සමරිසි සහ සංක්‍රාන්ති ප්‍රජාව: "ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?"

    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, BBC

ඡන්ද පොළක බොහෝවිට පෝලිම් දෙකකි. ඒවාත් ගැහැණු සහ පිරිමි වශයෙන් ලොකු අකුරින් ලියා වෙන් කොට ඇත.

ඡන්ද පොළට ඇතුලු වෙද්දි මුලින් ම හමුවන්නේ පොලිස් නිලධාරියා ය.

"මම දැන් හිට ගන්නේ මොන පෝලිමේ ද? අර පෝලිමට ගියොත් මාව එලවයි ද? කොහොම හරි ඇතුළට ගියත්, අයිඩෙන්ටිය දුන්නම මාව අල්ලලා පොලිසියට භාර දෙයිද? ගමේ එවුන් ටික මට හූ කියයි ද? ..."

නිසි වයස පැමිණි කල ඡන්දය ප්‍රකාශ කිරීමට කාටත් අයිතිවාසිකමක් ඇති බව සියල්ලෝ දනිති. නමුත් ඉහත සඳහන් ප්‍රශ්න වැල හිතේ දරාගෙන කිසිදා ඡන්දයක් නොදැමූ ජනකොටසක් ශ්‍රී ලංකාවේ සිටින බව බොහෝ දෙනා නොසිතති.

ඒ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවයි.

ඔවුන්ගේ පෙනුම හැඳුනුම්පතේ පෙනුමට වඩා හාත්පසින් වෙනස් විය හැක. බොහෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෝ උපතේදි තමුන්ට දෙමාපියන් විසින් දෙන ලද නම ද වෙනස් කර ගනිති.

පියෙකුට 'ඇය' තවමත් පුතෙකු නම්, ඡන්ද කාඩ්පත පැමිණෙන්නේ පිරිමි නමට ය. අලුත් හැඳිනුම්පතේ ඇත්තේ ස්ත්‍රී නම ය. මහා ගාලගෝට්ටියක් ඇති කර ගැනීම සඳහා ඡන්ද පොළ නිලධාරීන්ට හා එහි පැමිණ සිටින පිරිසට මෙය ප්‍රමාණවත් ය.

ඉහත කී ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවන්නේ ද කෙසේ හෝ ඡන්දදායකයෙකු ලෙස ලියාපදිංචි වීමට හැකියාවක් ලැබුනොත් පමණි.

නිවස තුළින්ම

ඡන්ද ලැයිස්තුවට තම නම ඇතුළත් කරගැනීම සහ ඡන්ද කාඩ් පත ලබාගැනීම යන කාරනා සැලකීමේ දී එය අභියෝගයක් වී ඇත්තේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවට පමණක් නොවේ. සමරිසි ප්‍රජාවට ද එය ජය ගැනීමට අසීරු අභියෝගයකි.

පියවරෙන් පියවර සලකා බැලුවොත්, එය ආරම්භ වන්නේ තම නිවස තුළින්මය. ඡන්ද ලියාපදිංචිය සිදුවන්නේ ගෘහමූලිකයා විසින් පුරවනු ලබන පෝරමය පදනම් කරගෙනය.

සමරිසි වීම හෝ සංක්‍රාන්ති සමාජභාවී වීම නිසාම, ඒ බොහෝ දෙනා නිවසින් බැහැරව ජීවත් වෙති. තම පවුලෙන් එල්ලවන හිංසාව හෝ පවුලේ නම්බුවට 'හානි වීම' වැලැක්වීම සඳහා ඔවුන් වෙනත් ස්ථානයක ජීවත් වනවා විය හැක.

"මම ගුටි කෑවා"

"පවුලට දැලි ගෑවා කියල මාව ගෙදරින් එළවලා තියෙන්නේ. ඒ නිසා තාත්ත මගේ නම දාල නැහැ." නම හෙළිකිරීමට අකමැති වූ සමරිසි පුද්ගලයෙකු පැවසීය.

ඔහුගේ සමරිසි මිතුරාගේ අත්දැකීම ඊට වෙනස් ය. "මගේ ඡන්ද කාඩ් එක ගන්න එන්න කිව්වා. මම ගෙදර ගියාම ගෙදර අයගෙන් මම ගුටි කෑවා. එදා ඉඳල මම කිසිම මැතිවරණයකදී මගේ කාඩ් එක ගන්න මම ගෙදර ගියේ නැහැ."

එක්තරා සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක් කියා සිටියේ "තාත්ත මගේ නම ලියාපදිංචි කරලා තිබුනත් මගේ අයිඩෙන්ටියට වඩා මගේ පෙනුම දැන් ගොඩක් වෙනස්. මට ඡන්දේ දාන්න යන්න බයයි. ඡන්ද පොළේදි මම හිටගන්නේ ගැහැණු පෝලිමේ ද? පිරිමි පෝලිමේ ද?" යනුවෙනි.

ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය, භූටානය ආදී අසල්වැසි රටවල තත්ත්වය මීට වෙනස්ය. ඒ, සමරිසි බව සහ සංක්‍රාන්ති සමාජභාවී බව නීතියෙන් පිළිගෙන ඇති නිසාය. ඡන්දය ප්‍රකාශ කිරීමේදී අවැසි වන ලිපි ලේඛන ඔවුන් සතුව පවතී.

සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව පිළිබඳව විශේෂ දැනුමක් සහිත විද්වතෙකු සමඟ කතාබහ කිරීමට මට අවස්ථාවක් ලැබුණි. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. සමරිසි ප්‍රජාවගේ සුබ සාධනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෙකි. ඔහු ද සමරිසි කෙනෙකු වීම මෙම සාකච්ඡාවට තවත් සුදුසුකමකැ'යි මම සිතමි.

චත්‍ර සමරිසි සාමුහිකයේ කැඳවුම්කරු ත්‍යාගරාජා වරදාස් මා සමඟ සාකච්ඡාවට එක්වූයේ සිය ආචාර්ය උපාධියේ අධ්‍යයන කටයුතු සඳහා එංගලන්තයට පැමිණ සිටියදී ය. ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා ද ඔහු තෝරාගෙන ඇත්තේ ද සමරිසි සහ සංක්‍රාන්ති සමජභාවී පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විෂය පථයයි.

මේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා කා අතරත් ජනප්‍රිය වී ඇත්තේ 'වරා' යන ආදරණීය නමිනි.

"හැම පුද්ගලයෙකුට ම පවුලක් මූලික කරගත් පදිංචියක් තියෙනවාය යන සංකල්පය මත තමයි මේ ඡන්ද ලියාපදිංචි ක්‍රියාදාමය ආරම්භ වෙන්නේ. පවුල සමඟ පවතින සම්බන්ධතාවය මත පුරවැසියෙකුගේ නෛතික අයිතිවාසිකමක් රඳා පැවතිය යුතු නැහැ. මැතිවරණ කොමිසම මැදිහත් වී විකල්ප ක්‍රම ලබා දිය යුතුයි," වරා සිය ස්ථාවරය පැහැදිලි කළේය.

විකල්ප ක්‍රම කිහිපයක් යෝජනා කරමින් වරා ඒවා සරලව විස්තර කළේ මේ අයුරිනි.

යම් පුද්ගලයෙකුට තනිව ලියාපදිංචි වීමට අවශ්‍ය නම් ඊට සෘජු පහසුකම් සැලසීම:

"එතකොට ඡන්ද කාඩ්පත තමන්ටම ලැබෙනවා. ගෙදරින් ඉවත්වෙලා සිටින අය නැවත ගමට යාමෙන් අවදානමකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ."

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිගැනීමේ සහතිකය (Gender Register Certificate - GRC) නිර්දේශිත අනන්‍යතා සහතිකයක් ලෙස පිළිගැනීම:

"සමහරුන් තමන්ගේ නම වෙනස් කරගෙන අලුත් ID එකක් ගන්නවා. නමුත් ඡන්ද කාඩ්පතේ තියෙන්නේ පරණ නම. ඡන්ද පොලේ නිලධාරියා හයියෙන් කෑගහල නම කියවනවා. ඊට පස්සේ හැමෝම එයාව වට කරගෙන ප්‍රශ්න අහනවා. GRC එක පිළිගන්නවානම් මේ ප්‍රශ්නේ ඉවරයි."

දිවුරුම් ප්‍රකාශයක් පිළිගැනීම:

"GRC එක ගන්න නම් වෛද්‍යවරයෙකු හරහා පිළිගත් නිශ්චිත ක්‍රියාදාමයට භාජනය විය යුතුයි. ඊට මාස හයක් හෝ අවුරුද්දක් ගත වෙනවා. ඒ සඳහා යොමු නොවන අය විශාල පිරිසක් ඉන්නවා. මැතිවරණ නිලධාරීන් මේ අය ගැන සානුකම්පිතව බැලීමට පුහුණු කළ යුතුයි. දිවුරුම් ප්‍රකාශය පිළිගන්නා ලෙස චක්‍රලේඛයක් නිකුත් කළ හැකියි."

ස්ත්‍රී පුරුෂ කියා පෝලිම් දෙකක් වෙනුවට පොදු පෝලිම් ක්‍රමයක් (Gender Neutral Queue) ඇති කිරීම:

"හැඳුනුම්පතේ ඇති නම අනුව යම් පෝලිමකට යාමට පොලිස් නිලධාරියා අණ කළොත් එතැනදී 'ඔහු හෝ ඇය' හිංසාවට ලක්වෙනවා. අනෙක් අය ඉදිරියේ ලැජ්ජාවට පත් වෙනවා."

කල් තියා ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් (Advance Voting) මෙම පිරිස වෙනුවෙන් හඳුන්වා දීම:

"මේක තැපැල් ඡන්දය වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට යළි ගමට ගොස් නින්දාවට හෝ හිංසාවට ලක්වීමේ අවදානමකට මුහුණ දිය යුතු නැහැ. ඡන්ද පොළේදී ලැජ්ජාවට පත් වෙන්නෙත් නැහැ."

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් මෙම විකල්ප ක්‍රමවේද කිහිපය යෝජනා කරන්නේ සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පිරිසට ගැටලුවකින් තොරව තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කර දීම සඳහාය.

හිරිහැරයක්, අවමානයක් හෝ ලැජ්ජාවක් නොවේමැයි!

නමුත් මේ සියලු නෛතික අවශ්‍යතා සපුරා හමාර වීමෙන් පසුව ද එම ප්‍රජාවට අයත් ඇතැමුන් ඡන්ද පොළට යාමට පැකිලෙති.

සමාජයෙන් ඔවුනට හිරිහැරයක්, අවමානයක් හෝ ලැජ්ජාවක් නොවේමැයි යන්න සක්සුදක් සේ සනාථ වනතුරු ඔවුන් සැඟවී දිවි ගෙවනු ඇත.

සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව වෙනුවෙන් හඬක් නැගීමට ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍යවේදීන් පවා පැකිලෙන බව මා හා පැවසුවේ ඒ වෙනුවෙන් හඬක් නගන මාධ්‍යවේදිනියකි.

මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතා මධ්‍යස්ථානයේ ව්‍යාපෘති නිළධාරිනියක සහ 'මීඩියා කෝ' වාර්තාකාරිනියක වන නිරාශා පියවදනි කියා සිටියේ "ඕව කතා කරන්න ගිහින් අපිටත් අන්තිමට කාඩ් වදිනවා" යනුවෙන් පවසා 'කර අරින' මාධ්‍යවේදීන් ද තමන්ට හමුවී ඇති බවය.

දේශපාලනඥයා සහ විද්වතා

"තමන්ටත් කාඩ් වදීවි කියන තැනම තියෙනවා මේ පිරිසට වෙනස් කොට සැලකීමක්. කෑම කනකොට, තේ බොනකොට අපිත් එක්ක කතා කලාට ඒක ප්‍රසිද්ධියේ ලියන්න කියන්න බිය වෙනවා. ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස සමාජය හිතන්න පෙළඹෙන තුරු මොන නීති ගෙනාවත් ඵලක් වේවිද?" ඇය ප්‍රශ්න කරන්නීය.

"මානව හිමිකම් ගැන ලොකුවට කතා කරන ඇතැම් දේශපාලනඥයොත් මේ මාතෘකාවේ දී නිහඬයි. ඒ තමන්ගේ ඡන්ද පදනමට හානියක් වේවි කියල. ඇතැම් විද්වතුන් පවා මාධ්‍ය සාකච්ඡාවලදී මේ ගැන කතා කරන්න මැලි වෙනවා," මාධ්‍යවේදිනී නිරාශා පියවදනි පැවසුවාය.

ශිෆ්නාගේ කතාව

ශිෆ්නා (සත්‍ය නම නොවේ) විසි දෙහැවිරිදි සංක්‍රාන්ති සමාජභාවී තරුණියකි. මඩකලපුවේ මුස්ලිම් පවුලක උපත ලද 'ඇය' සිය දෙමාපියන්ට පුතකු වූවත් දියණියක ලෙස දිවි ගෙවීමට තීරණය කළ හෙයින් ගමෙන් පලා යාමට සිදු විය.

ඇය දැන් රැකියාව කරන්නේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ය. ගමේ උදවියට පවසා ඇත්තේ විදෙස් ගත වී සිටින බවකි.

"ඡන්දයක් නිසා ගෙදරත් නැති වුනා"

"ඉතින් මම කොහොමද ඡන්දය ගැන හිතන්නේ. ආයෙත් වතාවක් ගමට ගිහින් මට ගෙදරින් ගුටිකන්න බැහැ. මගේ පෙනුම දැන් හොඳටම වෙනස්. මට ආයේ කවදාවත් ඡන්දයක් දාන්න ලැබෙන එකක් නැහැ. මමත් කැමතියි සාමාන්‍ය තරුණියක් විදියට මාව සමාජය පිලිගන්නවා නම්."

"මගේ යාලුවෙක් ඡන්දේ දාන්න ගියා. එයාගේ අයි ඩී එකේ තියෙන පිරිමි මුහුණ නෙවෙයි දැන් තියෙන්නේ. මුහුණේ පෙනුම දැන් හොඳටම වෙනස්. ඡන්දෙ දාන්න ගිය වෙලාවේ ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා. හොර චන්දයක් දාන්න ආව කියල. ගමේ හැමෝම ඒක බලාගෙන හිටිය. ඊට පස්සේ, පවුලට නින්දා වුනා කියල ගෙදරින් පැන්නුවා. ඡන්දයක් නිසා එයාට ගෙදරත් නැති වුනා." සිය මිතුරියක ලත් අත්දැකීමක් ශිෆ්නා මට විස්තර කළාය.

"අපිත් සාමාන්‍ය මනුෂ්‍යයෝ..." ඇය සංවේදීව පැවසුවාය."

'මානසික හිංසනය'

'වෙනස සංක්‍රාන්ති සමාජභාවී ජාලයේ' ප්‍රධාන විධායක නිලධාරී තෙනූ රන්කෙත් පවසන පරිදි, සියලු ලිපි ලේඛන සහිතව ජීවත් වන සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ද ඡන්ද පොළ වැනි, අනන්‍යතාව තහවුරු කළ යුතු ස්ථානයකට නොයන්නේ එහිදී විඳින්නට සිදුවිය හැකි 'මානසික හිංසනය' හේතුවෙනි.

"සමහර අයගේ ගෙවල් වලින් ම කියනවා ඡන්දේ දාන්න එන්න එපා, ගමේ අය ඔයාව අඳුන ගනීවි කියල."

"මේ වගේ අය ගෙදරින් ඉවත්වෙලා ජීවත් වෙන්නේ කුලී කාමරයක. ඒවා තාවකාලික ලිපිනයන්. ඒ නිසා ඡන්දෙට ලියාපදිංචි වෙන්න අපහසුයි. ගමට යාමත් අවදානමක්. සමහර අය මට කියල තියෙනවා 'ග්‍රාම සේවක ඔක්කොම විස්තර අහනවා. එයාගෙන් ගමේ අය දැනගනීවි, පවුලේ අයට නින්දාවක් වේවි' කියල." තෙනූ රන්කෙත් පැවසීය.

දණ්ඩ නීති සංග්‍රහය

සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ නීතිය යටතේ තවමත් වරදකරුවකු කොට දඬුවම් ලබා දිය හැකිය.

ඒ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A යන වගන්තිවලට අනුවය.

දණ්ඩනීති සංග්‍රහයට මෙම වගන්ති ඇතුළත් කරන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසිනි. ඒ, මීට වසර 130කට පමණ පෙරය.

මේ ගැනත් කියවන්න: