ජේකබ් බ්ලේක් සහ ජෝර්ජ් ෆ්ලොයිඩ්: ඇමරිකාවේ පොලිස් ක්‍රෑරත්වයට එරෙහිව විරෝධතා ඇති කරවූ මරණ 11 ක්

Truck ablaze in Kenosha

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙනෝශා නගරයේ ගිනි තබන ලද ට්‍රක් රථයක්

ඇමරිකානු පොලිසිය තවත් කළු ජාතිකයෙකුට වෙඩි තැබීමේ සිදුවීමක් මුල් කර ගනිමින් විස්කොන්සින් ප්‍රාන්තයේ අතර දෙවැනි රාත්‍රියේත් ගැටුම් හට ගැණින.

ගොඩනැගිලි සහ මෝටර් රථවලට ගිනි තබමින් උද්ඝෝෂකයින් විරෝධතා දියත් කළේ ජේකබ් බ්ලේක් (Jacob Blake) නැමති 29 හැවිරිදි කළු ජාතිකයා පොලිස් වෙඩි ප්‍රහාර ගණනාවකට ලක්වී රෝහල්ගත කරනු ලැබීමෙන් අනතුරුවය.

බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කෙරුණු ඔහු ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී තිබෙන බව බලධාරීහු පවසති.

වීඩියෝ ශීර්ෂ වැකිය, The US police shooting of Jacob Blake sparks protests in Wisconsin

ජේකබ් බ්ලේක් කෙනෝෂා නගරයේදී සිය මෝටර් රථයට පිවිසීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහුගේ පිටුපසට වෙඩි ප්‍රහාර එල්ල වන ආකාරය අන්තර්ජාලයේ පළ වී ඇති වීඩියෝවක දක්නට ලැබේ.

වෙඩි තැබීමෙන් අනතුරුව හටගත් නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කෙනෝෂා නගරයේ රාත්‍රිය පුරා ඇඳිරි නීතිය පනවනු ලැබ තිබුන ද ඇතැම් උද්ඝෝෂකයෝ එය නොතකා වීදි බැස සිටියහ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය

පසුගිය මැයි මාසයේ දී පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකගේ මරණයට එරෙහිව පසුගිය කාලය පුරා ඇමරිකාවේ දැවැන්ත උද්ඝෝෂණ පැවැත්විණ.

George Floyd pinned down

ඡායාරූප මූලාශ්‍රය, Darnella Frazier

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු පොලිස් නිලධාරියෙක් බිම වැටී සිටින ජෝර්ජ්ගේ ගෙල සිය දණහිස නවා සිරකර ගෙන සිටින ආකාරය

පොලිස් නිලධාරියෙකු විසින් දණහිස නවා ගෙල සිර කරනු ලැබූ නිරායුධ කළු ජාතිකයා, ජෝර්ජ් ෆ්ලොයිඩ්, ගේ මරණයත් සමග එක්සත් ජනපදයේ වාර්ගික සුළුතර ප්‍රජාවන්ට එරෙහි පොලිස් ක්‍රෑරත්වය පිළිබඳ සංවාදය යළි ආරම්භ විය.

මිනිඇපොලිස් හි (Minneapolis) අවන්හලක ආරක්ෂකයෙකු වශයෙන් සේවය කළ 47 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයා වෙත මැයි 25 වෙනිදා සවස පොලිස් නිලධාරීන් පිරිසක් ළඟා වූහ. ඒ සැක කටයුතු මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් ලැබුණු දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දක්වමිනි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව "මට හුස්ම ගන්න බැහැ" යනුවෙන් ෆ්ලොයිඩ් සුදු ජාතික පොලිස් නිලධාරියා ඉදිරියේ දිගින් දිගටම කොඳුරන ආකාරය ඇසින් දුටුවෙකු විසින් පටිගත කරන ලද මිනිත්තු දහයක වීඩියෝවේ දැක්වෙයි.

ඉහත කී සිදුවීම වාර්තා වුනේ නිව්යෝක් නගරයේ සුදු ජාතික කාන්තාවක් කළු ජාතික පුරුෂයෙකුට එරෙහිව පොලිසියට පැමිණිලි කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වූ දිනයේදීමය.

ඇයගේ සුනඛයා බැඳ නොතැබීම මුල් කර ගනිමින් ඇති වූ සුළු මතභේදයක් ඊට හේතු වී තිබිණි.

2019: දහසකට වැඩි පිරිසක් පොලිස් වෙඩි පහරින් මරුට

Protesters square off against the police in the city of Baton Rouge in 2016

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන් මරණයට පත් වීම තුන් ගුණයකට ආසන්න බව දත්ත පෙන්වා දෙයි

ෆ්ලොයිඩ්ගේ මරණය ඇමරිකාවේ පොලිස් ඝාතන පිළිබඳ නොසතුටුදායක සංඛ්‍යා ලේඛන ඉස්මතු කර පෙන්වයි.

'වොෂිංටන් පෝස්ට්' පුවත්පත රැස් කර තිබෙන දත්තවලට අනුව 2019 වසරේදී ඇමරිකාව තුළ පොලිස් වෙඩි පහරින් මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 1014 කි. වැඩි වශයෙන් ඇමරිකානු කළු ජාතිකයන් ඊට ගොදුරු වී ඇති බව අධ්‍යයන පෙන්වා දෙයි.

පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ කටයුතු කරන 'මැපින් පොලිස් වයලන්ස්' නමැති රාජ්‍ය නොවන සංවිධානය (NGO) කළ අධ්‍යයනයකට අනුව සුදු ජාතිකයන්ට වඩා පොලිසිය අතින් කළු ජාතිකයන් මරණයට පත් වීම තුන් ගුණයකට ආසන්න අගයක් ගනී.

පොලිස් ක්‍රෑරත්වය හමුවේ #BlackLivesMatter (කළු ජීවිතත් වටිනවා) වැනි ව්‍යාපාර බිහි වී තිබේ. ගායිකා බියෝන්සේ සහ පැසිපන්දු (Basketball) ක්‍රීඩක ලෙබ්‍රොන් ජේම්ස් වැනි තරු විසින් ප්‍රසිද්ධියේ එවැනි ව්‍යාපාර අනුමත කරනු ලැබ තිබේ.

පහත දැක්වෙන්නේ පොලිස් ක්‍රෑරත්වයට එරෙහි විරෝධතා හට ගැනීමට හේතු වූ මරණ ගණනාවකින් කීපයකි.

ට්‍රෙවොන් මාර්ටින්, 2012 පෙබරවාරි 26

Picture of Trayvon Martin

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

17 හැවිරිදි කළු ජාතික සිසුවෙකු වූ ට්‍රෙවොන් මාටින් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සැන්ෆර්ඩ් හිදී ජෝර්ජ් සිමර්මන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

ස්පාඤ්ඤ බස කතා කරන ප්‍රජාවට අයත් ස්වේච්ඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ සිමර්මන්, මාටින් ඉදිරියට පැමිණ තිබේ. ඒ ඇතුළු වීම සඳහා සීමා පවතින පෙදෙසක විසූ සිය ඥාතීන් බැලීම සඳහා ට්‍රෙවොන් මාටින් ගිය අවස්ථාවකදීය.

2013 වසරේදී සිමර්මන් වරදකරු නොවන බව ජූරිය නිගමනය කළ අතර තමන් ආත්මාරක්ෂාව පතා ට්‍රෙවොන්ට වෙඩි තැබූ බව පැවසීමට ඔහුට එක්සත් ජනපදයේ නීතියෙන් ඉඩ ලැබිණි. නමුත් කළු ජාතික සිසුවාගේ පවුලේ සාමාජිකයන් සහ මිතුරන් දැඩිව කියා සිටියේ එය ඝාතනයක් බවය.

'Black Lives Matter' සමාජ ව්‍යාපාරය ආරම්භ වීමට එම මරණය තුඩු දුන්නේය.

එරික් ගානර්, 2014 ජුලි 17

Eric Garner

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ බවට සැකපිට නිව්යෝක් නගරයේදී අත්අඩංගුවට ගනු ලැබූ ගානර් හුස්ම ගැනීමේ අපහසුවෙන් මරණයට පත් විය.

බිම පෙරලී පොර බදන අවස්ථාවේ ඩැනියල් පැනටලියෝ නමැති සුදු ජාතික පොලිස් නිලධාරියා සිය ගෙල වටා ඔහුගේ දෑත් යවා සිර කර ගන්නා අතරේ ගානර් අඬමින් "මට හුස්ම ගන්න බැහැ" යනුවෙන් දිගින් දිගටම පවසන ආකාරය පටිගත වී තිබේ.

පැනටලියෝට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම ප්‍රාන්ත ජූරි සභාව ප්‍රතික්ෂේප කළ අතර ඇමරිකාවේ නගර ගණනාවක විරෝධතා ඇතිවීමට එය හේතු විය.

සිදුවීමෙන් පස් වසරකට පසු පැනටලියෝ නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයෙන් නෙරපනු ලැබිණි.

මයිකල් බ්‍රවුන්, 2014 අගෝස්තු 9

Michael Brown

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු වන ඩැරන් විල්සන් සමග ඇති වූ දබරයකින් අනතුරුව දහඅට හැවිරිදි කළු ජාතිකයෙකු වූ මයිකල් බ්‍රවුන් වෙඩි තබා මරා දමනු ලැබීය. එම මරණය 'Black Lives Matter' ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වීමට හේතු විය.

මිසූරි ප්‍රාන්තයේ ෆර්ගියුසන්හි සිදු වූ වෙඩි තැබීමත් සමග එහි ප්‍රචණ්ඩකාරී විරෝධතා හට ගැනිණි. එම විරෝධතා අතරතුර එක් අයෙකු මරණයට පත් වී තවත් ගණනාවක් තුවාල ලැබීය. සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබිණි.

රැකියාවෙන් ඉල්ලා අස් වූ විල්සන්ට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට ජූරි සභාව තීරණය කිරීමත් සමග එම වසරේ නොවැම්බර් මස යළි විරෝධතා හට ගැනිණි.

වෝල්ටර් ස්කොට්, 2015 අප්‍රේල් 4

Walter Scott

ඡායාරූප මූලාශ්‍රය, Family album

දකුණු කැලිෆෝනියාවේ උතුරුදිග චාල්ස්ටන්හිදී පොලිස් නිලධාරී මයිකල් ස්ලැගර් වෙතින් පැන යමින් සිටි පනස් හැවිරිදි කළු ජාතිකයෙකු වූ වෝල්ටර් ස්කොට්ගේ පිටුපසට තෙවරක් වෙඩි තබා තිබිණි.

ස්කොට් පැදවූ මෝටර් රථයේ තිරිංග විදුලි බුබුලක් (බ්‍රේක් ලයිට්) ක්‍රියා නොකිරීම නිසා පොලිස් නිලධාරියා විසින් ඔහු නවතනු ලැබ ඇත. දරුවන්ගේ නඩත්තු මුදල් ගවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඒ වන විට ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

2017 වසරේදී පොලිස් නිලධාරී ස්ලැගර්ට විසි වසරක සිර දඬුවමක් නියම වූ අතර ස්කොට්ගේ පවුලට ඩොලර් මිලියන 6.5 ක වන්දි මුදලක් ගෙවීමට චාල්ස්ටන් බලධාරීන්ට සිදු විය.

ෆ්‍රෙඩී ග්‍රේ, 2015 අප්‍රේල් 12

Freddie Gray

ඡායාරූප මූලාශ්‍රය, Murphy, Fallon, Murphy

වෝල්ටර් ස්කොට්ට වෙඩි තබා යන්තමින් සතියක් පමණ ගත වෙත්ම මේරිලන්ඩ් හි බැ ල්ටිමෝ ප්‍රදේශයෙන් තවත් මතභේදාත්මක සිදුවීමක් වාර්තා විය.

පොලිස් නිලධාරීන්ට සිය සාක්කුවේ පිහියක් හමු වීමෙන් අනතුරුව ආයුධයක් ළඟ තබා ගැනීම මත විසිපස් හැවිරිදි ෆ්‍රෙඩ් ග්‍රේ අත්අඩංගුවට ගනු ලැබිණි.

පොලිස් වෑන් රථයක් වෙත රැගෙන යනු ලබන අවස්ථාවේ ඔහු කෑ ගසන ආකාරය එය දුටුවෙකු විසින් පටිගත කරනු ලැබ තිබේ. ඉන් පැය කීපයකට පසු කශේරුකාවට බරපතල හානි සිදුව තිබු ඔහු රෝහල් ගත කර ඇත.

සතියකට පසු ඔහු මිය ගිය අතර ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් පොලිස් නිලධාරීන් විස්සක් පමණ තුවාල ලැබීය.

ඔහුගේ අත්අඩංගුවට සම්බන්ධ පොලිස් නිලධාරීන් හය දෙනාගෙන් තිදෙනෙකු මරණයට වරදකරුවන් නොවන බව ප්‍රකාශයට පත් විය. සෙසු නිලධාරීන් තිදෙනා කිසිවිටක අදාළ නඩු විභාගයට ඉදිරිපත් නොකෙරිණ.

සැනඩ්රා බ්ලැන්ඩ්, 2015 ජූලි 13

Placard with Sandra Bland's face

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විසිඅට හැවිරිදි බ්ලැන්ඩ්, මාර්ග නීති කඩ කිරීමේ සුළු වරදකට ටෙක්සාස් ප්‍රාන්ත භටයෙකු වන බ්‍රයන් එන්සිනියා විසින් නවතනු ලැබ තිබිණි.

ආරක්ෂක නිලධාරියා තමා වෙත පැමිණෙන අවස්ථාවේ දුම්වැටියක් දල්වා ඇති ඇය එය පිටතට දැමීම ප්‍රතික්ෂේප කර ඇත. බ්ලැන්ඩ් අත්අඩංගුවට ගනු ලැබුණු අතර විරෝධය දැක්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරියෙකුට පහර දුන් බවට වන චෝදනා යටතේ ඇයට ව්රෙහිව නඩු පවරනු ලැබිණි.

දින තුනකට පසු ඇය සිර කුටියේදී සිය දිවි හානි කර ගෙන තිබිණි. බ්ලැන්ඩ් පොලිසිය විසින් ඝාතනය කරනු නොලැබුවත් ඇයගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකාව පුරා කෝපය පල විය.

ඇයගේ මරණය, කළු ජාතික කාන්තා වින්දිතයන්ට එරෙහි පොලිස් ක්‍රෑරත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සමාජීය ව්‍යාපාරයක් වන '#SayHerName' ලෙස ජනතාව අතරට පැමිණියේය.

බ්ලැන්ඩ්, 2018 වසරේදී ඇමරිකාවේ HBO කේබල් ජාලය ඔස්සේ විකාශනය කෙරුණු වාර්තා වැඩසටහනක තේමාව බවට පත් විය.

ෆිලන්ඩෝ කැස්ටයිල්, 2016 ජුලි 6

Philando Castile's grave

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මිනසෝටාහි ෆැල්කන් හයිට්ස් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරී ජෙරනිමෝ යනෙස් විසින් කැස්ටයිල් ගමන් කළ රථය නතර කරනු ලැබීමෙන් අනතුරුව ඔහුට වෙඩි තබන ලදි.

වෙඩි තැබීමෙන් පසු පැවති තත්ත්වය කැස්ටයිල්ගේ පෙම්වතිය විසින් සජීවීව සමාජ මාධ්‍ය වෙත මුදා තිබිණි.

යනෙස්ට එරෙහිව දෙවන මට්ටමේ මිනීමැරීමේ චෝදනා සහ අනතුරුදායක ලෙස ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් නඩු පැවරුණු නමුත් වසරකට අඩු කාලයක් තුළ ජූරි සභාවක් විසින් ඔහු නිදොස් කර නිදහස් කරනු ලැබීය.

බෝතම් ජීන්, 2018 සැප්තැම්බර් 6

Botham Jean

ඡායාරූප මූලාශ්‍රය, Facebook

රාජකාරියෙන් බැහැරව සිටි පොලිස් නිලධාරිනියක් වන ඇම්බර් ගයිගර් විසින් ජීන් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ මහල් නිවසේදීය.

සිය මහල් ගෙය යයි සිතා ඔහුගේ නිවසට තමන් අත්වැරදීමකින් ඇතුළු වූ බවත් සොරෙකු යයි සිතා නිරායුධව සිටි ජීන්ට වෙඩි තැබූ බවත් පොලිස් නිලධාරිනිය පැවසීය.

වසරකට පසු ගයිගර්ට දස වසරක සිර දඬුවමක් නියම විය.

අටාශියානා ජෙෆර්සන්, 2019 ඔක්තෝම්බර් 13

Atatiana Jefferson

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඩල්ලස් හි ෆෝර්ත් වොර්ත් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ නිදන කාමරයේදී විසි අට හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක වූ ජෙෆර්සන් වෙඩි තබා මරා දැමුණු ලැබීය. ඒ ආරොන් ඩීන් නමැති පොලිස් නිලධාරියෙකු විසිනි.

ජෙෆර්සන්ගේ නිවසේ ඉදිරිපස දොරටුව විවෘතව ඇති බව අසල්වැසියෙකු විසින් පොලිසියට දන්වනු ලැබීමෙන් පසු ඇයගේ ලිපිනය වෙත ඩීන් පිටත් කර යවා ඇත. ඇයගේ කාමරයේ ජනේලය හරහා ඔහු වෙඩි තබා තිබේ.

මිනීමැරීමේ චෝදනා යටතේ ඔහුට නඩු පවරා ඇති අතර ඔහු නඩු විභාගයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බ්‍රෙඕනා ටේලර්, 2020 මාර්තු 13

Breonna Taylor

ඡායාරූප මූලාශ්‍රය, Facebook

කෙන්ටකී හි ලුයිස්විල් ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයට ඇතුළු වූ පොලිස් නිලධාරීන් 26 හැවිරිදි හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණ ශිල්පිනියක් වූ බ්‍රෙඕනා ටේලර් වෙත අට වතාවක් වෙඩි තබා තිබිණි.

මත්ද්‍රව්‍ය විමර්ශනයකට අදාලව සෝදිසි කිරීමේ වරෙන්තුවක් මත ඔවුන් එහි පැමිණ තිබූ නමුත් නිවසේ තිබී එවැනි කිසිවක් හමු වී නොතිබිණි.

ටේලර්ගේ පවුලේ විශ්වාසය වී ඇත්තේ පොලිසිය ඇය හෝ ඇයගේ සහකරු සොයා එහි නොපැමිණි බවය. නමුත් ඒ වන විටත් පොලිසිය භාරයේ පසු වූ වෙනත් මහල් නිවාස සංකීර්ණයක වෙසෙන සැකකරුවෙකු සොයා ඔවුන් ඇයගේ මහල් නිවසට ඇතුළු වී ඇති බව ඥාතීන්ගේ විශ්වාසය වී තිබේ.

ලුයිස්විල් පොලිසිය කියා සිටියේ එක් නිලධාරියෙකු වෙඩි වැදී තුවාල ලැබීමෙන් අනතුරුව ප්‍රතිප්‍රහාරයක් වශයෙන් වෙඩි තැබීම සිදු කර ඇති බවය.