කොරෝනා වෛරසය: රෝහින්ග්‍යා සරණාගතයන් මිලියනයක් වෙසෙන දිස්ත්‍රික්කයක් වසා දැමේ

ඡායාරූප මූලාශ්‍රය, AFP
රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් දශ ලක්ෂයකට අධික පිරිසකට සෙවන දෙන සරණාගත කඳවුරු සහිත දිස්ත්‍රික්කයක් වසා දැමීමට බංග්ලාදේශ බලධාරීහු පියවර ගෙන තිබේ.
ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ නව කොරෝනාවෛරසය පැතිරයාම වලක්වා ගැනීමේ අරමුණින් ය.
මේ අනුව කොක්ස් බසාර් (Cox's Bazar) දිස්ත්‍රික්කයට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොමැති බව බලධාරිහු පවසති.
තවම මෙම දිස්ත්‍රික්කයෙන් කිසිදු කොරෝනාවෛරස් ආසාදිතයෙකු වාර්තා වී නොමැත.
නමුත් මෙම වසංගතය පැතිර ගියහොත් අඩුපහසුකම් සහිත සෞඛ්‍ය සේවාවන්ට එය දරාගත නොහැකි වනු ඇති බවට ආධාර ආයතන බිය පළ කරති.
මෙම සරණාගත කඳවුරුවල වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ආවේ මියන්මාර හමුදාව ඔවුන් වෙසෙන පෙදෙස්වල මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුවය. එම මෙහෙයුම් ආරම්භ වූයේ 2017 දීය.
මෙහිදී රෝහින්ග්‍යා මුස්ලිම්වරු 750,000ක් දේශසීමාව තරණය කොට බංග්ලාදේශයට පලා ගියහ.
ඒ වන විටත් මියන්මාර සරනාගතයන් ලක්ෂ ගණනක් බංග්ලාදේශයේ සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, REUTERS
මේ වනවිට මියන්මාරය තුළ සිටින 350,000ක් පමණ දෙනා නව කොරෝනාවෛරසයට ගොදුරු වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කර තිබුණි.
කොක්ස් බසාර් දිස්ත්‍රික්කය වසා දමන බවට එම දිස්ත්‍රික්කයේ ප්‍රධානියා වන කමාල් හුසේන් විසින් බදාදා (අප්‍රේල් 08) දිනයේ අග භාගයේදී නිවේදනය කරනු ලැබුවේ සමස්තයක් වශයෙන් රට පුරා වූ කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යාමත් සමඟය.
පසුගිය දින පහ ඇතුළත බංග්ලාදේශයෙන් වාර්තා වූ කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන දෙගුණ විය.
මේ වන විට 200කට ආසාදිතයන් පිරිසක් බංග්ලාදේශයේ සිටින බවට තහවුරු වී ඇති අතර මරණ 20ක් වාර්තා විය.


"කොක්ස් බසාර් දිස්ත්‍රික්කයට ඇතුළු වීම හෝ ඉන් පිටවීම මෙතැන් පටන් තහනම්" යනුවෙන් කමාල් හුසේන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙම නියෝගය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව "දැඩි පියවර" ගනු ඇති බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
ආධාර සේවා කණ්ඩායම් සඳහා ද දැඩි ලෙස සීමා පනවා තිබේ.
"ඉතා ප්‍රවේසම් සහගතව, හදිසි ආහාර සැපයුම් සහ වෛද්‍ය සේවා පමණක් මෙම කඳවුරු තුළ ඉදිරියට පවත්වාගෙන යා හැකියි." සරණාගතයන් භාර කොමසාරිස් මහ්බුද් අලාම් ටලුක්දර් 'AFP' පුවත් සේවයට පැවසීය.
රට තුළට පැමිණි පිරිස් සරණාගත කඳවුරු වෙත යාමට ප්‍රථම දින 14ක් නිරෝධායනයට ලක් විය යුතු බව ද ඔහු තවදුරටත් පැවසීය.
මෙම කඳවුරු තුළ දැඩි සත්කාර ඒකක පහසුකම් ඇතුළු වෛද්‍ය සේවා සීමා සහිත වීමත්, කඳවුරු තුළ පවතින තදබදය සහිත ජීවන මට්ටම ගැනත් සලකා බැලීමේ දී කොරෝනාවෛරසය ඉක්මනින් පැතිර යා හැකි බවට සහන සේවා ආයතන බිය පළ කර තිබුණි.
පොලිසිය සහ හමුදාව විසින් කොක්ස් බසාර් දිස්ත්‍රික්කයට දිවෙන සියලුම ප්‍රධාන පිවිසුම් මත මාර්ග බාධක දමනු ලැබ ඇති අතර සරණාගත කඳවුරු වටා මුර සංචාර සිදු කරනු ලබයි.
ඉතිහාසය

ඡායාරූප මූලාශ්‍රය, Reuters
2017 වසරේදී මියන්මාර් යුද්ධ හමුදාව දියත් කළ මර්දනය හේතුවෙන් රෝහින්ග්‍යා වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූහ.
මියන්මාරය නිරන්තරයෙන් අවධාරණය කළේ, රඛයින් ප්‍රාන්තයේ අන්තවාදී තර්ජනයකට මුහුණ දීම සඳහා තම හමුදා මෙහෙයුම් දියත් කළ බවය.
හේග්හි ජාත්‍යන්තර අධිකරණයේදී සාක්ෂි දෙමින් අවුං සාන් සූචී කියා සිටියේ, මෙම තත්ත්වය රජයේ ආරක්ෂක මුරපොළවලට රෝහින්ග්‍යා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් නිර්මාණය වූ "අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක්" බවය.
2017 වසර ආරම්භ වෙන විට කලින් බුරුමය ලෙස හැඳින්වුන වත්මන් මියන්මාරයේ දශ ලක්ෂයක් පමණ රෝහින්ග්‍යා ජනතාව වාසය කළ අතර ඔවුන්ගෙන් වැඩිදෙනාගේ වාසභූමිය වුණේ රඛයින් (Rakhine) ප්‍රාන්තයයි.
එම ජනතාව අනවසර සංක්‍රමිකයන් ගණයට ඇතුළත් කරන මියන්මාරය, එම ජනයාට පුරවැසිභාවය පිරිනැමීම ප්‍රතික්ෂේප කරයි.
තමන්ට එරෙහිව සිදු කෙරෙන වධ හිංසාවන් සම්බන්ධයෙන් රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් දීර්ඝ කාලයක සිට පැමිණිලි කරන අතරවාරයේ, 2017 වසරේදී රඛයින් පළාතට දැවැන්ත යුද හමුදා ප්‍රහාරයක් එල්ල විය.
සබැඳි යොමු:









