මහජන බලපෑම් ඉදිරියේ පොලිසියේ වෙනසකට ජනාධිපති ට්‍රම්ප් එකඟ වෙයි

Black Lives Matter march in Washington DC, 15 June

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඇමෙරිකානු පොලිස් සේවයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කීපයක් සඳහා අවසර ලැබෙන විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දී තිබේ.

එහෙත් පොලිසිය විසුරුවා හරින ලෙස සහ ඊට සැපයෙන අරමුදල් අත්හිටවන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම්වලට ජනාධිපතිවරයාගේ අනුමැතිය නොලැබුණි.

එහෙත් ඒ අතර ම පොලිස් නිලධාරීන්ගේ අපචාර හඳුනා ගැනීම සඳහා තොරතුරු ගබඩාවක් නිර්මාණය කිරීමට සහ එම සේවය යහපත් ලෙස වර්ධනය කිරීමට අදාළ කාර්යයන් සඳහා මධ්‍යම ආණ්ඩුවෙන් අරමුදල් සපයන ලෙසත් ජනාධිපති ට්‍රම්ප් නියෝග කරයි.

ඉහත කී ජනාධිපති නියෝගය ප්‍රකාශයට පත්කෙරුණේ ඇමෙරිකානු පොලිස් ප්‍රහාර මගින් කළු ජාතික ඇමෙරිකානුවන් මරා දැමීම් සම්බන්ධයෙන් මහජන කෝපය ඇවිලයාමත් සමඟය. එහෙත් 'වර්ගවාදය' සම්බන්ධයෙන් එක්සත් ජනපදය තුළ පෙරට යමින් පවතින විවාදය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් අදහස් දක්වා නැත.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් නගර කීපයක 'වඩාත් පරිවර්තනශීලී ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගයන්' යෝජනා කරනු ලැබ ඇත.

අඟහරුවාදා (ජූනි 16) ධවල මන්දිරයේදී ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප්, පොලිස් ප්‍රහාර මගින් සිය ආදරණීය ඥාතීන් අහිමි වූ අප්‍රිකානු- ඇමෙරිකානු සම්භවයක් සහිත පවුල් කීපයක් තමා මුණගැසුන බව සඳහන් කළේය. එම කණ්ඩායමට ඇන්ට්වොන් රෝස් (Antwon Rose) බොතම් ජීන් (Botham Jean) සහ අහමඩ් ආර්බරි (Ahmaud Arbery) යන පුද්ගලයන්ගේ පවුල්වල නියෝජිතයෝ ද ඇතුළත් වූහ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපති ට්‍රම්ප්

අහමඩ් ආර්බරි (Ahmaud Arbery) යනු ශාරීරික අභ්‍යාසයක් වශයෙන් ධාවනයේ (jogger) නිරතවෙමින් සිටි කළු ජාතිකයෙකි. ජෝර්ජියා ප්‍රාන්ත වැසියකු වූ ඔහු මේ වසර මුල දිනක මරා දමනු ලැබුණි.

සිය ධවල මන්දිර කතාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, විරෝධතා ව්‍යාපාර සමඟ උද්ගතව පැවති "අරාජික තත්ත්වය" සහ කොල්ලකෑම් හෙලාදකින අතරවාරයේ පොලිස් බලකාය යුක්ති සහගත කිරීමක් ද සිදු කළේය.

"අපි පොදු එකඟතාවකට පැමිණීම අවශ්‍යයි," ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.

"ඒ වුනත් අපේ පොලිස් දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට සහ කැබලිකර දමනු ලැබීමට, ඊට සපයනු ලබන අරමුදල් නතර කිරීමට ගන්නා සටන්කාමී සහ අනතුරුදායක ප්‍රයත්නයට මම සහමුලින්ම විරුද්ධයි'' ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේය.

"පොලිසිය නැතිවුනොත්,එතැන ව්‍යාකූල තත්වයක්!" ඔහු කියා සිටියේය.

"නිල් පැහැ නිල ඇඳුමින් සැරසී මහා මාර්ගයේ නිරතවෙමින් අපට ආරක්ෂාව සලසන නිර්භීත කාන්තාවන්ට සහ පුරුෂයන්ට අපගේ සහයෝගය දිය යුතුය යන්න ඇමෙරිකානුවන්ගේ විශ්වාසයයි," ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ පොලිසියේ කටයුතු යුක්ති සහගත කරමිනි.

"වගකීම, විනිවිදභාවය නංවාලීම, පොලිස් නිලධාරීන් පුහුණුව සඳහා තවත් සම්පත් ආයෝජනය. අලුතින් බඳවා ගැනීම් සහ ප්‍රජා සම්බන්ධතාව වර්ධනය සඳහා පියවර ගතයුතුය යන්න ඇමෙරිකානුවන්ගේ විශ්වාසයයි."

ඉහත සඳහන් කරන ලද පරිදි ඇමෙරිකානු පොලිස් බලකායෙහි අලුත් ප්‍රතිසංස්කරණයක් සිදුකරනු ලබන්නේ, පසුගිය මාසයේ දිනක පොලිස් අත්අඩංගුවේ දී ගෙල සිරකරනු ලැබීමෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්වීමත් සමඟ පැතිර ගිය මහජන උද්ඝෝෂණ සමඟය.

වීඩියෝ ශීර්ෂ වැකිය, එක්සත් ජනපදයේ උද්ඝෝෂණ

ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණයට පත්වුණේ 'මිනිඅපොලිස් ' නගරයේ පොලිස් භටයෙක් ඔහුගේ දණහිසින් විනාඩි නවයක කාලයක් මරණකරුගේ ගෙල සිරකරනු ලැබීමෙනි. එම අමරනයත් සමඟ ලෝකය පුරා මහජන උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වූ අතර "කළු ජාතිකයන්ගේ ජීවිතයත් වටිනා දෙයක්" යන තේරුම දෙන 'Black Lives Matter' ව්‍යාපාරය සංවිධානය වුනේ එම පරිසරය තුළය.

මේ අතර ෆ්ලොයිඩ්ගේ මරණින් අනතුරුව 'ඇට්ලන්ටා' ප්‍රාන්තයේදී තවත් කළු ජාතිකයකුට පොලිසිය විසින් වෙඩිතබා මරා දමනු ලැබීම යළිත් මහජන කෝපය ඇවිලයාමට හේතු විය. රිෂාර්ඩ් බෘක්ස් (Rayshard Brooks) නම් එම කලු ජාතිකයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදු වූ වෙඩිතැබීමකින් මරණයට පත්වූ බවක් වාර්තා කරනු ලැබුණි.

ට්‍රම්ප්ගේ යෝජනා මොනවාද?

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිවේදනය ප්‍රකාශයට පත්කරන ලද්දේ එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන් සහ ඩිමොක්‍රටික්වාදීන් එක්සත් ජනපද පොලිස් බලකාය ප්‍රතිසංස්කරණය සඳහා වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ ක්‍රියාමාර්ගයන් සැලසුම් කරමින් සිටින අතරය.

ජනාධිපතිවරයාගේ විධායක නියෝගයේ ඉලක්කය වන්නේ ''ඉතා ඉහළ මට්ටමේ සේවාවක්'' බලාපොරොත්තුවෙන්, මධ්‍යම ආණ්ඩුවේ ඇතැම් අරමුදල් ප්‍රදානය කිරීමට ප්‍රයත්න දැරීම මගින් පොලිස් දෙපාර්තමේන්තුවේ දියුණුව දිරිමත් කිරීමක් කරනු ලැබීමය.

People help a man who was shot amid clashes in Albuquerque (15/06/20)

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එම සැලැස්ම අනුව පොලිස් නිලධාරීන්ට එරෙහි පැමිණිලි ඇතුළත් මධ්‍යම ආණ්ඩුවේ තොරතුරු සංචිතයක් නිර්මාණය කෙරෙයි. එසේම එහි දිගුවක් වශයෙන්, නිවාස අහිමිවූවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් සම්බන්ධ සිදුවීම් සමඟ කටයුතු කරන අවස්ථාවන්හි දී පොලිස් නිලධාරීන් සමඟ සමාජසේවා නිලධාරීන් ද යොදවනු ඇත.

එම වැඩ පිළිවෙලේ අරමුණ පොලිසිය මහජනයාට සමීප කරවීම යයි ධවල මන්දිරය අවධාරණය කරයි.

එපමණක් නොව,''බලය පාවිච්චි කරනු ලැබීම'' සහ ''ගැටුම්කාරී ස්වභාවය'' සමනය කිරීමට අදාල නිලධාරීන් පුහුණු කිරීමෙහි ඉහල මට්ටමේ ප්‍රමිතීන් සහතික කිරීම වෙනුවෙන්,පොලිස් දෙපාර්තමේන්තුව සඳහා මධ්‍යම ආණ්ඩුවේ අරමුදල් සපයනු ලැබීමට මුල්තැන දීමක් ද ඇමෙරිකානු ජනාධිපති ආඥාවට ඇතුළත් වෙයි.

"එම අලුත් නියෝගයට අයත් ක්‍රියාදාමය තුළ පොලිස් නිලධාරියකුගේ ජීවිතය අනතුරුදායක නොවන අවස්ථාවක අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයකුගේ 'ගෙල සිරකරනු ලැබීම' තහනම් කෙරෙනු ඇත," ජනාධිපති ට්‍රම්ප් පවසයි.

"කවුරුත් කියනවා - මෙය එවැනි තීන්දුවක් ගැනීමට කාලයයි කියල.අපි එය ඉටුකළ යුතුව තියෙනව."

තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා "ගැටුම් මරණීය මට්ටමට යාම වළක්වා ගැනීම සඳහා මාරක නොවන අලුත් අවි හඳුන්වා දීමටත්" ආණ්ඩුව බලාපොරොත්තුවෙන බවත් සඳහන් කළේය.

'ඇට්ලන්ටා' පොලිස් වෙඩි තැබීම ''විශාල අවුලක්'' ඇතිකළ බව සඳහන් කළ ජනාධිපතිවරයා, තම අභිලාශය "ආරක්ෂාව පිළිබඳව" යයි කියාසිටියේය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය සිදු වූ ආකාරයත් ජනාධිපති ට්‍රම්ප් විසින් හෙළා දකිනු ලැබුණි. එහෙත් පොලිස් බලකාය තුළ මුල්බැසගත් වර්ගවාදයක් පවතින බවට එල්ල කෙරෙන චෝදනා ඔහු බැහැර කරයි.

විවේචකයන්ගේ ප්‍රතිචාර

ජනාධිපති ආඥාව මගින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති පොලිස් ප්‍රතිසංස්කරන නිර්දේශ බහුතර ජනතාව බලාපොරොත්තු තැබූ මට්ටමින් පුළුල් වැඩපිළිවෙළක් නොව සීමිත මට්ටමේ එකකැයි විවේචකයෝ පෙන්වා දෙති.

ජනාධිපති ආඥාව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ ඇමෙරිකානු සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ කණ්ඩායමේ නායක චක් ෂූමර් (Chuck Schumer) වඩාත් පුළුල් මට්ටමේ නෛතික වැඩපිළිවෙලක් සම්මත කරගන්නා ලෙස නීති සම්පදකයන්ගෙන් ඉල්ලා සිටියේය.

"අවාසනාවන්ත ලෙස විධායක ජනාධිපති ආඥාව මගින් ඇමෙරිකානු ජනතාව ඉල්ලා සිටි මට්ටමින් අපේ රටේ පොලිස් බලකායන්හි වගකීම සහ අර්ථාන්විත එමෙන්ම සවිස්තරාත්මක ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් වී නැහැ," සෙනේට් සභික චක් ෂූමර් (Chuck Schumer) පවසයි.

මේ අතර ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානී නැන්සි පෙලෝසි (Nancy Pelosi) අදහස් දක්වමින් "සිය ගණනක් ඇමෙරිකානු කළු ජාතිකයන්ට මරණය කැඳවූ පොලිස් ම්ලේච්ඡත්වය සහ වාර්ගික අයුක්තියේ වසංගතයට එරෙහිව සටන් වැදීම සඳහා අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග විධායක ජනාධිපති ආඥාවට ඇතුළත් නොවන'' බව පෙන්වා දුන්නාය.

''ඇමෙරිකානු ජාතිය බලවත් වේදනාත්මක සන්තාපයකින් පසුවෙන මේ මොහොතේ ඉතා අවම නිහඬ යටත් භාවයක් නොව, විශාල වෙනසක් සඳහා බලකළ යුතුව තිබෙනවා'' නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රධානී නැන්සි පෙලෝසි අවධාරණය කරන්නීය.

ජනාධිපති ආඥාවේ තවත් ඌනතාවක් වන්නේ එමගින් දැනට පවතින ''වෘත්තීය මුක්තිය' නිලධාරීන්ට අහිමි නොකෙරීමය.එම මුක්ති මූලධර්මය අනුව,''පැහැදිළිව නීතිගත කරනු ලැබ ඇති'' ව්‍යවස්ථාමය අයිතිවාසිකම් උල්ලංඝනය නොකෙරුණ තත්වයන් යටතේ නඩු පවරනු ලැබීමෙන් බේරීමට ආණ්ඩුවේ නිලධාරීන්ට රැකවරණයක් සැලසෙයි.

පොලිස් ප්‍රතිසංස්කරණයක් සිදුකළ යුතු බවට සහයෝගය දක්වන්නන් කියා සිටින්නේ ,එවැනි මූලධර්මයක් බල පැවැත්වීම යනු නිලධාරීන් වගකීමෙන් මුදාහැරීමක් සිදුකරනු ලැබීමක් වන බවය. එහෙත් එම කාරණය ගැන කතා කිරීම තේරුමක් නොමැති බවත්, ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පවා එම කාරණය අධීක්ෂණය කරනු ලැබීම පසුගිය සඳුදා ප්‍රතික්ෂේප කරන ලද බවත් ධවල මන්දිරය පවසයි.

"ජනාධිපති ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක ආඥාව පතරොමක් එල්ලවීමෙන් ලද තුවාලයක් වෙළුම් පටියකින් එතීමකට සමානයි."

ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ඇමෙරිකා එක්සත් ජනපද ශාඛාවේ අපරාධ යුක්ති ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ට සාමාජිකාවක් වන ක්‍රිස්ටිනා රොත්(Kristina Roth) ඇමෙරිකානු ජනාධිපති විධායක ආඥාව විග්‍රහ කරන ලද්දී එවැනි වචන සමූහයකිනි.

කියවන්න: