රෝහින්ග්‍යා සරණාගතයන් 300කට ආසන්න පිරිසක් ඉන්දුනීසියාවට

ඡායාරූප මූලාශ්‍රය, EPA
රෝහින්ග්‍යා සරණාගතයන් 300කට ආසන්න පිරිසක් ඉන්දුනීසියාවට ගොඩ බැස තිබේ. ඔවුන් එම බෝට්ටුවට වී මාස හයක් පමණ මුහුදේ පාවෙමින් සිටි බව ඉන්දුනීසියානු බලධාරීන්ට පවසා ඇත.
ඉන්දුනීසියානු පොලිසිය පවසන්නේ සුමාත්‍රා දුපතට එපිට මුහුදේ පාවෙමින් තිබූ බෝට්ටුව ධීවරයන් පිරිසක් දැක ඇති බවය. එය දැවමය බෝට්ටුවකි.
බෝට්ටුවේ සිටි 297 දෙනා අතර ළමුන් 14 දෙනෙකු ද සිටි බව පොලිසිය පැවසීය.
මියන්මාරයේ සිටින රෝහින්ග්‍යා මුස්ලිම්වරු පසුගිය වසර කීපය තුළ අසල්වැසි රටවල්වලට පලා යමින් සිටිති.
2015 වසරෙන් පසුව එකවර වැඩිම පිරිසක් ඉන්දුනීසියාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බව රෝහින්ග්‍යා අර්බුදය පිළිබඳව සොයා බලන Arakan ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ක්‍රිස් ලෙවා ප්‍රකාශ කළාය.
ඇය තවදුරටත් කියා සිටියේ පසුගිය මාර්තු මාසයේ අග භාගයේ දී හෝ අප්‍රේල් මස මුල් භාගයේ දී මොවුන් බංග්ලාදේශයෙන් පිටත් වී ඇත්තේ මැලේසියාවට යාම සඳහා වන නමුත් කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් මැලේසියානු සහ තායි බලධාරීන් ඔවුන් ආපසු හරවා යවා ඇති බවය.
මෙම සරණාගතයන් පිරිස ප්‍රවාහනය කළ මිනිස් ජාවාරම්කරුවන්ට මුදල් ලබා දෙන තුරු යම් කාලයක් බෝට්ටුව දියඹේ රඳවාගෙන සිටින්නට ඇති බව ඇයගේ අදහසයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA
එම බෝට්ටුවේ සිටි පිරිස "ඉතා දුර්වල ශාරීරික තත්ත්වයකින්" පසුවන බව පෙනෙන්නට ඇතැයි, සරණාගතයන් පිළිබඳව වන එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සම්බන්ධීකාරකයෙක් පැවසීය. අඩු තරමින් එක් සරණාගතයෙකුවත් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මෙම සරණාගතයන්ට අවශ්‍ය ආහාර පාන සහ ඇඳුම් පැළඳුම් ප්‍රදේශවාසීන් විසින් සපයනු ලැබ තිබේ.
"මේ සරණාගතයන්ගේ තත්ත්වය ගැන අපි සැලකිලිමත්. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන්ට උදව් අවශ්‍යයි... ඔවුනුත් අපි වගේම මනුෂ්‍යයෝ." ප්‍රදේශවාසී කාන්තාවක වන අයිස්යාහ්, රොයිටර් පුවත් සේවයට පැවසුවාය.
පසුගිය ජුනි මාසයේදී මෙම ප්‍රදේශයට ම සරණාගතයන් කණ්ඩායම් දෙකක් පැමිණ තිබිණ. සියයක් පමණ වූ එම රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් අතර බහුතරය වූයේ කාන්තාවන් සහ ළමුන්ය.
එම පිරිස මාස හතරක් පමණ මුහුදේ සිටි බවත් මිනිස් ජාවාරම්කරුවන්ගේ පහරදීමට ලක්වූ බවත් ඔවුහු පැවසුහ. ජීවිත රැක ගැනීම සඳහා තමන්ගේ මුත්‍රා පානය කිරීමට ඔවුනට බලකර සිටි බව ද මෙම සරණාගතයන් ප්‍රකාශ කර තිබුණි.
මෙම වසර මුලදී බංග්ලාදේශයෙන් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් 800ක් පමණ පලා ගොස් ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. සඳුදා (සැප්. 07) ඉන්දුනීසියාවට ගොඩබට පිරිස සහ පසුගිය ජුනි මාසයේ පැමිණි පිරිස, එසේ පලාගිය කණ්ඩායම්වලින් කොටසක් විය හැකි බව සැලකේ.
තිස් දෙනෙකු පමණ මුහුද මැද දී මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මියන්මාරයෙන් පලායන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වැඩි පිරිසක් ගොඩ බසින්නේ බංග්ලාදේශයට ය. මේ වන විට රෝහින්ග්‍යා සරණාගතයන් දස ලක්ෂයක් පමණ බංග්ලාදේශයේ ජනාකීර්ණ සරණාගත කඳවුරු තුළ වාසය කරති.
මියන්මාරයේ වෙසෙන මුස්ලිම්වරුන්ගෙන් විශාලතම ප්‍රජාව රොහින්ග්‍යා වන අතර ඉන් බහුතරය වෙසෙන්නේ රඛායින් ප්‍රාන්තයේය.
නමුත් මියන්මාර ආණ්ඩුව පවසන්නේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් වන අතර ඔවුන් මියන්මාරයේ පුරවැසියන් නොවන බවය.
පසුගිය දශකය පුරාම රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වරින්වර මියන්මාරයෙන් බංග්ලාදේශයට පලා යමින් සිටි අතර ආසන්නතම නික්මයාම ආරම්භ වුයේ 2017 දී මියන්මාර හමුදාව මෙහෙයුම් දියත් කිරීමත් සමඟය.
බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය සෑම විටම අවධාරණය කර සිටියේ රඛායින් ප්‍රාන්තයේ පැවති අන්තවාදී තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා මෙහෙයුම් දියත් කිරීමට සිදු වූ බවය.
හේග්හි ජාත්‍යන්තර අධිකරණයේදී සාක්ෂි දෙමින් අවුං සාන් සූචී කියා සිටියේ, මෙම තත්ත්වය රජයේ ආරක්ෂක මුරපොළවලට රෝහින්ග්‍යා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නිර්මාණය වූ "අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක්" බවය.
2017 වසර ආරම්භ වන විට කලින් බුරුමය ලෙස හැඳින්වුන වත්මන් මියන්මාරයේ දශ ලක්ෂයක් පමණ රෝහින්ග්‍යා ජනතාව වාසය කළ අතර ඔවුන්ගෙන් වැඩිදෙනාගේ වාසභූමිය වුණේ රඛයින් (Rakhine) ප්‍රාන්තයයි.
එම ජනතාව අනවසර සංක්‍රමිකයන් ගණයට ඇතුළත් කරන මියන්මාරය, එම ජනයාට පුරවැසිභාවය පිරිනැමීම ප්‍රතික්ෂේප කරයි.
තමන්ට එරෙහිව සිදු කෙරෙන වධ හිංසාවන් සම්බන්ධයෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් දීර්ඝ කාලයක සිට පැමිණිලි කරන අතරවාරයේ, 2017 වසරේදී රඛයින් පළාතට දැවැන්ත යුද හමුදා ප්‍රහාරයක් එල්ල විය.
2017 වසරේදී මියන්මාර් යුද්ධ හමුදාව දියත් කළ මර්දනය හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූහ.








