ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: මෝටර් රථ කොටස්වලින් වෙන්ටිලේටර් නිපදවන ඇෆ්ඝනිස්ථාන තරුණියෝ
ඇෆ්ඝනිස්ථානයේ බාලිකා රොබෝටික්ස් කණ්ඩායම සිය අවධානය කොරෝනාවෛරස් රෝගීන් වෙත යොමු කරමින් මෝටර් රථවල කොටස් භාවිත කරමින් දැරිය හැකි මිලකට අලෙවි කළ හැකි වෙන්ටිලේටර් උපකරණ සකස් කරමින් සිටී.
මෙම තරුණියන් පිරිස ප්‍රසිද්ධියට පත්වූයේ, 2017 වසරේදී ඇමෙරිකාවේ පැවති ජාත්‍යන්තර තරගයකදී විශේෂ ත්‍යාගයක් දිනා ගැනීමත් සමඟය.
මේ වන විට ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ, මැයි මාසය අවසන් වීමට පෙර වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට වෙන්ටිලේටර් ඉදිරිපත් කිරීමය.
අවුරුදු ගණනාවක් පුරා යුද්ධය පවතින ඇෆ්ඝනිස්ථානයේ වෙසෙන මිලියන 38.9ක් වන සමස්ත ජනගහනයට ම ඇත්තේ වෙන්ටිලේටර් 400ක් පමණය.
මේ වන විට ඇෆ්ඝනිස්ථානය තුළ කොරෝනාවෛරසය ආසාදිතයින් 10,500 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, මරණ 218ක් සිදුව තිබේ. මේ වන විටත් අඩපණ වී ඇති සෞඛ්‍ය පද්ධතිය හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවට බලධාරීහු බිය පළ කරති.
"අපේ උත්සහය තුළින් එක ජීවිතයක් හරි ආරක්ෂා කර ගන්න පුළුවන් නම් ඒක වැදගත්," කණ්ඩායමේ සාමාජිකාවක වන 17 හැවිරිදි නහීඩ් රහිමි බීබීසී පුවත් සේවයට පැවසීය.
"ඇෆ්ඝන් ඩ්‍රීමර්ස්" නමින් ප්‍රසිද්ධියට පත් ඔවුහු ඇෆ්ඝනිස්ථානයේ පළමු කොවිඩ් 19 රෝගියා වාර්තා වූ හෙරාට් ප්‍රදේශයේ වාසය කරති.
එම ප්‍රදේශය කලාපයේ කොරෝනාවෛරස් වසංගතයේ කේන්ද්‍රය වන ඉරානය ආසන්නයේ ම පිහිටා ඇති හෙයින් කොවිඩ් 19 රෝගය ව්‍යාප්ත වීමේ වැඩිම අවදානමක් සහිත කලාපයකි.
වයස අවුරුදු 14ත් 17ත් අතර වයස්වල පසුවන මෙම තරුණියන්, පාවිච්චි කරන ලද ටොයෝටා කොරොල්ලා මෝටර් රථයක මෝටරයක් සහ හොන්ඩා යතුරු පැදියක දම්වැලක් (chain) භාවිත කර මූලාකෘතියක් නිර්මාණය කර තිබේ.
ඔවුන් පවසන්නේ, ප්‍රමිතිගත වෙන්ටිලේටර් නොමැති අවස්ථාවලදී ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට තාවකාලික සහනයක් ලබා දීමට ඔවුන්ගේ වෙන්ටිලේටර් උපකරණ භාවිත කළ හැකි බවය.
"අපේ වෛද්‍යවරුන්ට සහ හෙද හෙදියන්ට සහය විය හැකි අර්ථාන්විත යමක් කරන කණ්ඩායමක සාමාජිකාවක වීම ගැන මට ආඩම්බරයක් දැනෙනවා. මේ වෙලාවේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් තමයි අපේ වීරයෝ," කණ්ඩායමේ නායිකා සොමායා ෆාරුකී පවසයි.
මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ වෙන්ටිලේටර් හිඟයක් පවතින අතර ඒවායෙහි මිල ගණන් ඇමෙරිකානු ඩොලර් 30,000ත් 50000ත් අතර අගයක ඇති හෙයින් දිළිඳු රටවලට එම මිල ගණන් දරා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය උපකරණයක් වන වෙන්ටිලේටර් උපකරණයක් ඇමෙරිකානු ඩොලර් 600ක වැනි අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි බව එම කණ්ඩායම පවසයි.
හෙරාට් ප්‍රදේශය ලොක්ඩවුන් කර ඇති හෙයින් කඩසාප්පු වසා ඇති අතර, උපකරණය සැකසීමට අවශ්‍ය උපාංග සෙවීමට යාම ඔවුන්ට දුෂ්කර වී තිබේ.
කෙසේ වෙතත්, මෙම කණ්ඩායමේ නිර්මාතෘ, ටයිම් සගරාවට අනුව ලොව වැඩියෙන් ම බලපෑම් කළ හැකි පුද්ගලයින් 100 දෙනා අතර පසුවන රෝයා මහ්බූබ් පවසන්නේ, සිය කණ්ඩායම මැයි මස අග වන විට වෙන්ටිලේටර් සැපයීමට අපේක්ෂා කරන බවය.
"දැන් 70%ක් පමණ වැඩ අවසන්. අපිට තියෙන එක ම අඩුව තමයි එයාර් සෙන්සර් හිඟය. මේක හදන්න ගත කරන කාලයට වඩා වැය කරන්න වෙලා තියෙන්නේ අමුද්‍රව්‍ය හොයන්න."
"මේකේ පළමු අදියර සම්පූර්ණ කරල ඉවරයි. දවස් දෙකකට කලින් ඒක රෝහලක පරීක්ෂා කළා. දැන් අපේ කණ්ඩායම දෙවන අදියර වෙනුවෙන් වැඩ කරනවා. ඒක අවසන් වුණා ම වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න පුළුවන්."
ස්ත්‍රී සාක්ෂරතාව 30%ක් වැනි අගයක් පවතින ඇෆ්ඝනිස්ථානයේ ඉන්ජිනේරු කර්මාන්තය පිළිබඳව කාන්තාවන් තුළ ඇති ආකල්පය වෙනස් කිරීමට මෙම ව්‍යාපෘතිය බලපානු ඇතැයි කණ්ඩායමේ සාමාජිකාවෝ පවසති.
මෙම ක්‍රියාන්විතය ඇෆ්ඝනිස්ථාන ආණ්ඩුව විසින් ද අගය කරනු ලැබ තිබේ.
"මට ගොඩක් සතුටුයි, ජනාධිපති අෂ්රෆ් ඝානි පෞද්ගලිකව නියෝග කරල තියෙනවා, අපේ ව්‍යාපෘතිය ගැන අවධානය යොමු කරල හැකි හැම ආකාරයකින් අපට සහය දෙන්න කියලා," රෝයා මහ්බූබ් පවසයි.
මේ වන විට ඇෆ්ඝනිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යංශය මෙම කණ්ඩායමට සහය දෙයි.
"අපි ඔවුන්ගේ ක්‍රියාන්විතය අගය කරනවා. ඒක ක්‍රියාත්මක වන්නේ අදියර වශයෙන්," ඇෆ්ඝනිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශක වහීඩ් මේයා බීබීසී පුවත් සේවයට පැවසීය.
"රෝගීන්ගේ ආරක්ෂාවට තමයි අපි ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ නිසා මේ වෙන්ටිලේටර් රෝගීන්ගේ පරිහරණයට යොදන්න කලින් සතුන් ආශ්‍රිතව අත්හදා බැලීමක් කරන්න වෙනවා."
(බීබීසී පුවත් සේවයේ Sodaba Haidare ගේ ලිපියක් ඇසුරෙනි)
කියවන්න: