කොරෝනා වෛරසය අසාදිත ගැබිණි මව්වරු නිරෝගී දරුවන් 100ක් බිහි කරති

    • Author, සෞතික් බිස්වාස්
    • Role, බීබීසී ඉන්දියා වාර්තාකරු

ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලක, කොරෝනාවෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රසූත කර තිබේ.

මුම්බායි නුවර Lokmanya Tilak මහ රෝහලේ පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනාවෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු කරනු ලැබ ඇත.

එම බිළින්දන් 115 දෙනාගෙන් තිදෙනෙකුට පමණක් උපතේදී ම කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එම ළදරුවන් තිදෙනා ද පසුව සුවය ලබා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

නමුත් කොරෝනාවෛරසය අසාදනය වූ ගැබිණි කාන්තාවන් දෙදෙනෙකු එම රෝහලේදී මරණයට පත්වී ඇති අතර ඉන් එක් කාන්තාවක් මියගොස් ඇත්තේ දරු ප්‍රසුතියට පෙරය.

මෙම ආසාදිත මව්වරුන් සිදුකළ දරු උපත්වලින් අඩක් සිසේරියන් සැත්කම් හරහා සිදු වී තිබේ.

උපත ලැබූ දරුවන්ගෙන් 56 දෙනෙකු පිරිමි දරුවන් වූ අතර 59 දෙනෙකු ගැහැණු දරුවන් බව රෝහල් වාර්තා සඳහන් කරයි.

මෙම ගැබිණි මව්වරුනට කොරෝනාවෛරසය ආසාදනය වී ඇත්තේ සිය නිවසේදී ද, රෝහල තුළදී ද නැතහොත් වෙනත් පිටස්තර ස්ථානයකින් ද යන්න තවමත් පැහැදිලි නැත.

කොරෝනාවෛරස වසංගතයෙන් ඉන්දියාවේ වැඩි ම බලපෑමකට ලක් වී ඇත්තේ මුම්බායි නගරයයි.

ආසාදිත මව්වරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම රෝහලේ වෛද්‍යවරුන් 65 දෙනෙකු සහ හෙද හෙදියන් 24 දෙනෙක් පමණ සිටිති.

ඇඳන් 40ක් පමණ සහිත විශේෂ වාට්ටුවක් මෙම ආසාදිත මව්වරුන් සඳහා වෙන්කර ඇති අතර අතර තවත් ඇඳන් 34ක් ඊට එක් කිරීමට රෝහල් බලධරයෝ සැලසුම් කරමින් සිටිති.

මෙම දරු උපත් සියල්ල සිදු වී ඇත්තේ ශල්‍යාගාර තුනක් තුළ පවතින ඇඳන් හයක් මතය. දරු ප්‍රසුතිය සිදු වීමේදී ශල්‍යාගාරය තුළ සිටින වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ආරක්‍ෂිත සායනික ඇඳුම් කට්ටල හැඳ සිටිති.

"ආසාදිත මව්වරුන්ගෙන් වැඩි පිරිසක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම ඇත්තටම වාසනාවක්. ඇතැම් මව්වරුන් උණ සහ ශ්වසන අවහිරතා පෙන්නුම් කළා. දරු ප්‍රසුතියෙන් පසුව ඒ අයට ප්‍රතිකාර කරලා නිවසට පිටත් කර හැරියා," රෝහලේ මාතෘ හා ළමා අංශයේ ප්‍රධාන වෛද්‍ය අරුන් නායක් පැවසීය.

"මේ ගැබිණි මව්වරු දැඩි ආතතියකින් පෙළෙනවා. ඔවුන් නිතර ම ඉල්ලා සිටිනවා තමන් මිය යා හැකි නමුත් දරුවාගෙ ජීවිතේ බේරන්න කියල." ඔහු ප්‍රකාශ කළේය.

දරුවා ප්‍රසුත කළ පසු මව සහ දරුවා විශේෂ වාට්ටුවක රඳවා තබනු ඇත. එය කොවිඩ්-19 රෝගීන් සඳහා පමණක් වෙන් වූ වාට්ටුවකි. මෙහිදී මව්වරුනට hydroxychloroquine ඖෂධය ලබා දෙයි.

අනතුරුව දින 10ක නිරෝධායන කාලයක් සඳහා මොවුන් වෙනත් මධ්‍යස්ථානයකට යැවෙනු ඇත.

අලුත උපන් දරුවන් මවගෙන් වෙනකොට නොතබන අතර මුහුණු ආවරණ පැළඳ මව්කිරි ලබා දීම සිදු කෙරේ.

චීනයේ වූහාන් නගරයේ උපත ලද බිලිඳෙකුගේ සිරුරේ කොරෝනාවෛරසය තිබෙන බවට උපතින් පැය 30කට පසුව තහවුරු වූ බව පසුගිය පෙබරවාරියේ වාර්තා විය.

චිකාගෝ නුවර දී අලුත උපන් බිළිඳෙකු කොරෝනාවෛරසය ආසාදනය වීම නිසා මරණයට පත් වූ බව මාර්තු මාසයේදී වාර්තා විය.

බ්‍රිතාන්‍යයේ වේල්ස් හි තුන් හැවිරිදි දරුවෙකුද මරණයට පත් වූයේ මවට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවය.

මවගේ ශ්වශන පද්ධතිය ආශ්‍රිත ශ්‍රාවයකට නිරාවරණය වන තුරු, දරුවා කුස තුළ සිටියදී හෝ ප්‍රසුතිය සිදුවන අවස්ථාවේ දී කොරෝනාවෛරසය ආසදනනය වීම සිදු වන්නේ ඉතා කලාතුරකින් බව නිව්යෝර්ක් වෛද්‍ය විද්‍යාලයේ (New York University School of Medicine) වසංගත රෝග පිළිබඳ අධ්‍යක්ෂ, වෛද්‍ය ඇඩම් රට්නර් පැවසීය.

කෙසේ නමුත් පවත්නා තත්වය ඉතා වේගයෙන් වෙනස් වන සුළු බැවින් ඉදිරියේදී නව දත්ත සහිත වාර්තා එලි දැකිය හැකි බව ඔහු අවධාරණය කළේය.