ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරස් වසංගතය හමුවේ ඉන්දියාවේ ළමා විවාහ ඉහළට: 'මගේ නැන්දයි ආච්ච්යි මට බඳින්න බල කළා'
කොරෝනාවෛරසය හමුවේ ඉන්දියාවේ පනවන ලද ලෝක්ඩවුන් නීති මගින් නව යෞවන වියේ පසුවන දරුවන්ට අහිතකර බලපෑම් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් බාල වයස්කරුවන්, ළමා විවාහ සහ රැකියා වෙත තල්ලු වී ඇති බව බීබීසී මාධ්‍යවේදිනී දිව්‍යා ආර්යා වාර්තා කරයි.
දහතුන් හැවිරිදි රානි සිය ජීවිතයේ පළමු සටන ජයග්‍රහණය කළා පමණි. මේ ග්‍රීෂ්ම සෘතුවේ දී රානිගේ දෙමව්පියන් ඇයට විවාහ වන ලෙස බල කළමුත් බලධාරීන්ගේ උපකාර ඇතිව විවාහය නතර කරවා ගැනීමට ඇයට හැකි විය.
පසුගිය මාර්තු මාසයේ දී පාසල්වල සිට ව්‍යාපාරික ස්ථාන දක්වා වූ සියලුම ආයතන වසා දමමින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුව හදිසියේම ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කළ අවස්ථාව වන විට රානි (සැබෑ නම නොවේ) 08 වෙනි ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටියාය.
ක්ෂයරෝගයෙන් පීඩා විඳිමින් සිටි රානිගේ පියා මසක් තුළ ඇයට සුදුසු සහකරුවෙකු සොයා ගත්තේය.
එය රානිගේ සතුටට හේතු නොවීය. "කෙල්ලන් බඳින්න හැමෝටම මෙච්චර හදිස්සියක් තිබෙන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ," යනුවෙන් ඇය පැවසුවාය. "පාසල් යාමේ වැදගත්කම, මුදල් හම්බ කිරීමට පටන් ගැනීම සහ ස්වාධීන වීම ඒ අයට තේරෙන්නේ නැහැ,"
ඉන්දියාවේ නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට විවාහය තහනම්ය. නමුත් ලොව වැඩි වශයෙන්ම ළමා විවාහ සිදුවන රට ඉන්දියාවයි. යුනිසෙෆ් සංවිධානයේ වාර්තා අනුව එම අගය ලොව සමස්ත ළමා විවාහයන්ගෙන් තුනෙන් එකෙකි. එරට සෑම වසරකදීම වයස අවුරුදු 18 ට අඩු ගැහැණු ළමුන් අවම වශයෙන් පහළොස් ලක්ෂයක්වත් විවාහ කරවන බව එම සංවිධානය ඇස්තමේන්තු කරයි.
2020 එහි වඩාත් නරකම වසර විය හැක. 2019 වසර හා සැසඳීමේ දී ළමා විවාහ සම්බන්ධයෙන් ජුනි සහ ජුලි මාසවල ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 17% ඉහළ ගොස් ඇති බව ළමුන්ට උපකාර කිරීම සඳහා ඇති නිල දුරකතන සේවය වාර්තා කරයි.
මාර්තු අග සිට ජුනි ආරම්භය දක්වා දීර්ඝ කාලයක් පැවති ලොක්ඩවුන් නීති හමුවේ දස ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි විය. ඉන් වැඩි දෙනෙකු ඉන්දියාවේ නොනිල සහ සුරක්ෂිත භාවයක් රහිත රැකියාවල නිරත වූවෝ වෙති. රැකියා අහිමි වීම හමුවේ ඔවුහු තවදුරටත් දුගීභාවයේ අන්තයට තල්ලු වී තිබේ.
ඉන්දීය ආණ්ඩුව පවසන පරිදී ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වන අතරතුර රැකියා අහිමි වීම නිසා සිය ගම්බිම්වලින් බැහැර ගොස් සිටි සංක්‍රමණික සේවකයන් කෝටියකට අධික සංඛ්‍යාවක් යළි සිය නිවෙස් බලා පැමිණ තිබේ. එවැනි පසුබිමක් තුළ බාල වයසේ දියණියන් දීග දීම ඔවුන්ගේ සුරක්ෂිතභාවය සහ සුබ සාධනය තහවුරු කළ හැකි එක් මගක් බව වියවුලට පත්ව සිටින ග්‍රාමීය ප්‍රදේශවලට අයත් බොහෝ දෙමව්පියන්ගේ විශ්වාසය වී තිබේ.
ජුනි මස දී ඉන්දියාවේ ලොක්ඩවුන් නීති ලිහිල් වීම ආරම්භ කෙරුණු නමුත් අහිමි වූ රැකියා යළි නොලැබුණු අතර තවමත් එරට ආර්ථිකය ගමන් ගන්නේ අපහසුවෙනි. පාසල් තවදුරටත් වසා ඇති බැවින් අනතුරට ලක් විය හැකි නව යෞවන වියේ පසුවන දරුවන් නිවෙස්වල කොටු වී ඇත.
ඉන්දියාව පරිවර්තනයකට ලක් කිරීමේ සාධකය පාසල් පද්ධතිය විය. විශේෂයෙන් රානි ජීවත් වන දුගී ප්‍රජාවන් බහුල ඔඩිශා වැනි ප්‍රාන්ත ඒ අතර වේ.
විවාහ වන ලෙස සිය පවුලෙන් දැඩි පීඩනයක් එල්ල වන විටකදී දැරියන්ට උපකාර පතා ගුරුවරුන් සහ මිතුරු මිතුරියන් වෙත ළඟා විය හැකි ස්ථානයකි පාසල.
නමුත් පාසල් වසා දැමීම හමුවේ එකී ආරක්‍ෂිත දැල ගිලිහී ගොස් ඇත.
"අන්ත දුගී ප්‍රජාවන් තුළ, ඉගෙන ගන්නා ලෙස ගැහැණු ළමුන් කොහොමත් දිරිගන්වන්නේ නැහැ. එක් වරක් පාසල් ගමන නැවතුනොත් යළි ඔවුන් ඒ වෙත එවන ලෙස දෙමව්පියන්ට ඒත්තු ගැන්වීම අපහසුයි," යනුවෙන් 'ඇක්ෂන් ඒඩ්' සංවිධානයේ ස්මිතා ඛන්ජොව් පැවසීය. 'ඇක්ෂන් ඒඩ්, ළමා විවාහ සම්බන්ධයෙන් වඩාත්ම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්ත පහේ ක්‍රියාත්මක කරනු ලැබ ඇති යුනිසෙෆ් සංවිධානයේ විශේෂ වැඩසටහන් සමග එක්ව ක්‍රියා කරන සංවිධානයකි.
සිය සමීපතම පාසල් මිතුරිය මේ වසර මුලදී විවාහ කර දුන් බව රානි කියා සිටියාය. නමුත් ළමුන්ට උපකාර කිරීම සඳහා ඇති 'චයිල්ඩ් ලයින්' (Childline) ලෙස හඳුන්වනු ලබන ජාතික හදිසි දුරකතන සේවය ඇමතීමෙන් පසු තමා විවාහ කර දීම නවතා දැමීමට හැකි වූ බව ඇය පවසන්නීය. ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක (NGO) සහ පොලිසියේ උපකාර ඇතිව විවාහ උත්සවය නවතා දැමීමට 'චයිල්ඩ් ලයින්' කාර්ය මණ්ඩලයට හැකි විය.
නමුත් රානි ඉදිරියේ ඇති ගැටලු එතකින් අවසන් වූයේ නැත. ඒ සමගම ඇයගේ පියා මරණයට පත් විය.
"පාසල යළි ආරම්හ කළ පසු මම එහි යනවා. තාත්තා තවදුරටත් අප අතර නැති නිසා දැන් මම තවත් මහන්සි වී වැඩ කළ යුතුයි." යනුවෙන් ඇය පැවසීය. "ගෙදරදොරේ වැඩ කරගෙන යන්න අම්මට උදව් කිරීමට මට වගකීමක් තිබෙනවා,"
'ඇක්ෂන් ඒඩ්' හි ස්මිතා ඛන්ජොව් පවසන පරිදී පිරිමි ළමුන් හමුවේ පවතින්නේ ද භයානක තත්ත්වයකි. සිය පවුලේ පැවැත්ම වෙනුවෙන් කර්මාන්ත ශාලා වෙත වැඩට යෑම සඳහා පිරිමි ළමුන් වෙත බල කෙරෙන සිදුවීම් තමාට සහ සිය ආයතනයේ සගයන්ට වැඩි වශයෙන් වාර්තා වන බව ඇය කියා සිටී.
ඉන්දියාවේ බාල වයස්කාරයෙකු රැකියාවක් ලබා දීම අපරාධමය වරදකි. නමුත් අවසන් වරට කරන ලද 2011 සංගණනයට අනුව ඉන්දියාවේ දෙකෝටි හැට ලක්ෂයක් ළමුන් අතරින් කෝටියක් ශ්‍රමිකයන් වශයෙන් යොදා ගනු ලැබ ඇත.
දරුවන් රැකියාවල යෙදවීම පවුල්වලට පහසු තීන්දුවක් නොවේ. පස් මසක් ලොක්ඩවුන් නීති යටතේ සිටි පන්කජ් ලාල් ජාවාරම්කරුවෙකු තැබූ ලංසුව පිළිගනිමින් සිය දහතුන් හැවිරිදි පුතු රැකියාවකට ලබා දුනි. රික්ෂෝ රැකියාවෙන් ආදායමක් නැති තරම් වුවද ඔහු දරුවන් පස් දෙනෙකුගේ කුස පිරවිය යුතුය.
සිය පුතු තමා වෙසෙන බිහාර් ප්‍රාන්තයේ සිට කිලෝමීටර 1,000 කට අධික දුරකින් පිහිටි රාජස්ථානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට ලාල් එකඟ විය. වළලු නිෂ්පාදනය කරන එම කර්මාන්ත ශාලාවෙන් සිය පුතුගේ ශ්‍රමයට මසකට ඔහුට ලැබෙන මුදල රුපියල් පන්දහසකි. ජීවත් වීමට අරගල කරන පවුලක බඩවියත රැක ගැනීමට එය ප්‍රමාණවත් මුදලකි.
සිය පුතු එතරම් දුරකට පිටත් කර හැරීමට ගත් තීන්දුව ගැන කතා කිරීමට සැරසෙත්ම ලාල් හැඬුම්බර විය.
"මගේ ළමයි දවස් දෙකකින් කාලා තිබුණේ නැහැ," යනුවෙන් ඔහු පැවසීය.
"රස්සාවක් හොයා ගෙන ජාවාරම්කාරයෙක් ගාවට ගියේ මම, ඒත් මේ කියන රස්සාවට කඩිසර ඇඟිලි තිබිය යුතු බව ඔහු කිව්වා,ඔහුට මම වගේ කෙනෙකුගෙන් වැඩක් වුණේ නැහැ. මගේ පුතා ඒ රස්සාවට අරිනවා හැර මට වෙන විකල්පයක් තිබුණේ නැති තරම්."
මගී ප්‍රවාහන සේවා සහ සංචරණ සීමා පැවතියත් ජාවාරම්කරුවෝ සිය බලවත් සබඳතා උපයෝගී කර ගනිමින් අලුත් මාර්ග ඔස්සේ සහ සුඛෝපභෝගී බස් රථ යොදා ගනිමින් දරුවන් ප්‍රාන්ත හරහා ගෙන යති.
'සෙන්ටර් ඩිරෙක්ට්' නමැති රාජ්‍ය නොවන සංවිධායේ ප්‍රධානී සුරේෂ් කුමාර් කියා සිටියේ අර්බුදයක් මග බලා සිටින බවය. වසර 25 කට අධික කාලයක සිට ඔහු ජාවාරම්කරුවන්ගෙන් දරුවන් බේරා ගැනීමේ කටයුතුවල නිරතව සිටී.
"පසුගිය වසරත් එක්ක බලද්දී අප විසින් බේරා ගනු ලැබ ඇති දරුවන් සංඛ්‍යාව දෙගුණයක්. ගම් හිස් කරලා, පසුගිය මාසවලදී ජාවාරම්කරුවන් වඩාත් ශක්තිමත් වී ඇති බවක් පෙනෙන්න තිබෙනවා. බලධාරීන් සහ පොලිසියට වැඩ වැඩි වී තිබෙන ලොක්ඩවුන් කාලයෙන් ඔවුන් ප්‍රයෝජන ගන්නවා," යනුවෙන් ඔහු සඳහන් කළේය.
කෙසේ වුවත් ළමුන් රැකියා සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් 'චයිල්ඩ් ලයින්' වෙත ලැබෙන දුරකතන ඇමතුම්වල පහළ යාමක් පෙන්නුම් කරයි. අමාරු අඩියකට වැටී ඇති දෙමව්පියන් වෙනුවෙන් දරුවන් කරබා සිටීම ඊට හේතු විය හැකි බව ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීහු පවසති.
ළමුන් ජාවරාම් කිරීමට වැට බැඳීම සඳහා ඉන්දීය ආණ්ඩුව පියවර ගෙන තිබේ. ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කිරීම ආරම්භයත් සමග පැවති නීති වඩාත් දැඩි කිරීම, මිනිසුන් ජාවාරම් කිරීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර ශක්තිමත් කිරීමට සහ පුළුල් කිරීමට ප්‍රාන්තවලට උපදෙස් ලබා දීමත් ඊට ඇතුලත්ය.
ජාවාරම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන ලෙසත් වසංගතය අතරේ පවා කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් උපකාර කරන ලෙසත් ප්‍රාන්තවලට දන්වා ඇත.
නමුත් බොහෝ ජාවාරම්කරුවන් ප්‍රබල පුද්ගලයන්ට සම්බන්ධ බැවින් ඔවුන් දඩ මුදල් ගෙවා ගැලවී යන බව ක්‍රියාකාරීහු පවසති. සුරේෂ් කුමාර් කියා සිටියේ පවුල් ජාවාරම් පිළිබඳ පැමිණිලි කරන්නේ ඉතා අල්ප වශයෙන් බවය. පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන පුද්ගලයන්ට තර්ජන එල්ල වන බවත් ඔහු පෙන්වා දෙයි.
ලාල් එක අතකින් වාසනාවන්ත විය. ඔහුගේ පුතු රැගත් බස් රථය අතරමගදී නතර කර එහි සිටි දරුවන් බේරා ගනු ලැබීය. මේ වන විට ඔහුගේ පුතු රාජස්තානයේ පිහිටි ළමා සුබ සාධන මධ්‍යස්ථානයක් වෙත නීරෝධායනය සඳහා යොමු කර ඇත. ඔහි ඉක්මනින්ම සිය නිවස බලා යළි පැමිණෙනු ඇත.
"ඒ වෙලාවේ කරකියා ගන්න දෙයක් තිබුණේ නැහැ," යනුවෙන් ලාල් පැවසීය. "බත් කටකින් ජීවත් වෙන්න වුණත් මම යළි කිසිදාක මගේ ළමයා වැඩට යවන්නේ නැහැ."
මේ ගැනත් කියවන්න: