ජෝර්ජ් ෆ්ලොයිඩ්: ජාතිවාදය පාලනයට පියවර ගත යුතු බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පිළිගනියි

ඡායාරූප මූලාශ්‍රය, PA Media
වර්ගවාදය පාලනය කර ගැනීම සඳහා තම රටට තවත් සිදු කළ යුතු කාර්යභාරයක් ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කරයි.
අගමැතිවරයා එම ප්‍රකාශය කළේ, සියලු ම ආකාරයේ සමාජ විෂමතාවන්ට අදාළ සියලු පාර්ශවයන් නිරීක්ෂණය කිරීම සඳහා අලුත් කොමිසමක් පත් කරමිනි.
'The Telegraph' බ්‍රිතාන්‍ය පුවත්පතට ලිපියක් සපයන අගමැති බොරිස් ජොන්සන්, ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණින් පසු පැතිර ගිය වර්ගවාදයට එරෙහි විරෝධතා ව්‍යාපාර 'රටට ආදරයක් දක්වන කිසිවෙකුට නොතකා හැරිය නොහැකි' බව සඳහන් කර ඇත.
මේ අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමී ප්‍රකාශයක් කරමින්, මෙය තවත් අධීක්ෂණයක් සඳහා නොව ක්‍රියාමාර්ග ගත යුතු කාලයක් බව කියා සිටියේය.
රට තුළ පිහිටුවා ඇති ඓතිහාසික ස්මාරක විරෝධතාවාදීන් විසින් ඉවත් කරනු ලැබීම සම්බන්ධයෙන් අදහස් දක්වන අගමැති බොරිස් ජොන්සන්, "එක්සත් රාජධානිය සිය අතීතය නැවත ලිවීමට" උත්සාහ නොකළ යුතු යයි සඳහන් කර ඇත.
තවදුරටත් අදහස් දක්වන අගමැති බොරිස් ජොන්සන්, එක්සත් රාජධානියේ ඓතිහාසික උරුමයට "සාමකාමීව පැවැතීමට" ඉඩ තිබිය යුතු බවත් පෙන්වා දෙයි.
"අතිදක්ෂිණාංශික මැරයන් කණ්ඩායමක්" ලන්ඩන් නගරයේ පසුගිය සෙනසුරාදා (ජූනි 13) ගෙනගිය ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාරයක් ද අගමැති බොරිස් ජොන්සන්ගේ හෙළා දැකීමට ලක්විය. ස්මාරක ආරක්ෂා කර ගැනීම සඳහා යයි පවසමින් එලෙස දහස් ගණනක් එක්රැස් වීමෙන් පසු පොලිසිය විසින් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුණි.
එම කණ්ඩායමේ මැදිහත් වීම ''පැහැදිලිව ම තේරුමක් නොමැති'' දෙයක් හැටියට විග්‍රහ කරන අගමැති බොරිස් ජොන්සන්, එහෙත් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ගේ පිළිරුව ප්‍රහාර තර්ජනයකට ලක්වීම "බලවත් සංවේගයට'' කරුණක් බවත් සඳහන් කර ඇත.
එවැනි අනතුරුදායක තත්වයක් උද්ගත වුනේ පසුගිය සති අන්තයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අවට රැස්වූ විරෝධතාවාදීන් ශ්‍රීමත් වින්සන්ට් චර්චිල් පිළිරුව මත "ඔහු ජාතිවාදියකු විය'' ("was a racist") යන පාඨය ලියනු ලැබීමෙන් පසුවය.
වර්ගවාදයට එරෙහිව 'බ්‍රිස්ටල්' නගරයෙහි පසුගියදා දියත් කෙරුණ විරෝධතා ව්‍යාපාරයකදී ඊට සහභාගී වූ පිරිසක් විසින් වහලුන් විකිණීමේ ජාවාරමේ නිරත වූ පැරණි වෙළෙඳ නායකයකු වූ එඩ්වර්ඩ් කොල්ස්ටන්ගේ (Edward Colston) පිළිරුවක් ගලවා දියට දමනු ලැබුණි.
කියවන්න:
'මිනිඅපොලිස්' ඇමෙරිකානු නගරයේදී පසුගිය මාසයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මරණය සිදුවීමෙන් අනතුරුව ''කළු ජාතික ජීවිතයටත් වටිනාකමක් දෙන්න'' යන තේරුම ඇතුළත් 'Black Lives Matter ' ව්‍යාපාරයට සහයෝගය දෙමින් එක්සත් රාජධානියේ දියත් කෙරුණ මහජන පෙළපාලිවලට දහස් ගණනින් ජනතාව එක්ව සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අගමැති බොරිස් ජොන්සන් සියළු විෂමතාවන් නිරීක්ෂණය සඳහා කොමිසන් සභාවක් පිහිටුවන බව නිවේදනය කරන ලද්දේ ''වර්ගවාදය පාලනය කරනු ලැබීම අතින් අප මහා ප්‍රගතියක් ලබා ඇතැයි පැවසීම පමණක්'' ප්‍රමාණවත් නොවන බව කියා සිටිමිනි.
"අප සිදුකළ යුතු බොහෝ දේවල් පවතිනවා.අපි ඒවා සපුරා ලන්නෙමු. මෙය සියලු පාර්ශ්ව නියෝජනය කෙරෙන ආණ්ඩුවේ කොමිසන් සභාවක් විසින් සකලවිධ විෂමතාවන් නිරීක්ෂණයට කාලයයි. රැකියා, සෞඛ්‍ය අංශයේ තත්වය සහ ජීවිතයේ සියලු අංශ නිරීක්ෂණය කළ යුතුව ඇත'' අගමැතිවරයා සඳහන් කරයි.
කොරෝනාවෛරසයට ගොදුරුව මරණයට පත්වූවන් අතර බ්‍රිතාන්‍ය සමාජයේ සුළුතර ජනකොටස්වලට අයත්වූවන්ගේ අනුපාතය වැඩි බවක් සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කිරීමත් සමඟ, සෞඛ්‍ය අංශයේ පවතින විෂමතා පිළිබඳ ප්‍රශ්න දිගින් දිගටම මතුකරනු ලැබෙමින් ඇත.
පියවරක් ගැනීමට කාලය ඇවිත්
මේ අතර, අධිකරණය පිළිබඳ ඡායා කැබිනට් ඇමති ඩේවිඩ් ලැමී (David Lammy) පෙන්වා දෙන්නේ සමාජ විෂමතා සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ගණනාවක් සිදුකර ඇති බවය.
අපරාධ යුක්තිය ඉටු කිරීමේ දී කළු සහ ආසියානු සුලුජනයාට පුද්ගලයන් හැටියට වෙනස් ලෙස සලකනු ලබන ආකාරය පෙන්නුම් කෙරෙන තමාගේම වාර්තාවක් සහ හිටපු අගමැතිනි තෙරේසා මේ (Theresa May) විසින් ඉදිරිපත් කරන ලද 'වාර්ගික අසමානතා සංඛ්‍යාත්මකව පෙන්නුම් කෙරෙන වාර්තාවක්' (Race Disparity Audit) ඩේවිඩ් ලැමී මන්ත්‍රීවරයා විසින් උදාහරණ හැටියට සිහිපත් කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
"කවුරුත් තේරුම් ගන්න අවශ්‍යයි- ඇයි, අපට එහෙම දැනෙන්නේ කියල. එක්සත් රාජධානියේ තත්වය ගැන සටහන්, තොරතුරු ආදිය නැවත වතාවක් සොයන්න යනවා. දැන් අපට අවශ්‍ය කරන්නේ, ක්‍රියාමාර්ගයක් ගනු ලැබීම," ඩේවිඩ් ලැමී BBC රේඩියෝ 4 (BBC Radio 4) වැඩසටහනට සහභාගි වෙමින් පෙන්වා දුන්නේය.
"බොරිස් ජොන්සන් අඟවන ආකාරයට කළු ජනතාව ව්‍යාජ රඟපෑමක නිරතවෙමින් සිටිනවා නොවෙයි. ඔවුන් නිර්භීතව ඔවුන්ගේ විරෝධය පළ කරමින් සිටිනවා.මොකද? දැන් නිරීක්ෂණ කාලය ඉවරයි.දැන් උදාවෙලා තියෙන්නේ -ක්‍රියාමාර්ග ගතයුතු කාලය," පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් ලැමී කියා සිටියේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිවරයාගේ නිවේදනය 'තොරතුරු නොමැති හුදු ප්‍රකාශනයක්' වන බවත් සඳහන් කළේය.
"එය කළු ජාතිකයන්ට වටිනාකමක් ඉල්ලා පෙරට යමින් සිටින විරෝධතා ව්‍යාපාරය සැනසීමට කළ ප්‍රකාශයක්. එය 'වැදගත් ප්‍රකාශයක් අවැදගත් පැකට්ටුවක පිටපැත්තේ ලිවීමට සමාන' ක්‍රියාවක්."
අදාළ නීති සම්පාදනය කරන ලෙස සහ කලින් සිදුකරන ලද අධීක්ෂනවල නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලීමක් කරයි.
අගමැති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන අභිනවයෙන් පිහිටුවීමට යන කොමිසමේ කටයුතු ලබන නත්තල් සමය වනවිට අවසන් කළ යුතුව ඇති අතර, එහි වාර්තාව අගමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි දේශපාලන තොරතුරු පිළිබඳ BBC සහකාර සංස්කාරක නෝර්මන් ස්මිත් (Norman Smith) පවසයි.
එවැනි කොමිසමක් පිහිටුවනු ලැබීමේ ප්‍රවෘත්තිය මගින් තමා දිරි ලද බව 'කළු ජාතික ඡන්ද මෙහෙයුම' (Operation Black Vote) නම් සංවිධානයේ නිර්මාතෘ සහ වාර්ගික විෂමතා පිළිබඳ ආණ්ඩුවේ ආයතනයේ (Race Disparity Unit) සභාපති සයිමන් වූලි(Lord Simon Woolley) පවසයි.
තවදුරටත් අදහස් දක්වන වූලි සාමිවරයා කොරෝනා වසංගතයත් සමඟ අනාවරණය වූ අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා වැනි සියලු අංශවල විෂමතා පාලනය කිරීම සඳහා ව්‍යුහාත්මක වෙනසක් සහ ක්‍රියාමාර්ග ගැනීමට නව කොමිසම යොමුවිය යුතුව ඇතැයි සඳහන් කරයි.
රාක්කයට සීමා නොකරන්න
"අප සිටින්නේ ලෝක මට්ටමේ වසංගතයක් මැද.වහාම පිළියම් කළ යුතුව ඇති ගැඹුරින් මුල්බැස ගත් ව්‍යුහාත්මක සමාජ විෂමතා මේ කාලය තුළ බරපතළ මට්ටමින් අනාවරණය වුනා'' ලේබර් පක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලයේ සමාජ සමානත්වය භාර ලේකම් මාර්ෂා ඩි කොර්ඩොවා (Marsha de Cordova) පවසයි.
බ්‍රිතාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සමානාත්මතාව පිළිබඳ ප්‍රකාශිකා ක්‍රිස්ටීන් ජාර්ඩින්(Christine Jardine) අදහස් දක්වමින් අලුතින් කොමිසමක් පිහිටුවනු ලැබීම පළමු යහපත් පියවරක් වන අතර 'Black Lives Matter' ව්‍යාපාරය ජීවමාන බව එමගින් පෙන්නුම් කෙරෙන බවත් සඳහන් කළාය.
''එහෙත් අභිනව කොමිසන් සභා වාර්තාවත් හුදෙක් කරුණු විපරම් කොට පසුව කැබිනට් කාර්යාලයේ රාක්කයට සීමා වන්නක් නොව, ආණ්ඩුව කිසිදු ප්‍රමාදයකින් තොරව එය ක්‍රියාවට නැංවිය යුතුව ඇති බව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ප්‍රකාශිකා ක්‍රිස්ටීන් ජාර්ඩින් අවධාරණය කළාය.
සමාජයේ වාර්ගික ආකල්ප කෙරෙහි පවතින මහජන ආකල්ප පිරික්සීමේ සමීක්ෂණයක් පසුගියදා විරෝධතා ව්‍යාපාර පෙරට යමින් පවතිද්දී සිදුකර ඇති අතර,එමගින් පෙන්නුම් කෙරෙන්නේ, එක්සත් රාජධානියෙහි අන් ජාතීන් ඉවසීම සහ විවිධත්වය අතින් ශුභවාදී වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවය.
වර්ගවාදයට එරෙහි විරෝධතා ව්‍යාපාරවලදී නගන ලද ''වැදගත් කරුණු'' බරපතළ මට්ටමින් සැලකිල්ලට ගත යුතුව ඇතැයි අගමැති බොරිස් ජොන්සන් පවසයි.
"වර්ගවාදයට එරෙහිව සටන් වදිමු.නමුත් අපේ උරුමයේ සාමකාමී පැවැත්මට බාධා නොකරමු.අපට එය වෙනස් කිරීමට අවශ්‍යනම්,අපේ රටේ ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග පවතිනවා," අගමැති බොරිස් ජොන්සන් සඳහන් කරන ලද්දේ විරෝධතා ව්‍යාපාර මැද ස්මාරක ආදිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව පැහැදිළි කරමිනි.
තවත් කියවන්න:










