ඇමෙරිකානු සුදු පොලිසියට නොඇසුණ කළු ජාතිකයාගේ කෙඳිරිය: උද්ඝෝෂකයෝ පොලිස් ස්ථානයට ගිනි තබති

නගරයේ පොලිස් ස්ථානයට ද ගිනි තබා තිබේ

පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී පසුගිය සඳුදා මරණයට පත් නිරායුධ කළු ජාතිකයා මුල්කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ 'මිනිඅපොලිස්' (Minneapolis) නගරයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර තුන්වෙනි රාත්‍රියේත් ගැටුම් හටගත් අතර, නගරයේ පොලිස් ස්ථානයට ද ගිනි තබා තිබේ.

තත්වය පාලනය කිරීම පිණිස ආණ්ඩුකාරවරයා විසින් ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයින් සිය ගණනක් කැඳවනු ලැබුව ද, දිගටම ගැටුම් පැවතින.

විරෝධතාවාදීන් එලවා දැමීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර වීදි බැස සිටි ජනයා පොලිස් මෝටර් රථවල 'graffiti' රූ සටහන් පින්තාරු කළහ.

පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වුණේ 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) නම් කළු ජාතිකයෙකි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ "මැරවරයින්" ජෝර්ජ් ෆ්ලොයිඩ් සම්බන්ධ "මතකයට අපහාස කරන" බවය.

Screen grab of video posted on Facebook

ඡායාරූප මූලාශ්‍රය, Darnella Frazier

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු පොලිස් භටයෙකු බිම වැටී සිටින ජෝර්ජ්ගේ ගෙල සිය දණහිස නවා සිරකර ගෙන සිටිද්දී, මරණකරු "මට හුස්ම ගන්න බැහැ" යනුවෙන් පවසන ආකාරය වීඩියෝ පටයක සටහන් වී ඇත

ඇමෙරිකානු පොලිස් භටයෙකු බිම වැටී සිටින හතළිස් හය (46) හැවිරිදි ජෝර්ජ්ගේ ගෙළ සිය දණහිස නවා සිරකර ගෙන සිටිද්දී, මරණකරු ''මට හුස්ම ගන්න බැහැ '' (''I can't breathe") යනුවෙන් පවසන ආකාරය වීඩියෝ පටයක සටහන් වී ඇත.

''කළු ජාතිකයකු වීම මරණ දඬුවමට හේතුවක් නොවේ'' යනුවෙන් 'මිනිඅපොලිස්' (Minneapolis) නගරාධිපති ජේකබ් ෆ්රේ (Jacob Frey) ප්‍රකාශ කිරීමත් සමග එම මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හතර දෙනෙකු සේවයෙන් ඉවත් කරනු ලැබ ඇත.

එම පොලිස් නිලධාරීන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් නඩු පවරන මෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටිය ද විමර්ශකයින් පවසන්නේ ඔවුන් තවමත් සාක්ෂි රැස්කරමින් සිටින බවය.

අදාළ වීඩියෝ පටයේ දැක්වෙන පරිදි 'ජෝර්ජ්' බිම දමා ඔහුගේ ගෙළ දණින් සිරකර ගෙන සිටින පොලිස් භටයාට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරන ලෙසත් නගරාධිපති ජේකබ් ෆ්රේ (Jacob Frey) නීති නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

Protesters run from tear gas near the Minneapolis Police third precinct

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලද අතර විරෝධතාකරුවෝ ගල්මුල්වලින් පහර දුන්හ

ජෝර්ජ්ට අත්වූ ඉරණමත් සමග 2014 වසරේ 'නිව්යෝර්ක්' නගරයේදී පොලිසිය එරික් ගාර්නර්ගේ (Eric Garner) ගෙළ සිරකොට මරා දමන ලද අපරාධය යළි සිහිපත් කිරීමකට ද හේතු විය.

2014 ජූලි මස 17 දා දුම්වැටි විකිණීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද එරික් ෆ්රේ පොලිස් භටයකු විසින් ගෙළ සිරකරනු ලැබීම හේතුවෙන් මරණයට පත්විය.

එරික් පොලිසිය ම්ලේච්ඡ අන්දමින් මරා දමන ලද පවසමින් ඊට එරෙහිව මහජන විරෝධතා ව්‍යාපාරයක් දියත් වූ අතර, එය කළු ජාතිකයන්ගේ ජීවිත ගැන හඬ නගන සංවිධානයක් (Black Lives Matter movement) ගොඩ නැගීමට පවා හේතු විය.

මෙවර විරෝධතා ආරම්භ වුණේ, පසුගිය සඳුදා සවස ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමුණ ස්ථානයට සිය ගණනක් ජනතාව අඟහරුවාදා දිනයේ රැස්වීමත් සමගය.

රැස්ව සිටි ජනතාව ''මට හුස්ම ගන්න බැහැ ''(''I can't breathe")යනුවෙන් ජෝර්ජ් සිය ගෙල සිරවී සිටියදී කළ ප්‍රකාශය සහ ඔහුගේ තවත් ප්‍රකාශ හඬ නගද්දී ඔවුන් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් තුළ0 තබා ගැනීමට සහ කොරෝනාවෛරස් අනතුර හේතුවෙන් සමාජ දුරස්ථභාවය යටතේ රඳවා තැබීමට සංවිධායකයෝ උත්සාහ කළහ.

විරෝධතා ව්‍යාපාරයට හවුල්ව සිටි ඇනිටා මරේ (Anita Murray) මෙසේ ප්‍රකාශ කළාය.

කොරෝනා වසංගතය මැද මෙතැනට ඒම භයානකයි. ඒත් කොහොම ද - මම මේ වගේ දෙයකදී ගෙදරට වෙලා ඉන්නේ?''

A fast food restaurant burns in Minneapolis

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, උද්ඝෝෂණ පැවති ස්ථානය ආසන්නයේ තිබුණු ගොඩනැගිලි ගින්නෙන් විනාශ වී ඇති අයුරු

ජෝර්ජ් මරණයට පත් ස්ථානයට රැස්වූ ජනතාව අනතුරුව එතැන සිට එම මරණයට හවුල් පොලිස් භටයන් රැකියාවේ නිරත ස්ථානය යයි සැලකෙන '3rd Precinct' කරා පෙළපාලියෙන් ගමන් ගත්හ.

එහි රැස්වූ විරෝධතාවාදීන් පොලිස් මෝටර් රථ මත සායම් මගින් 'graffiti' පින්තාරු කරමින් පොලිස් ගොඩනැගිල්ලට ගල් පහර එල්ල කළහ.

එම අවස්ථාවේ පොලිසිය කඳුළු ගෑස්, මිනිසුන් අන්දුන් කුන්දුන් කරවන සුළු ශබ්ද බෝම්බ( flash grenades) මෙන්ම පයිප්ප ආදිය පිරිසිදු කිරීම සඳහා පාවිච්චි කරනු ලබන සැර රසායන දියර(foam projectiles) ආදියෙන් විරෝධතාවාදීන්ට පහර දී ඇත.

''ඒ වැඩේ හරි ම කැතයි! පොලිසිය තේරුම් ගන්න ඕන - ඔවුන් විසින් ම නිර්මාණය කරපු මේ තත්ත්වය'' එක් විරෝධතාකරුවෙක් CBS පුවත් සේවයට පැවසීය.

තවත් තැනැත්තෙක් මෙසේ සඳහන් කළේය.

''මම දනින් වැටී සාමයේ සංකේතයක් ප්‍රදර්ශනය කළා. ඒත් ඔවුන් මට කඳුළු ගෑස් ගැහුවා''

විරෝධතාවාදීන් රැඳී සිටි පැත්තෙන් සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකුට තුවාල සිදු වූ අතර ඔහු ජීවිත අවදානමක නැති බව පොලිසිය ප්‍රකාශ කළත් ඔවුන් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දී නොමැත.

People leave a looted Target store near the Minneapolis police precinct

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, උද්ඝෝෂණ පැතිර යාමත් සමග ගොඩනැගිලිවලට අලාභහානි කිරීම් සහ කොල්ලකෑම් වාර්තා විය

ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සිදුවුනේ කුමක්ද?

පොලිසිය පවසන හැටියට ජෝර්ජ් හොර සල්ලි ගනුදෙනුවක නිරත වෙන බවට ලද ඔත්තු අනුව ඔවුන් පියවර ගෙන ඇත.

පොලිසිය පවසන ආකාරයට, ජෝර්ජ් ඔහුගේ වාහනයේ සිටිය දී එහි ලඟා වී එම වාහනයෙන් බසින ලෙස කියා සිටියත්, ඔහු එම අවස්ථාවේ නිලධාරීන්ට ශාරීරික මට්ටමින් විරෝධය පළකර ඇත.

''සැකකරු මාංචු දැමීමට නිලධාරීන් සමත් වුනා.ඔහු අවනත නොවීමේ මානසික මට්ටමක සිටින බව දකින්න ලැබුනා'' පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පොලිස් භටයා ජෝර්ජ්ගේ ගෙල සිර කරගෙන සිටින දර්ශනය ඇතුලත් වීඩියෝ පටයේ දෙපාර්ශවය අතර ආරාවුල ආරම්භ වූ ආකාරය අන්තර්ගත නොවේ.

එමගින් පෙන්නුම් කෙරෙන්නේ සුදු පොලිස් භටයෙක් ඔහුගේ දණහිසෙන් ජෝර්ජ් ගේ බෙල්ල සිරකර ගෙන සිටින ආකාරයයි.

''අනේ, මට හුස්ම ගන්න බැහැ.''

''මාව මරන්න එපා'' යනුවෙන් ජෝර්ජ් කෙඳිරිගාන ආකාරය වීඩියෝ පටයෙන් ඇසෙන අතර, එම ස්ථානයේ සිටි ජනතාව ''ඔහුට යන්න දෙන්න'' යයි පොලිසියෙන් ඉල්ලා සිටිති.

ඒ අතර ජෝර්ජ් පොලිසියෙන් මිදීමට ගත් ප්‍රයත්නය නතර වෙන අතර, ඔහු ගෙන යාමට ගිලන් රථයක් පැමිණෙයි. ජෝර්ජ් රෝහලේ දී අවසන් හුස්ම හෙළීය.

George Floyd

ඡායාරූප මූලාශ්‍රය, Twitter/Ruth Richardson

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝර්ජ් ෆ්ලොයිඩ්

නිල ප්‍රතිචාරය

සිද්ධියට සම්බන්ධ නිලධාරීන් රැකියාවෙන් නෙරපා හරින ලෙස ඉල්ලා සිටීම ගත හැකි නිවැරදිම පියවර යයි 'මිනිඅපොලිස්' නගරාධිපති ජේකබ් ෆ්රේ පවසයි.

''ඇමෙරිකාවේ කළු ජාතිකයකු වී ඉපදීම මරණ දඬුවමක් නොවිය යුතුයි.සුදු පොලිස්කාරයෙක් ඔහුගේ දණහිසෙන් කළු මිනිසකුගේ බෙල්ල සිර කරන ආකාරය අපි විනාඩි පහක කාලයක් දැක්කා.විනාඩි පහක්! කවුරුහරි කෙනෙක් උදව්වක් ඉල්ලුවාම ඒ උදව්ව දීමට අපි අදහස් කරනවා'' නගරාධිපතිවරයා කියා සිටියි.

ඇමෙරිකානු ෆෙඩරල් රහස් ඔත්තු අංශය(FBI) ඉහත කී අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

FBI රහස් ඔත්තු අංශය,පොලිස් භටයාට එරෙහිව ෆෙඩරල් නීතිය යටතේ චෝදනා ගොනුකල හැකිද? යන්න විමර්ශනය සඳහා තමන්ට ලැබෙන තොරතුරු 'මිනසෝටා' ප්‍රාන්ත නීතිපතිවරයා වෙත යොමුකරනු ඇත.

රාජ්‍ය අංශයෙන් පරිබාහිරව විභාගයක් ඉල්ලා සිටින මිනසෝටා සෙනෙට් සභික ඒමි ක්ලෝබුචර් (Amy Klobuchar) මෙපරිද්දෙන් අවධාරණය කරයි.

''මේ මිනිසාට යුක්තිය ඉටුවිය යුතුයි.ඔහුගේ පවුලට යුක්තිය ඉටුවිය යුතුයි.අපේ ප්‍රජාවට යුක්තිය ඉටුවිය යුතුයි.අපේ රටට යුක්තිය ඉටුවිය යුතුයි''

අදාළ පොලිස් භටයන්ට මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පවරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.

සිරුරට වාතය ගෙනයනු ලබන හුස්ම ගැනීමේ මාර්ග කෙලින්ම තෙරපීමකින් තොරව, බෙල්ල හිර කරන්නේ කොහොමද ? යන්න පුහුණුකර ඇති නිලධාරීන්ට ''බලය පාවිච්චි කිරීමේ පිළිවෙතක්'' හැටියට දණහිසක් පාවිච්චි කළ හැකි බව 'මිනසෝටා' පොලිස් අත්පොතේ දැක්වෙයි.

People gather at the Minneapolis Police Department's Third Precinct station on Wednesday

ඡායාරූප මූලාශ්‍රය, Reuters

සංවේදී මරණයක්

2014 වරේ අත්අඩංගුවේ දී මරණයට පත් එරික් ගාර්නර් අත්අඩංගුවට ගැනීමට මුල් වූ පොලිස් භටයා වසර පහකට පසු රැකියාවෙන් ඉවත් කළත් ඔහුට එරෙහිව නඩු පවරනු නොලැබුණි.

'කෙන්ටකි' ප්‍රාන්තයේ සිය නිවසේ සිටි කළු ජාතික කාන්තාවකට සහ 'මේරිලන්ඩ්' හි කළු ජාතිකයකුට පොලිස් වෙදිතැබීම් පසුගියදා ඇමෙරිකානු පොලිසිය විවේචනයට ලක්වීමට බල පෑ තවත් සිදුවීම් විය.

ව්‍යායාමය සඳහා ඇවිදින්නකු මරා දමනු ලැබීමේ අපරාධයක් වසං කිරීම හේතුවෙන් ජෝර්ජියා ප්‍රාන්ත පොලිසිය දෝෂ දර්ශනයට ලක්විය.

මිනසෝටා හි සඳුදා සිදු කෙරුණ පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු සිවිල් නිදහස් ව්‍යාපාරයේ (American Civil Liberties Union) පේජ් ෆර්නන්ඩෂ් මෙසේ සඳහන් කරයි.

'' පොලිසිය විසින් කළු ජාතිකයන්ගේ ජීවිත බිලිගනු ලැබීම වැලැක්වීම අතින් කිසිදු වැදගත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව, ජෝර්ජ් ෆ්ලොයිඩ්, පොලිස් භටයාගේ දණහිසට සිර වී පණ අදින ආකාරය සටහන් වීඩියෝ පටය මගින් පෙන්නුම් කෙරෙනවා''