එක්සත් රාජධානියේ මැතිවරණය: බොරිස් ඓතිහාසික ජයක් ලැබුවේ කෙසේද?

Boris Johnson delivering his victory speech

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඓතිහාසික ජයක් ලැබූ බොරිස් ජොන්සන්

බ්‍රහස්පතින්දා (නොවැම්බර් 12) පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන 76 ක් දිනා ගැනීමට එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බෝරෝස් ජොන්සන්ට හැකි විය. ඒ අනුව ඔහු ඉදිරියටත් එම ධුරයේ කටයුතු කරනු ඇත. (එක් කොට්ඨාසයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත)

1987 වසරෙන් පසු වැඩිම බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගත් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය ජොන්සන් කියා සිටියේ ඡන්ද දායකයන් තමන් පිළිබඳ තැබූ විශ්වාසය සුරැකීමට "දිවා රෑ" කටයුතු කරන බවය.

බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කර ලබන මාසයේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමට තමන්ට මැතිවරණ ප්‍රතිඵලය මගින් වරමක් ලබා දී බවත් ඔහු පැවසීය.

බොරිස් ජොන්සන්ගේ ජයග්‍රහණයට බලපෑ ප්‍රධාන කරුණු මොනවාද?

බ්‍රෙක්සිට් බලපෑම

A pro-remain protester holds up an EU flag with one of the stars symbolically cut out in front of the Houses of Parliament.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් පැවති අවිනිශ්චිතභාවය නිමා වේද?

බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කරන බවට බොරිස් ජොන්සන් දුන් ප්‍රතිඥාව ඔහු වෙත ඡන්ද දායකයන් නැඹුරු වීමට හේතු වී ඇති බවක් පෙනෙන්නට තිබේ. මීට පෙර ලේබර් පක්ෂයට ලැදි වූ කොට්ඨාසවල පවා එම තත්ත්වය දැකිය හැක.

යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද? නැද්ද? යන්න තීන්දු කිරීම සඳහා පැවති ජනමත විචාරණයේදී ඉන් ඉවත් විය යුතු බව පවසා විශාල වශයෙන් ඡන්දය ප්‍රකාශ කළ එංගලන්තයට ඇතුළත් මිඩ්ලන්ඩ්ස්, නෝර්ත් ඊස්ට් සහ යෝක්ෂයර් යන කලාපවල කොන්සර්වේටිව් වෙත ලැබී ඇති සහය සියයට හතරකින් ඉහළ ගොස් ඇත.

ඊට සාපේක්ෂව කොන්සර්වේටිව් පක්ෂය ලන්ඩන් සහ සවුත් ඊස්ට් කලාප තුළ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට එකකින් පහළ ගොස් ඇත.

අනෙක් අතින් ලේබර් පක්ෂය නෝර්ත් ඊස්ට් සහ යෝක්ෂයර් හි ලබා ගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 12 සිට 13 දක්වා අගයකින් පහළ ගොස් තිබේ. නමුත් ලන්ඩන් සහ එංගලන්තයේ දකුණු දිග එංගලන්තයේ ප්‍රදේශවල එතරම් පහළ යාමක් දැකිය නොහැක.

සම්ප්‍රදායික වැඩ කරන පන්තියේ ජනයා වෙසෙන ප්‍රදේශ ලේබර් පක්ෂයෙන් ගිලිහී ගොස් තිබේ. ලේබර් පක්ෂය සහ ඒ වටා වූ වැඩ කරන පන්තියේ ජනයා අතර බැඳීම දුර්වල වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

බ්‍රෙක්සිට් මුල් කර ගනිමින් එක්සත් රාජධානියේ පවතින බෙදීම රට පුරා පවතින වෙනස් ප්‍රතිඵල මගින් පෙන්නුම් කරයි. නමුත් අඩකට වඩා අඩු, එනම් 47% ක් ඡන්ද දායකයන්, තවත් ජනමත විචාරණයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන අදහසේ සිටින කොන්සර්වේටිව් හෝ බ්‍රෙක්සිට් පක්ෂය වෙත සහය දී ඇත.

භූගෝලීය බෙදීම

ඡන්ද ප්‍රතිඵල

ප්‍රාදේශීය වශයෙන් ගත්ත ද එක්සත් රාජධානිය පුරා විශාල බෙදීමක් දක්නට ලැබේ.

කොන්සර්වේටිව්, ලේබර් සහ ලිබරල් ඩිමොක්‍රටික් යන ප්‍රධාන පක්ෂ ස්කොට්ලන්තයේදී සුළුතරය බවට පත්ව ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රබල සහ නගර තුළ සැලකිය යුතු සහයක් හිමි කොන්සර්වේටිව් ආණ්ඩුව වෙත එංගලන්තය විශාල වශයෙන් ඡන්දය දී තිබේ.

සිය පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම පිළිබඳව කොන්සර්වේටිව් දේශපාලනඥයෙකු වන මයිකල් ගෝව් ලේබර් පක්ෂයේ හිටපු ඡන්ද දායකයන්ට ස්තූති කර ඇත.

ලේබර් පක්ෂ ආසන බොහොමයක් දකුණු වේල්සය සහ එංගලන්තයට අයත් ලන්ඩනය, ලිවර්පූල් සහ නිව්කාසල් වැනි නාගරික සහ කර්මාන්ත ශාලා පිහිටි ප්‍රදේශවලට අයත්ය.

ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්ව ස්වාධීන රටක් බවට පත්වීම වෙනුවෙන් පෙනී සිටින එස්.එන්.පී පක්ෂය ස්කොට්ලන්තයේ ආසන 11 ක් හැර සියලුම සෙසු සියලුම ආසන දිනා ගැනීමට සමත් විය.

ඡන්ද ප්‍රතිඵලය මගින් ස්කොට්ලන්තය ස්වාධීන රටක් බවට පත් විය යුතු බවට වන සංවාදය යළි සාකච්ඡාවට බඳුන් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

ස්කොට්ලන්තයට කුමක් වේද?

Nicola Sturgeon celebrating her latest electoral results

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ස්කොට්ලන්තයේ කැමැත්තට එරෙහිව, එය එක්සත් රාජධානිය තුළ තබා ගත නොහැකියි"

එස්.එන්.පී පක්ෂයේ නායිකා නිකොලා ස්ටර්ජන් කියා සිටියේ ස්කොට්ලන්තය ස්වාධීන රටක් විය යුතුද? නැද්ද? යන්න තීන්දු කිරීම සම්බන්ධයෙන් එහි වැසියන් "පැහැදිලි පණිවුඩයක්" ලබා දී ඇති බවය.

ස්කොට්ලන්තයේ ඡන්ද 45% හිමි කර ගත් ඇය වැඩිදුරටත් සඳහන් කළේ "ඒ තෝරා ගැනීම පිළිගැන්විය හැකි වරමක් මා දිනා තිබෙනවා" යනුවෙනි. "ස්කොට්ලන්තයේ කැමැත්තට එරෙහිව, එය එක්සත් රාජධානිය තුළ තබා ගත නොහැකියි" ඇය පැවසීය.

එස්.එන්.පී පක්ෂය විශාල වශයෙන් ඡන්ද ලබා ගනිමින් ස්කොට්ලන්තයේ ආසන 59 න් 48 දිනා ගැනීමට සමත් විය. එම පක්ෂය මෙවර 2017 පාර්ලිමේන්තු මැතිවරණයට වඩා ආසන 13 ක් දිනා ඇත. කොන්සර්වේටිව් පක්ෂය දිනා සිටි ආසන හතක් සහ ලේබර් පක්ෂය දිනා සිටි ආසන 6 ක් මෙවර පරාජය වී තිබේ.

එම පක්ෂය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායිකාව ද පරාජය කිරීමට සමත්විය.

සූදුවක්

බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මැතිවරණයක් වෙත යොමු වූයේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම (බ්‍රෙක්සිට්) සඳහා වූ ඔහුගේ සැලසුම් එරට පාර්ලිමේන්තුව විසින් අවහිර කරන්බු ලැබීමත් සමගය.

ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ සටන් පාඨය වූයේ " බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කරමු" යන්නය.

බහුතරය ජය ගැනීම සඳහා බ්‍රෙක්සිට් ජනමත විචාරණයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු අදහස දැරූ මැතිවරණ කොට්ඨාසවලට අයත් සම්ප්‍රදායික ලේබර් පාක්ෂිකයන් කොන්සර්වේටිව් පක්ෂයට හරවා ගත යුතු බව බොරිස් ජොන්සන් දැන සිටියේය.

"කොන්සර්වේටිව් පක්ෂයට ඡන්දය දීම පවක් වැනි දෙයක් කියා දුටු නගර සහ ජනයාගේ සහය ඇතිව ඡන්දය දිනිය හැකියි කියන සූදුවේ බොරිස් ජොන්සන් යෙදුනා," යනුවෙන් බීබීසීයේ දේශපාලන කටයුතු පිළිබඳ සංස්කාරකවරිය ලෝරා කුඑන්ස්බර්ග් පැවසීය.

"එය හරි ගියා" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.