කොරෝනා වෛරසය: මිනිසුන් මිලියන 60ක් "අන්ත දිළිඳුභාවයට" - ලෝක බැංකුව

ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES
කොරෝනාවෛරසය හේතුවෙන් ලොව පුරා මිනිසුන් මිලියන 60ක් පමණ "අන්ත දිළිඳුභාවයට" පත් විය හැකි බවට ලෝක බැංකුවේ සභාපතිවරයා අනතුරු අඟවයි.
මෙම වසංගතය සමඟ කටයුතු කිරීමට සිදු වීම නිසා ගෝලීය අර්ථීක වර්ධනය මෙම වසර තුළදී 5%කින් හැකිලෙනු ඇති බවට ලෝක බැංකුව අපේක්ෂා කරන බව ද සහාපති ඩේවිඩ් මැල්පාස් පැවසීය.
මෙම තත්වය නිසා දැනටමත් මිලියන ගණනකගේ රැකියා අහිමි වී ඇති අතර ව්‍යාපාර බිඳ වැටී තිබේ. ඉන් වැඩි පීඩනයකට ලක් වී ඇත්තේ දිළිඳු රටවල් ය.
"ජීවනෝපායන් මිලියන ගණනක් විනාශ වෙලා. ලොව පුරා සෞඛ්‍ය සේවා අධික පීඩනයකට ලක් වෙලා," ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළේය.
"අපේ ඇස්තමේන්තුව මිනිසුන් මිලියන 60ක් දක්වා ප්‍රමාණයක් අන්ත දිළිඳුභාවයට තල්ලු විය හැකි බවයි. එමගින් පසුගිය තුන් වසර තුළ දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් ලැබූ ප්‍රගතිය සම්පූර්ණයෙන් ම මැකී යනවා."

- කොවිඩ්-19 නිසා කාන්තාවන්ට උපත් පාලන අහිමි වීමේ තර්ජනයක්
- කොරෝනා වෛරසය නිසා දුෂ්කර අඩියකට වැටුණු විදෙස්ගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්
- "සමෟද්ධියත් නෑ, අන්තිමට කොරෝනා පන් දාහත් නෑ"
- පීබී ජයසුන්දරගේ 'පෞද්ගලික' ඉල්ලීම ගැන සේවක ප්‍රතිචාර
- කොරෝනා වෛරසය හමුවේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ 'සේවක කප්පාදුවක්' ගැන චෝදනා

ලෝක බැංකුව විසින් අන්ත දිළිඳුභාවය ලෙස අර්ථදක්වන්නේ පුද්ගලයෙකුට දිනකට ඩොලර් 1.90ට වඩා අඩු ආදායමකින් ජීවත් වීමට සිදු වීමය.
කොරෝනාවෛරසය හේතුවෙන් මතු වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දිළිඳු රටවලට සහය වීමට ඩොලර් බිලියන 160ක මුදලක් ලෝක බැංකුව වෙන් කර තිබේ.
මෙය ආධාර දීමනා වශයෙන් සහ අඩු පොලී ණය වශයෙන් එම රටවලට ලබා දීමට නියමිතය.
ලෝක බැංකු සභාපතිවරයා තව දුරටත් කියා සිටියේ ලෝක ජනගහනයෙන් 70%කට නිවහන වී ඇති රටවල් 100ක් සඳහා හදිසි මූල්‍ය ආධාර දැනටමත් ලබා දී ඇති බවය.
"ලෝක බැංකුව සැලකිය යුතු සම්පත් ලබා දෙමින් සිටියත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ." ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අවධාරණය කළේය.
එමෙන්ම, දිළිඳු රටවලට ලබා දී ඇති ණය වෙනුවෙන් සහන ලබා දීම සඳහා වාණිජ බැංකු තවමත් කල් මරමින් සිටීම පිළිබඳව තමන් කනස්සල්ලට පත්වී සිටින බවද ඔහු පැවසීය.
"ඒ සඳහා පවතින මන්දගාමී ස්වභාවය ගැන මට යම්කිසි කනස්සල්ලක් තියෙනවා. වාණිජ මට්ටමින් ණය ලබා දෙන්නන් ඉතාමත්ම දුප්පත් රටවලින් පවා තවමත් මුදල් අය කර ගන්නවා. ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතුව තිබෙනවා."
G20 කණ්ඩායමට අයත් රටවලින් ලබා ගෙන ඇති ණය වෙනුවෙන් දුප්පත් රටවල් ආපසු ගෙවමින් පවතින වාරික මෙම වසර අවසානය වනතුරු නොගෙවා සිටීම සඳහා ඉල්ලුම් කළ හැකි යෝජනා ක්‍රමයක් දියත් කිරීමට ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ව කටයුතු කළේය.
මේ අතරතුර, JP Morgan බැංකුවේ ප්‍රධාන විධායක ජෙමී ඩීමන් කියා සිටියේ මීට වඩා සාධාරණ වූ සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාව සිහිපත් කරවීම සඳහා ලැබුණු "ඇස් අරවන ඇමතුමක්" ලෙස මෙම කොරෝනාවෛරස් වසංගතය භාරගත යුතු බවය.
"මිනිසුන් වැඩි ප්‍රමාණයකට අවස්ථා සැපයෙන ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා මෙම අර්බුදය අප යොදා ගනු ඇතැයි මම දැඩි ලෙස බලාපොරොත්තු තබාගෙන සිටිනවා; විශේෂයෙන් ම අතිශය දීර්ඝ කාලයක් තිස්සේ අතහැර දමා සිටි මිනිසුන් වෙනුවෙන්." ජෙමී ඩීමන් මෙම සටහන ලියා තිබුණේ ලෝක බැංකුවේ කොටස්කරුවන්ගේ වාර්ෂික හමුව අඟහරුවාදා (මැයි 19)පැවැත්වීමට නියමිතව තිබියදී ය.








