්න තිබුණ. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමයක් නැහැ."

"ඒ නිසා තමයි අපේ මුතුන්මිත්තෝ වගේම අපිටත් සින්දු කියල නටල සල්ලි හම්බකරන්න වෙලා තියෙන්නේ." ශිල්පී බීබීසීයට පැවසුවාය.

"ආත්ම ගෞරවයක් සහිත ගමනක්"

ශිල්පී ගේ පාසල් ජීවිතය වයස අවුරුදු නවයේදී නිමා විය. පාසලේදී ලැබූ අමිහිරි අත්දැකීම් ඊට හේතුවිය.

"මම සංක්‍රාන්ති ප්‍රජාවට අයත් බව මට වැටහෙන විට පාසලේ හැම දෙනාම මට වෛර කළා. මට බය වුණා. මාව විවේචනය කළා."

"ඒ නිසයි මම ඉගෙනීම අතහැරියේ. අපට වෙනම අධ්‍යාපන ක්‍රමයක් තිබුණා නම් හිරිහැරයට ලක් වෙන්නේ නැහැ." ශිල්පී පැවසුවාය.

බංග්ලාදේශයේ සමාජය තුළ මෙන්ම පවුල තුළ ද සංක්‍රාන්ති ප්‍රජාව නොසැලකිල්ලට භාජනය වන බව මද්‍රාසා අධ්‍යයන සහ පුහුණු ලේකම් මොහමඩ් අබ්දුල් අසිස් හුසේයිනි පැවසීය.

"තමන්ගේ දරුවෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් කියල දැනගත්තොත් දෙමාපියන් එයාව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් පිටස්තරයෝ වෙනත් විදියකට සලකාවිද? මේක ඔවුන්ගේ වරදක් නොවෙයි."

"ඔවුන් සමාජයට බරක් නොවී ජීවත් වෙනවා දකින්නයි අපට උවමනා. ඒ නිසයි අපි මේ මද්‍රාසා පාසල පටන් ගත්තේ. ඔවුන්ට පුළුවන් කුරානය ඉගෙනගෙන ආත්ම ගෞරවයක් ඇතිව වැඩ කරන්න." ඔහු පැවසීය.

තුන්වැනි ලිංගික ප්‍රජාවට නිසි අධ්‍යාපනයක් ලබා දීම සඳහා රජයේ හෝ පෞද්ගලික අංශයේ ආධාර ඇතිව මෙවැනි ආයතන පිහිටුවීම පිළිබඳව ශිල්පී ද අගය කරමින් කතා කළාය.

"අපිටත් අවශ්‍යයි අනෙක් අය වගේම ආත්ම ගෞරවයක් සහිත ගමනක් යන්න. අපිටත් ඕනේ අපේ දෙපයින් ම හිටගන්න. මට අවස්ථාවක් ලැබෙනවානම් මම ඒ මාර්ගයේ යනවා."