මාස දෙකක් කුසගින්නේ මුහුද මැද සිටි රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසක් බේරා ගැනේ

A boat carrying suspected ethnic Rohingya migrants is seen detained in Malaysian territorial waters, in Langkawi, Malaysia April 5, 2020

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇතැම් වාර්තා සඳහන් කරන්නේ කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් මෙම බෝට්ටුව මැලේසියාව විසින් ආපසු හරවා යවනු ලැබ ඇති බවකි

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මුහුදේ පාවෙමින් තිබූ බෝට්ටුවක කුසගින්නෙන් පීඩා විඳිමින් සිටි සරණාගතයන් පිරිසක් බේරා ගත් බව බංග්ලාදේශයේ වෙරළාරක්‍ෂක බලකාය පවසයි.

එරට බලධාරීන් කියා සිටියේ අවම වශයෙන් 382 දෙනෙකුවත් බේරා ගත් අතර මොවුන් රොහින්ග්‍යා සරණාගතයන් බවය.

මැලේසියාවට ළඟා වීමට උත්සාහ කරමින් සිට ඇති මෙම බෝට්ටුවේ සිටි පිරිසෙන් 20කට අධික පිරිසක් මරණයට පත් වී ඇති බව ද බලධාරීහු පැවසුහ.

නමුත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් මෙම බෝට්ටුව මැලේසියාව විසින් ආපසු හරවා යවනු ලැබ ඇති බවකි.

මෙම සරණාගතයන් බංග්ලාදේශයෙන් පිටව යන්නන් ද නැතහොත් රොහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව වෙසෙන මියන්මාරය අතහැර යන්නන් ද යන වග තවමත් පැහැදිලි නැත.

මියන්මාර හමුදාව විසින් රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන ප්‍රදේශවල 2017 දී දියත් කරනු ලැබූ මෙහෙයුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම්වරුන් දහස් ගණනක් මරණයට පත් වූ අතර 700,000කට අධික පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ.

Rohingya refugees walk on the muddy road after travelling over the Bangladesh-Myanmar border, Teknaf, 2 Sept 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශ සීමාව හරහා බංග්ලාදේශයට ඇතුළු වන රෝහින්ග්‍යා වැසියන්

"මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා මේ ට්‍රෝලර් යාත්‍රාවේ ඔරොත්තු දෙන ප්‍රමාණයට වඩා වැඩි මගීන් පිරිසක් සිටියා. අඩුම තරමින් රොහින්ග්‍යාවරුන් 382 දෙනෙකු බේරාගෙන'Teknaf' ප්‍රදේශයේ ගොඩබිමට ගෙන ආවා." බංග්ලාදේශ වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක ලුතිනන් ෂාහ් සියා රහ්මාන්, ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

"ඔවුන් හාමත් වෙලා හිටියේ. දවස් 58ක් පුරා මේ බෝට්ටුව මුහුදේ පාවෙමින් තිබිල. අන්තිම දවස් හතේ බෝට්ටුව පාවෙලා තියෙන්නේ අපේ මුහුදු කලාපය තුළ"

ලුතිනන් රහ්මාන් කියා සිටියේ, ලැබුණු ඔත්තුවක් මත දින තුනක් තිස්සේ සෝදිසි මෙහෙයුම් සිදු කළ අතර තුන්වන දින රාත්‍රියේ දී මෙම බෝට්ටුව සොයා ගැනීමට හැකි වූ බවය.

මෙම සරණාගතයන් පිරිස වෙරළේ සිටින ආකාරය දැක්වෙන ඡායාරුප සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණි. වැහැරුණු සිරුරු සහිත පිරිස අතරින් බහුතරය කාන්තාවන් සහ ළමුන්ය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

"ඔවුන් ගොඩබෑ ස්ථානය වටලා අපි ආරක්ෂාව යොදල තියෙන්නේ. ඔවුන්ට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේදැයි පවතින බිය නිසා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් කරගෙන යන්න විදියක් නැහැ." යනුවෙන් ලුතිනන් රහ්මාන් ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති තවත් පුවතක් එම කලාපයෙන් වාර්තා විය. ලක්ෂ ගණනක් වූ රොහින්ග්‍යා සරණාගතයන් සඳහා අන්තර්ජාල පහසුකම් නැවත ස්ථාපනය කරන ලෙස ප්‍රධාන ආධාර ආයතන කිහිපයක් බංග්ලාදේශ සහ මියන්මාර් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

'Save the Children', ''Action Aid සහ 'International Rescue Committee' ඇතුළු ආධාර ආයතන පවසන්නේ කොරෝනාවෛරස් වසංගතයෙන් දිවි බේරා ගැනීම සඳහා තොරතුරු ලබා ගැනීමට අන්තර්ජාල පිවිසුම් අත්‍යවශ්‍ය වන බවය.

බංග්ලාදේශයේ පවතින විශාලතම රොහින්ග්‍යා සරණාගත කඳවුරට අන්තර්ජාල පිවිසුම් අවහිර කිරීමට පසුගිය වසරේ දී එරට ආණ්ඩුව පියවර ගත්තේ ආරක්ෂක හේතුන් මත එසේ සිදුකරන බව පවසමිනි.

Refugees in market area of Ukhia camp - 24 March

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, කොක්ස් බසාර් (Cox's Bazar) දිස්ත්‍රික්කයට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොමැති බව බලධාරිහු පවසති

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දශ ලක්ෂයකට අධික පිරිසකට සෙවන දෙන සරණාගත කඳවුරු සහිත දිස්ත්‍රික්කයක් වසා දැමීමට ද බංග්ලාදේශ බලධාරීහු පසුගිය දා පියවර ගෙන තිබුණි.

ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ නව කොරෝනාවෛරසය පැතිරයාම වලක්වා ගැනීමේ අරමුණින්ය.

මේ අනුව කොක්ස් බසාර් (Cox's Bazar) දිස්ත්‍රික්කයට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොමැති බව බලධාරිහු පැවසූහ.

Presentational grey line
Presentational grey line

දේශ සීමාව ආසන්නයේ ජීවත් වන ප්‍රජා නමයක ජංගම දුරකථන සඳහා අන්තර්ජාල පිවිසුම් ලබා දෙන ලෙස ද ඉහත කී ආධාර ආයතන මියන්මාරයෙන් ඉල්ලා සිටිති.

මේ වනවිට මියන්මාරය තුළ සිටින 350,000ක් පමණ දෙනා නව කොරෝනාවෛරසයට ගොදුරු වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කර තිබුණි.

මියන්මාරයේ වෙසෙන මුස්ලිම්වරුන්ගෙන් විශාලතම ප්‍රජාව රොහින්ග්‍යා වන අතර ඉන් බහුතරය වෙසෙන්නේ රඛායින් ප්‍රාන්තයේය.

නමුත් මියන්මාර ආණ්ඩුව පවසන්නේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් වන අතර ඔවුන් මියන්මාරයේ පුරවැසියන් නොවන බවය.

පසුගිය දශකය පුරාම රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් වරින්වර මියන්මාරයෙන් බංග්ලාදේශයට පලා යමින් සිටි අතර ආසන්නතම නික්මයාම ආරම්භ වුයේ 2017 දී මියන්මාර හමුදාව මෙහෙයුම් දියත් කිරීමත් සමඟය.

බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය සෑම විටම අවධාරණය කර සිටියේ රඛායින් ප්‍රාන්තයේ පැවති අන්තවාදී තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා මෙහෙයුම් දියත් කිරීමට සිදු වූ බවය.

අවුං සාන් සූචී

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අවුං සාන් සූචී

හේග්හි ජාත්‍යන්තර අධිකරණයේදී සාක්ෂි දෙමින් අවුං සාන් සූචී කියා සිටියේ, මෙම තත්ත්වය රජයේ ආරක්ෂක මුරපොළවලට රෝහින්ග්‍යා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නිර්මාණය වූ "අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක්" බවය.

2017 වසර ආරම්භ වෙන විට කලින් බුරුමය ලෙස හැඳින්වුන වත්මන් මියන්මාරයේ දශ ලක්ෂයක් පමණ රෝහින්ග්‍යා ජනතාව වාසය කළ අතර ඔවුන්ගෙන් වැඩිදෙනාගේ වාසභූමිය වුණේ රඛයින් (Rakhine) ප්‍රාන්තයයි.

එම ජනතාව අනවසර සංක්‍රමිකයන් ගණයට ඇතුළත් කරන මියන්මාරය, එම ජනයාට පුරවැසිභාවය පිරිනැමීම ප්‍රතික්ෂේප කරයි.

තමන්ට එරෙහිව සිදු කෙරෙන වධ හිංසාවන් සම්බන්ධයෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් දීර්ඝ කාලයක සිට පැමිණිලි කරන අතරවාරයේ, 2017 වසරේදී රඛයින් පළාතට දැවැන්ත යුද හමුදා ප්‍රහාරයක් එල්ල විය.